Monday, May 20, 2024

සිවිල් තත්වය, ධනය, බලය හෝ දේශපාලන හිතවත්කම අනුව මිනීමරුවකු නිදහස් කිරීමද අපරාධයකි – නීතිඥ සේනක පෙරේරා

දුමින්ද සිල්වා නිදහස් කිරිම හා යුක්තියේ අපගමනය

මරණ දඩුවම ලබා බන්ධනාගාර ගතකොට සිටි දුමින්ද සිල්වා නිදහස් කර තිබේ. සිරකරුවෙක් නිදහස් කිරිම සම්බන්ධයෙන් අප විරුද්ධ නොවුනත් එකී නිදහස් කිරිමට පදනම් වන්නේ පුද්ගලයෙකුගේ සිවිල් තත්වය, ධනය, බලය හෝ දේශපාලන හිතවත්කම අනුව නම් අප ඊට විරුද්ධ වෙමු. එසේ සියලුම සිරකරුවන්ට සමානව සැලකීමේ ප්‍රතිපත්තියට පයින් ගසා තෝරාගත් සිරකරුවෙකුට විශේෂ වරප්‍රසාද ලබා දෙන්නේ නම් එමගින් සෙසු සියලු සිරකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම මෙන්ම නීතියේ ආධිපත්‍යයට විශාල හානියක්ද එමගින් සිදුවේ.

පසුගිය කාලය පුරාම ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය අනුව තමන්ට ලැබුණු සමාව දීමේ බලය අවභාවිතා කල ආකාරය අප දැක ඇත.

මරණ දඩුවම ලබා සිටි මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිඳ, සමන් දේවාලයේ බස්නායක ඇන්ටන් තෙන්නකෝන්, රෝයල් පාර්ක් සිද්ධියේ ජූඩ් ජයමහ සහ මිරුසුවිල් සමුහ ඝාතන සිද්ධියේ සුනිල් රත්නායක යන අයවලුන්ට අයුක්ති සහගත ලෙස ගෙදර යන්න ලැබුනේ ජනාධිපතිගේ සමාව දීමේ බල මහිමය නිසාය.

පසුගිය කාලයේ අප විසින් ජනාධිපතිගේ මෙම සමාවදීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බව හෝ යම්කිසි ස්වාධින අධිකාරියක සුපරික්‍ෂණයට යටත් කළ යුතු බවට සමාජ සාකච්ඡාවක් ආරම්භ කරනු ලැබුවේත් ජනාධිපතිවරයාගේ මෙම අයුක්ති සහගත ඒකාධිපති කටයුත්ත නැවැත්විය යුතු නිසාය.

දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු වී ඇති පසුබිමක ඒ සියල්ල කුණු කූඩෙට දමා මෙසේ අයුක්ති සහගතව කටයුතු කිරිම තුල අධිකරණ නියෝග ඵල රහිත බවට විශාල ජනතා අවිශ්වාසයක් ඇති වීමද නොවැලැක්විය හැක.

නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාමේදී මෙසේ අධිකරණය අකර්මන්‍ය බාවයට පත් කරන්නේ නම් එය ඉතා භයානක තත්ත්වයකි.

එසේම දුමින්ද සිල්වාට දඩුවම් දීම දේශපාලන පලිගැනීමක් ලෙසට අර්ථ දක්වා ජනතාව තුල වැරදි අදහසක් ඇති කිරිමට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රිවාදි භාවිතාවක් නොවේ.

ශ්‍රි ලංකාවේ ඉතිහාසය දෙස බැලීමේදී බලයට ආ පාලකයන් තමන්ගේ හිතවතුන්ට සහ ඥාතින්ට සංග්‍රහ කිරිමට ,දේශපාලන පලිගැනීම, යන වචනයට මුවා වී හොඳහැටි කටයුතු කර ඇත.

එබැවින් 25000 කට අධික සිරකරුවන් ප්‍රමාණයක් සිටින බන්ධනාගාර පද්ධතිය තුල සහන ලබාදීමේදී මෙසේ ,දුමින්දලා මනුෂ්‍යයෝ, යන ප්‍රතිපත්තිය වෙනුවට ,සිරකරුවෝ මනුෂ්‍යයෝය, යන ප්‍රතිපත්තිය අනුව කටයුතු කිරිමේ අවශ්‍යතාවය මේ මොහොතේ අප විසින් දැඩි ලෙස අවධාරනය කර සිටිමු.

නීතිඥ සේනක පෙරේරා, (සභාපති), සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

25.06.21

 

Archive

Latest news

Related news