Tuesday, July 16, 2024

කාකු පිහාටු දේශපාලනය මාධ්‍යට: හඩ්සන් සමරසිංහට රේඩියෝව බාරදෙයි!

ඡායාරූපය: මානව හිමිකම් ක්‍රියාකාරිනී නිමල්කා ප්‍රනාන්දු මරා දැමිය යුතු අන්දම ගුවන් විදුලිය මගින් සාකච්ජා කළ හඩිසන් සමරසිංහගේ “රට යන අත” වැඩ සටහනට එරෙහිව 2014 ජනවාරි 02දා පැවැති උද්ඝෝෂනයේ අවස්ථාවක්.

ප්‍රතිරූප ගොඩ නගා ගැනිම සඳහා ආතක් පාතක් නැතිව හිස හැරුණූ හැරුණු අතේ දුවමින් සිටින රාජපක්ෂවරු දැන් තමන්ගේ ගුවන් විදුලිය, ජනමාධ්‍ය ආචාර ධර්ම තුට්ටුවකට නොසළකන හඩ්සන් සමරසිංහට බාර දී තිබේ.

සිය ප්‍රතිරූපයට සුදුහුණු ගාවා ගැනීමේ මාධ්‍ය මෙහෙයුමක  යෙදී සිටින රාජපක්ෂවරුන්ගේ අලුත්ම තුරුම්පුව වී ඇත්තේ මේ හඩ්සන් සමරසිංහය.

ඔහුට රේඩියෝව බාරදීම ජොන්ස්ටන්  ප්‍රනාන්දුගේ කාකු පිහාටු එල්ලීමේ මර්දන න්‍යාය ජනමාධ්‍ය කරා ගෙන ඒමක් යැයි ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත අදහස් දැක්වූ මානව හිමිකම් ක්‍රියාකාරිනියක කීවාය.

හඩ්සන් සමරසිංහ

වාචාල කථිකත්වයක් සහිත සමරසිංහ තර්ජන දේශපාලනයේ  දක්ෂ සංනිවේදකයෙකි.

රාජපක්ෂවරුන් විසින් මෙම පියවර ගෙන ඇත්තේ තමන් ශ්‍රී ලංකාවෙහි වාර්ගින සහජීවනය පිනිස කටයුතු කරමින් සිටින බව, ජීඑස්පී+ දිගටම පවත්වා ගැනීමේ අරමුනින් යුරෝපා සංගමයට දැනුම් දීමත් සමඟමය.

පසුගිය දා ශ්‍රී ලංකාවට ලබා දෙන ජීඑස්පී ප්ලස් සහනය තව දුරටත් ලබා දිය යුතුද යන්න සම්බන්දයෙන් යුරෝපා සංගමය සම්මත කළ යෝජනාවෙහි එක් නිෂේධාත්මක වර්ධනයක් ලෙස දක්වා තිබුණේ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ට එරෙහිව වෛර ප්‍රචාර ඉහළ යෑමයි.

ඊට ප්‍රතිචාරයක් ලෙස රාජපක්ෂවරු දැන් සිය ගුවන් විදුලිය බාර දී ඇත්තේ වර්ගවාදී වෛර ප්‍රචාරකයකු ලෙස චෝදනා ලබා ඇති පුද්ගලයකුටය.

රාජපක්ෂ සමයෙහි “රට යන අත” නමින් උදෑසන වැඩසටහනක් මෙහෙයවූ සමරසිංහ එම කාලය රටෙහි මානව හිමිකම් සිවිල් සමාජයට, දෙමළ සහ මුස්ලිම් ජන පිරිස්වලට එරෙහි වෛර ප්‍රකාශ සඳහා යොදා ගත්තේය.

වරක් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු එකල සිය පොස්ටරවල ලියා ගත්තේ “පුංචි ප්‍රේමදාස” කියාය.

යුද්ධ සමයේ සහ පශ්චාත් යුද්ධ සමයෙහි ඔහු යුදවාදී ප්‍රචාරකයකු විය.

හඩ්සන් සමරසිංහගේ වෛර සමාජ භාවිතාව සම්බන්ධ එක් උදාහරණයක් මෙසේය:

2013 නොවැම්බර් 04  වන දින ඔහුගේ “රට යන අත වැඩසටහන” මගින් මානව හිමිකම් ක්‍රියාකාරිනියක  වන නිමල්කා ප්‍රනාන්දු ඝාතනය කිරීමේ සැලසුම් ප්‍රසිද්ධියේ, සජීවී ව ප්‍රචාරය කරන ලදී.  “රට යන අත” වැඩසටහනට දුරකථන ඇමතුම් ලබා දෙමින් එහි පාඨකයන් යැයි කියා ගත් පිරිස් විසින් නිමල්කා ප්‍රනාන්දු ඝාතනය කළ යුත්තේ කෙසේ ද? ඝාතනය කළ යුත්තේ ඇයි? යන්න මෙන්ම ඇයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කරමින් පැය ගණනාවක් එම වැඩසටහන පවත්වා ගන්නා ලදී.  ඇය මරා දැමිය යුතු බවට අදහස් පළ කරල පිරිස් අතුරින් බොහෝ දෙනෙකු තමන් හඳුන්වා ගත්තේ යුද හමුදා සාමාජිකයින් ලෙස ය.

එකී වෛරී ප්‍රකාශයන් හෙළා දකිමින් පසුගිය  2014 ජනවාරි 02 දා  සවස ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පවත්වන ලද විරෝධය අවස්ථාවෙහි පොලීසියේ සහය ඇතිව එම ස්ථානයට පැමිණි මැරයින් පිරිසක් විසින් හු කියමින්, විවිධ අසබ්‍ය වචන කියමින් පැමිණ සිටි ස්ත්‍රීන් හිංසනයට පත් කරන ලදී. එළෙස පැමිණි මැරයින් ගුවන් විදුලි සංස්ථා සේවකයින් බවට චෝදනා එල්ල විය.

දැන් රාජපක්ෂවරුන්ගේ අලුත්ම ප්‍රචාරක තුරුම්පුව එවැනි අපකීර්තිමත් ඉතිහාසයක් සහිත හඩ්සන් සමරසිංහය.

ජනාධිපති ප්‍රේමදාස, ජනාධිපතිනි  කුමාරතුංග සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයන්හි  ගුවන් විදුලි සංස්ථාවෙහි සභාපති ලෙස පත් සමරසිංහ කටයුතු කර තිබේ.

සේ. පියවර්ධන විසිනි. ©SLB

 

Archive

Latest news

Related news