ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය මේ වන විටත් පෞද්ගලිකරණය වී ඇත. එහෙත්, එහි ප්‍රතිඵලයක් ලෙස අපි දකිනුයේ, රටේ බහුතර දෙමාපියනට තම දරුවන්ගේ අධ්‍යාපනය මහා ආර්ථික බරක් බවට පත්ව ඇති අයුරු ය. ආර්ථික දිළිඳුකමින් පීඩා විඳින බහුතරයක් ජීවත් වන මෙවන් රටකට අවශ්‍ය වනුයේ, එම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරකින නිදහස් අධ්‍යාපනය වඩ වඩා තහවුරු කරන පියවරයන් මිස, එය තර්ජනයට ලක් කරමින් පුද්ගලිකරණය කරන දිසාවට යොමු වන පියවරයන් නොවේ.
රජය සම්මත කර ගැනීමට සූදානම් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පණත නිදහස් අධ්‍යාපනයට එවැනි තර්ජනයක් එල්ල කරන බව ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය දකින බැවින් එය හකුලා ගන්නා ලෙස අපි රජයට බල කර සිටිමු.
එමෙන්ම, එම පණතට අප විරෝධය දක්වන තවත් කරුණක් වනුයේ, මෙම පණත අනුව දැනට පවතින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්ව විද්‍යාල පද්ධතියට සමාන්තරව මිලිටරි පාලන ව්‍යහූයක් යටතේ සිවිල් සිසුන් විවිධ විෂය ධාරාවන් හදාරන උසස් අධ්‍යාපන පද්ධතියක් රට තුළ බිහිවීමේ අන්තරාවයි. අධ්‍යාපන ක්ෂේත්‍රය මෙහෙවිය යුතු වනුයේ අධ්‍යාපන විශේෂඥයින් විනා මිලිටරි ප්‍රධානින් නොවේ. අධ්‍යාපනයෙන් අපේක්ෂා කරනුයේ, නිදහසේ සිතන පතන, තර්ක විතර්ක කරන, විචාරාත්මක, ස්වයං විනයක් සහිත පුරවැසියෙකු බිහි කිරීමයි. එහෙත්, මිලිටරි සංස්කෘතියකින් බිහි වනුයේ, ඉහළින් එන අණ එක හෙළා පිළිපදින, බිය මුල්කර ගත් විනයක් සහිත පුද්ගලයෙකි. එවැනි වූ සංස්කෘතියක් අධ්‍යාපන ක්‍රියාවලියකට කොහෙත්ම සුදුසු නැති බව අපගේ අදහසයි.
වර්තමාන රජය බලයට පත්වීමත් සමග හා විශේෂයෙන්, මෙම පණත කල එළියට පැමිණීමත් සමග ‘හමුදාකරණය‘ සිංහල සමාජයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. එහෙත්, දකුණේ බොහෝ අය අමතක කරන කරුණක් වනුයේ, හමුදාකරණයෙන් උතුරු නැගෙනහිර දෙමළ සමාජය දශක ගණනාවක් තිස්සේ පීඩා විදින බවයි.
එය ඉදිරියේ සිංහල සමාජය ඇස් කන් වසාගෙන සිටියා පමණක් නොව, එය උත්කර්ෂයට නැංවීම ද සමහරු සිදු කළෝය. ඉතිහාසය පුරා ලංකා රාජ්‍යය දිනෙන් දින හමුදාකරණයෙන් ශක්තිමත් වීමට පාර කපන ලද සිංහල සමාජයට එයින් ම පීඩා විදින්නට සිදුවීම තම චින්තනය විචාරයට ලක්කර ගැනීමට අවස්ථාවක් උදා කර ඇති බව අපි දකිමු.
එමනිසා, අපි විරෝධය පෑ යුතු වනුයේ අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි ක්ෂේත්‍ර කිහිපයක් හමුදාකරණයට ලක් වීම යන කරුණට පමණක් නොව, උතුරු නැගෙනහිර ඇතුලු සමස්ත රටේ හමුදාකරණයට එරෙහිව බව අපි අවධාරණය කර සිටිමු.