Thursday, May 2, 2024

රාජපක්ෂ දේශපාලනයට එරෙහි රට පුරා විරෝධතා රැල්ලක්: දවස් දෙකට 60ක් අත්අඩංගුවට ( ඡායාරූපමය පුවත)

ඡායාරූපය: අධ්‍යාපනය මිලිටරීකරණයට එරෙහිව පාර්ලිමේන්තු වට රවුමේ පැවැති විරෝධය මැඩළන පොලිසිය.
(@Welikumbura)

වසංගතයට මුවා වී රාජපක්ෂවරුන් දියත් කළ මර්දනකාරී අණපනත් නොසළකා රට පුරා විරෝධතා පැන නැගෙමින් තිබේ. ඊයේ සහ අද විරෝධතා ගණනාවක්ම පැවතියේ මර්දන නීති නොසළකමිනි.

පසුගිය සතිය තුළ පොහොර ප්‍රශණය උඩ ගොවි ජන පිරිස් ද රටපුරා උද්ගෙෘ්ෂනයන්ට එක් වූහ.

ඊයේ දිනයෙහි දී මඩකළපුව, කලුතර, කොළඹ සහ මුතුරාජවෙල දී පැවැති සාමකාමී උද්ඝෝෂනයන්ට සහභාගි වූ 30කට වැඩි පිරිසක් අත්අඩංගුවට  ගන්නා ලදී.

අද ද එවැනි සංඛ්‍යාවක් මේ වන විට අත් අඩංඟුවට ගෙන තිබේ.

මෙම බොහෝ පිරිස්වලට එදිනම අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලැබී තිබේ.

විවිධ වෙබ් මාධ්‍ය කෙරෙන් උපුටා ගත් අද  එවැනි විරෝධතා පිළිබඳ වාර්තා පහත දැක්වේ.

පාර්ලිමේන්තු වට රවුමේ පැවැති විරෝධය මැඩළන පොලිසිය. (@Welikumbura)

කොළඹ පාර්ලිමේන්තු වටරවුම

අධ්‍යාපනය මිලිටරීකරණයට දක්කන, අධ්‍යාපනයේ මළගම සටහන් කරනු ලබන කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලින් ඇතුළු පිරිසක් අද (08) වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

කොතලාවල පනත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත අතර එම පනත හකුලා ගන්නා ලෙස බලකරමින් පාර්ලිමේන්තු වටරවුමේදී මෙම විරෝධතාවය පැවැත්විණි.

පාර්ලිමේන්තු වටරවුමේදී පොලිසිය විසින් මාධ්‍ය වේදියෙකුට ද  පහරදීමක් සිදු කර තිබේ.

ඒ එම  විරෝධතාවය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියකුටය. එක් මාධ්‍යවේදියෙකුගේ කැමරාවකට පහර වැදී ඇති අතර ඒ පිළිබඳව මාධ්‍යවේදීන් විසින් උසස් පොලිස් නිලධාරීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් නිරුත්තරවී මාධ්‍යවේදීන් මග හැර ගිය බව වාර්තා වේ.

‘කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත’ හරහා අධ්‍යාපනය පුද්ගලිකකරණය කිරීමේ හා මිලිටරිකරණයට යට කිරීමේ ප්‍රයත්නයට එරෙහිව මෙම උද්ඝෝෂනය සංවිධානය කරන ලද්දේ  ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තිය සමිති, බහුජන සංවිධාන හා සිවිල් සංවිදාන විසිනි.

කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත, පාර්ලිමේන්තුවේදි හදිසි පනතක් ලෙස සම්මත කර ගැනීමට ආණ්ඩුවේ සූදානමමට එරෙහිව  ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය’ ඊයේ (07) කැඳවූ මාධ්‍ය හමුවට පහත සංවිධාන නියෝජිතයෝ සහභාගි වී අදහස් දැක්වූහ.

  1. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය
  2. ලංකා බැංකු සේවක සංගමය
  3. ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය
  4. ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
  5. ලංකා ගුරු සංගමය
  6. ලංකා ගුරු සේවා සංගමය
  7. ඒකාබද්ධ ගුරු සේවා සංගමය
  8. ස්වාධීන ලංකා ගුරු සංගමය
  9. ලංකා වතු සේවා සංගමය
  10. ඉංජිනේරු සේවා වෘත්තීයවේදීන්ගේ සංගමය
  11. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව
  12. අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය
  13. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

( ලංකා විව්ස්)

අකුරුස්ස උදඝෝෂනය

අධ්‍යාපනය මිලිටරීකරණයට දක්කන, අධ්‍යාපනයේ මළගම සටහන් කරනු ලබන කොතලාවල විශ්වවිද්‍යාල පනතට හා ආණ්ඩුවෙ ජන පීඩක කටයුතුවලට එරෙහිව උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක, හිටපු පළාත්සභා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්, හිටපු පලාත්සභා මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ ඇතුළු 12 දෙනෙකු අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. (ලංකා ට්රුත්)

කලුතර පැවැති පෙසපෙ උද්ඝෝෂනය

කලුතර උද්ඝෝෂනය

ආණ්ඩුව විසින් තෙල් මිල ඉහළ දැමීමෙන් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඊයේ (7) කලුතර පැවැත්වූ විරෝධතාවයේදී පෙ.ස.ප. ක්‍රියාකාරින් ඇතුළු විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

“තෙල් මිල අඩුකරනු – ධනකුවේරයන්ට බදු ගසනු!” යන තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය රට පුරා පැවැත්වෙන විරෝධතා මාලාවේ අංගයක් ලෙස කලුතර දිස්ත්‍රික් විරෝධතාවයේදී මෙසේ විරෝධතාකරුවන් 10 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන, රොෂාන්ත කරුණාතිලක, චන්දන ප්‍රනාන්දු, යසිත් චන්දිම, දර්ශන චන්ද්‍රසේකර, කවිඳු ප්‍රභාෂ්, සුජිත් ප්‍රසන්න, නිහාල් තොටගමුව, කිංස්ලි රොද්‍රිගු, ප්‍රියන්ත ගුණරත්න යන අය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ( ලංකා විව්ස්)

නුවරඑළිය උද්ඝෝෂනය

අධ්‍යාපනය මිලිටරීකරණයට දක්කන, අධ්‍යාපනයේ මළගම සටහන් කරනු ලබන කොතලාවල විශ්වවිද්‍යාල පනතට හා ආණ්ඩුවෙ ජන පීඩක කටයුතුවලට එරෙහිව උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් නායක මංජුල සුරවීර, කොත්මලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන කපිල බණ්ඩා වීරකෝන් සහ ජයරත්න, සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ භාණ්ඩාගාරික කලෙයි සෙල්වි ඇතුළු 12 දෙනෙකු හැටන් පොලිසිය විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට ඔවුන් හැටන් පොලිස්ථානය වෙත රැගෙනගොස් ඇති අතර අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය. (ලංකා ට්රුත්)

පොලිසියට බලයක් නැහැ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිරෝධායන පනත යටතේ උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම තහනම් කිරීමටත් ඒවාට සහභාගී වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් නොහැකි බව මීට පෙර එජාප නීති අංශය කරුණු පෙන්වා දී තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම් වලට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ නීති අංශයේ මෙහෙයවීමෙන් ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක් ද ගොනු කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුව අභියස

ජනතා විරෝධතා වැළැක්වීමට පියවර ගැනීම සහ මාධ්‍ය ආයතන වලට තර්ජනය කිරීමට විරෝධය පළ කරමින්  ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙනු මැයෙන් සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට අද(08) විරෝධතාවක නිරත වූහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට  අනුකූළව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.

“ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු, මාධ්‍ය මර්දනය හෙළා දකිමු, සිවිල් අයිතීන් සුරැකීමු, උද්ඝෝෂණ වලට ආණ්ඩුව බය ද”ආදී විරෝධතා පුවරු එහිදී ප්‍රදර්ශනය කර තිබිණ.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරන මානව අයිතීන් අපේ රටේ සියලුම පුරවැසියන්ට තියෙනවා. එය මොනම ජගතෙකුටවත් මොනම ආණ්ඩුවකට වත් මර්දනය කරන්න බැහැ. ඒ නිසා කොවීඩ්   රෙගුලාසි අනුගමනය කරමින් ඕනෑම වෙලාවක විනයානුකූලව මහ පාරේ විරෝධතා පවත්වන්න තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට හැකියාව ඕනෑම කෙනෙකුට තියෙනවා.” යැයි එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කලේය.

බොරලන්ද ගොවි උද්ඝෝෂනය

බොරලන්ද උදඝෝෂනය

බණ්ඩාරවෙල, බොරලන්ද ප්‍රදේශයේදී පසුගිය 01 වෙනිදා පැවති ගොවි උද්ඝෝෂණයට නායකත්වය දීම සම්බන්ධයෙන් බෝගහකුඹුර පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ගල්ඒදණ්ඩ විජිතාරාම විහාරස්ථානයේ වැඩවාසය කරන, ජාතික භික්ෂු පෙරමුණේ විභායක සභික වීරකැටියේ අනුරුද්ධ හිමි, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඇතුළු පස්දෙනා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.

එම පිරිසට  පෙරේදා (07) පෙරවරුවේ බෝගහකුඹුර පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දන්වා තිබූ අතර ඒ අනුව ඔවුන් අද පෙරවරුවේ පොලිස්ථානය වෙත ගිය අතර එහිදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඉදිරි දිනයන්හි තව තවත් විරෝධතා ඇතිවනු ඇතැයි ද රාජපක්ෂවරුන්ගේ මර්දනයට බියවූ කාලය අවසන්ව ඇති බව පෙනී යන්නේ යැයිද ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත අදහස් දැක්වූ මානව හිමිකම් ක්‍රියාකාරිනයක ප්‍රකාශ කළේය. ඇය තවදුරටත් ප්‍රකාශ කළේ  රටපුරාම මෙවැනි විරෝධතා ඇතිවීමේ තත්වයක් පවතින බවයි.

Archive

Latest news

Related news