Saturday, November 23, 2024

මුත්තයියා සහාදේවන්, නාමල් රාජපක්ෂ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – සුනන්ද දේශප්‍රිය

නඩු පවරන්නේ නැතිව දිගු කළක් බන්ධනාගාරගතව සිටින එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කළ යුතු බවට ඇමති නාමල් රාජපක්ෂ කියා සිටීම යහපත් වර්ධනයකි. ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකක් තරම් කාලයක් ගෙවී ඇති මේ අවස්ථාවෙහි හෝ එවැනි පියවරක් ගැනීමට මූලිකත්වය ගැනීම පැසසිය යුතුය.

පසුගිය  22 දින පාර්ලිමේන්තුවෙහි කතා කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම සැකකරුවන් සම්බන්ධ උදාහරණයක්  දෙමින් මෙසේ කීවේය:

නාමල්ට හමුවූ ඒ අහිංසකයා කොහිද?

“මම ඔබතුමාගේ අවධානයට එක කතාවක් කියන්නම්. බන්ධනාගාරයේදී හමුවුණ එක්තරා පුද්ගලයෙක්ගේ සිදුවීමක්.
ලංකාවේ ප්‍රභූ ඝාතනයකට සැක පිට ගෙනැල්ලා ඔහු වැරදිකාරයා වෙලා තිබෙනවා. ඔහුගේ කතාව අහනකොට ගරු කථානායකතුමනි, ඔහු කරපු වැරැද්ද තමයි ගහක අත්තක් කපපු එක. ගහේ අත්ත කපපු එක.

දැන් ගහේ අත්ත කපපු කෙනා වැරදිකාරයා වෙලා හිරේ ඉන්නවා. ප්‍රධාන සැකකාරයා සමාව අරගෙන ගෙදර ගිහිල්ලා තිබෙනවා. එතකොට ගහේ අත්ත කපපු කෙනා ඇතුලේ. වැඩේ කරපු කෙනා එළියෙ.” (දිනමිණ)

නමුත් 2020 ඔක්තොබර් 21වන දින පාර්ලිමේන්තුවෙහි කතා කරමින් අගමැති මහින්ද රාජපක්ෂ කීවේ කදිරගාමර් ඝාතනයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංඟුවට ගත් බවයි. ඒ අනුව නාමල් රාජපක්ෂ කියන පුද්ගලයාද එවැනි සැකකරුවෙකි!

ඒ මිනිසා කව්ද?

ඒ අවාසනාවන්ත මිනිසාගේ නම මුත්තයියා සහාදේවන්ය.  58 හැවිරිදි ඔහු කොළඹ කිරුළපන පොල්හේන්ගොඩ පදිංචිව සිටියෙකි. ධනලක්ෂ්මී සහාදේවන් නම් ඔහුගේ බිරිඳ 57 හැවිරිදිය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඒ දෙදෙනා ද විවාහකයින් ය. ජීවිකාව සඳහා එදිනෙදා කුලීවැඩ කළ ඔහු 2005 වසර වන විට කොළඹ බුලර්ස් පාරේ නිවසක කුලී වැඩට යාමට පුරුදුව සිටි අතර ඒ අහල පහල නිවෙස්වලද වැඩ පළ තිබූ විටෙක ඒවාද කරකියා දුන්නේ ය.

සිදුවීම ඇරඹෙන්නේ 2005.08.13 වන දිනය. සහාදේවන් සිය බිරිඳ සමඟ කිරුළපන පොළට ගොස් එමින් සිටිය දී කොළඹ අරපාධ කොට්ඨාශයෙන් (CCD) අත්අඩංගුවට පත්වන ඔහු රැගෙන යන්නේ බුලර්ස් පාරේ පිහිටි තලේසිංහම් නමැත්තෙකුගේ නිවෙසක් කරා ය. එහිදී එම නිවසේ බැල්කනිය අසළ තිබුණු ගසක අතු පෙන්වා ඒවා කැපුවේ ඔහු විසින්දැයි ප්‍රශ්න කරන ලදී. ඔහු විසින් එම අතු ඊට මාසයකට පමණ පෙර දවසක කපන ලද බව පිළිගත් අතර ඒවා කපන්නට යෙදුණේ තමන්ගේ ඉල්ලීම මත බව තලේසිංහම් නමැති නිවෙස් හිමිකරුද ඒ මොහොතේ පැවසූ බව කියවේ. කෙසේ වෙතත් හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය සඳහා වෙඩි තැබුණේ මෙකී නිවසේ බැල්කනියට ආසන්න කවුළුවක් තුළින් බවට කියැවුණු හෙයින් සහාදේවන් අත් අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ටාශයට රැගෙන යන ලදී.

සහාදේවන් පවසන ආකාරයට ඔහුගේ ජීවිකාව සඳහා කළ කුලී වැඩ අතර මෙම තලේසිංහම් නමැත්තාගේ නිවසේ බැල්කනිය දෙසට වැවෙන පිහිඹියා ගසක අතු කපා දැමීමද මාස එක හමාරකට පමණ වරක් දිගින් දිගට ම ඔහු අතින් කෙරුණකි. එදින ද ඔහුට එහි විශේෂයක් තිබී නැත. එමෙන් ම මෙම තලේසිංහම් නමැත්තා හිටපු ඉහළ පොලිස් නිලධාරියකුගේ පුතෙකු බවද කියවෙන අතර ඔහු මේ සිද්ධියට අදාලව අත් අඩංගුවට පත් වන්නේද නැත. කෙසේ නමුත් කොළඹ අපරාධ කොට්ටාශයට ගෙනයනු ලදුව ඔහුව ප්‍රශ්න කිරීම ඇරඹෙන්නේ ම ” ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයාට වෙඩි තියන්න උදව්කරේ තමුසෙද ?” යනුවෙන් නැඟෙන පැණයක් සමඟ ම මුහුණට එල්ල කෙරෙන දරුණු පා පහරකිනි. මා මුලින් සඳහන් කළ පරිදි ඔහුගේ ඉදිරි දත් හතරක් අහිමි කෙරෙමින් ඉතිරි දත් ඇද කෙරෙන්නේ මේ පා පහරිනි.

CCDයේ මාස තුනක් රඳවා තැබෙන ඔහු 2005.11.16 වන දින රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබේ. ඉන් පසුව 2008 වසරේ දී කොළඹ අංක 1 මහාධිකරණයේ HC/4226/08 නඩු අංකය යටතේ සහාදේවන්ට එරෙහිව නඩු පැවරෙන්නේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට අනුබල දීම චෝදනා යටතේ ය. මෙම නඩුවෙහි චූදිතයින් අතර එල් ටී ටී ඊ නායක ප්‍රභාකරන්, එහි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් වැන්නන් සහ සහාදේවන්ගේ දුරකථනයේ තිබූ අංකයක් නිසා අත් අඩංගුවටගත් ඔහුගේ අසල්වැසි ඥාතියකු වන බාබු නමැත්තෙකුද වෙයි. සහාදේවන් පවසනා ආකාරයට මෙකී කොටි නායකයින් සමඟ කුමන්ත්‍රණය කරනු තබා ඔහු එතෙක් කොටි සංවිධානයේ සාමාජිකයකු ඇසින් දැක හඳුනා හෝ නොමැත.

ත්‍රස්ත පනත යටතේ කට උත්තරය ගත් හැටි

සහාදේවන්ට එරෙහිව නඩු පැවරීමට උපයෝගී කරගැනීමට  තිබුණේ  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුගෙන් ලබාගත් බව කියැවෙන පාපොච්චාරණ ලියැවිල්ලක් පමණි. නිසි අධ්‍යාපනයක් නොලද බැවින් සිංහල භාෂාව තබා දෙමළ භාෂාවවත් හරිහැටි ලිවීමට කියවීමට නොදන්නා සහාදේවන් එකී පාපොච්චාරණය නම් ලියැවිල්ලේ අඩංගුවූයේ කුමක්දැයි කියා අදටත් හරිහැටි දැන සිටියේ ද නැත. කදිරගාමර් මහතා ඝාතනය කෙරුණු දවසේ සහාදේවන්ගේ හැසිරීම පිළිබඳව ප්‍රශ්න කිරීමට යැයි කියමින් ඔහුගේ දියණිය ද CCD යට රැගෙන ගොස් රාත්‍රිය වනතුරා ප්‍රශ්න කිරීමට ලක්කෙරුණු සහ ඔහුගේ බිරිඳගේ සොයුරාද රැගෙන ගොස් ප්‍රශ්න කෙරුණු වටපිටාවක ‘නිදහස් කිරීම’ සඳහා යැයි පවසමින් ඉදිරිපත් කෙරුණු ඕනෑම ලියවිල්ලකට ඔහු අත්සන් තැබීමද අරුමයක් නොවේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනු ගොරකා දඩමස් කළ හැකි අවනීතියකි. යහපාලන කෙරැමෝ එය අහෝසි කිරීමට ශපථ කළ නමුත් අහෝසි කරනු තබා මෙවැනි අහිසංසකයින්වත් නිදහස් කළේ නැත. යහපාලනයට හෙණ වැදුණේ මෙවැනි අකටයුතුකම් ද නිසාය.

නාමල් රාජපක්ෂට සහදේවන් මුණ ගැසී ඇත්තේ කෙටි කළකට රිමාන්ඩ් කරනු ලැබූ 2016 වසරේය. නාමල් රාජපක්ෂ සහ මුත්තයියා සහාදේවන් අතර වෙනස දේශපාලන, සමාජීය සහ වාර්ගික එකකි. නාමල් රාජපක්ෂට ඉක්මනින්ම ඇප ලැබුණ අතර දැන් ඒ නඩු පවා කුණු කූඩයට ගොසිනි. නැතිනම් ඒ කරා යන පාරේය.

මෙවැනි අහිංසකයින් නිදහස් කළ යුතු බවට එදා නාමල් රාජපක්ෂ උද්ඝෝෂනයක් ගොන ගියේ නැත ඒ වෙනුවට සිදු වූයේ ඔහුගේ සහ ඔහුගේ පියාගේ දේශපාලන අනුගාමිකයින් ” සිරගත කර ඇති කොටි ත්‍රස්තයින්” නිදහස් කිරීමට යන්නේ යැයි ජාතිවාසය වැපිරීමය. එකළ මුත්තයියා සහාදේවන් ගැන ප්‍රසිද්ධියේ කතා කළේ නම් අද නාමල් රාජපක්ෂ ඔහු නිදහස් කළ යුතු බව කියන තුරු ජීවත්වන්නට ඉඩ තිබුණි.

අද නිදහස් කිරීමට මුත්තයියා සහාදේවන් කෙනෙක් නැති බව නාමල් රාජපක්ෂ නොදැන සිටීම ඛේදවාචකයේ තරම පෙන්වයි.

අද නිදහස් කිරීමට මුත්තයියා සහාදේවන් කෙනෙක් නැති බව නාමල් රාජපක්ෂ නොදැන සිටීම ඛේදවාචකයේ තරම පෙන්වයි.

දැඩි ලෙස දියවැඩියා රෝගයෙන් පීඩා විඳිමින්, නිසි ප්‍රතිකාරයක් ද නොමැතිව දෑස් පෙනීම ද දුර්වල වෙමින් සිටි මේ අසරණ මිනිසා  අවසානයේ දියවැඩියාව විසින් ඔහුගේ වකුගඩු ද  බිලිගත් කළ 2019 ජූනි 22 දින මිය ගියේ සිර ගෙදරදීම නෙකළ වරදක් වෙනුවෙනි.

නාමල් රාජපක්ෂටම අනුව  දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව නඩු විභාගවලින් අනතුරුව දඩුවම් විඳින  එල්ටීටීඊ සංඛ්‍යාව 35 කි. මෙම 35 දෙනාගෙන් බහුතරයක් තමන්ට ලැබී ඇති දඬුවමට වඩා වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට තිබේ.තවද දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරව සිටිමින් දැනට මහාධිකරණවල චෝදනා ගොනු කර තිබෙන නඩු 38 ක් තිබේ. මෙම නඩු අවුරුදු 20 කට වැඩි කාලයක්  පවතින ඒවාය. නඩුව අවසන් වන තුරු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගතව සිටිය යුතුය.

කිසිදු නඩුවක් නොපවරන ලද 13 දෙනෙකු ද සිටී. ඒ අතර පැමිණිලි කටයුතු, විභාග කටයුතු අවසන් කර ඇති නමුත් අධි චෝදනා ඉදිරිපත්ව නොකරන ලද 116 දෙනෙක් සිටී.
මෙම සමහර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නාමල් රාජපක්ෂ ඉපදීමටත් පෙරෙ බව ඔහුගේ කතාවෙහි දී සඳහන් කර තිබේ.
මේ කොතරම් අසාධාරණක්ද යන්නට අටුවා ටීකා අවශ්‍ය නැත.
අද රාජපක්ෂ වරුන් විසින් සිය දේශපාලන විරුද්ධවාදීන් ලෙස සළකන  නීතිඥ හෙජාස් හිස්බුල්ලා, පා.ම. රිෂාඩ් බදුර්දීන් සහ අසාත් සාලි වැන්නන් නඩු නැතිව රදවා ගෙන සිටින්නේ ද මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේමය.
තරුණ කිවිවර අහ්නාෆ් ජසීම් දැන දින 400කටත් වඩා නඩු නැතිව ළුද හිසංමනයට ලක් කරමින් රඳවාගෙන සිටින්නේ ද මෙම පනත යටතේමය. ඔහුට විරුද්ධව ඇත්තේද ගොතන ලද බොරු නඩුවකි.
එපමණක් නොව අධිකරණයට පිටින් සැකකරැවන් සැකකාරියන් දෙවසරක පුනරුත්ථාපන කඳවරුවල ගාල් කළ හැකි නීතියක් ජනාධිපති රාජපක්ෂ  විසින් ගැසට් කරන ලද්දේද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. රාජපක්ෂවරුන් අද සිය දේශපාලන විරුද්ධවාදීන් බිය ගැන්වීමට යොදා ගන්නේ මෙම පනතමය.

රාජපක්ෂවරුන්ට සැබවින්ම අනීතික අත්අඩංඟුවට ගැනීම් සහ රඳවා තැබීම් වැළැක්වීමට අවශ්‍ය නම් කළ යුත්තේ දුෂ්ඨ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමයි. නිරපරාදේ මෙරට රජය විසින්  මරණය කරා ගෙන යන ලද මුත්තයියා සහදේවන්ට යුක්තිය ඉටු කිරීමට නම් කළ ගතයුතු එක් පියවරක් වන්නේ එයයි.

එල්ටීටී ඊ සැකකරුවන් නිදහස් කිරීමේ් තීරණය යුරෝපා සංගමයෙන් ලබා දෙන ජීඑස්පී සහනය දිගටම පවත්වා ගැනීමෙන් ගත් පියවරක් ද විය හැකිය. එසේත් නැත්නම් මිනීමරු දුමින්ද සිල්වා නිදහස් කිරීම ආවරණය කිරීමට ගත් පියවරක්ද වියහැක.

ඒ කුමන හේතුවක් නිසා හෝ නඩු නොපවරා දීර්ඝ කාලයක් සිරගත කරගෙන සිටි එල්ටීටීඊ සැකකරුවන් 16 දෙනෙකු නිදහස්වීම දෙමළ ජනයාගේ සතුටට කාරණයක් වනු ඇත.

එසේ නමුත් මිනීමරු දුමින්ද සිල්වා නිදහස් කරමින් රාපක්ෂවරුන් විසින් පෙන්වන ලද අවනීතිය විසින් මෙම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ යහපත දැනටමත් මැකී යමින් තිබේ.

රාජපක්ෂවරුන්ට සැබවින්ම අනීතික අත්අඩංඟුවට ගැනීම් සහ රඳවා තැබීම් වැළැක්වීමට අවශ්‍ය නම් කළ යුත්තේ දුෂ්ඨ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමයි.

නිරපරාදේ මෙරට රජය විසින්  මරණය කරා ගෙන යන ලද මුත්තයියා සහදේවන්ට යුක්තිය ඉටු කිරීමට නම් කළ ගතයුතු එක් පියවරක් වන්නේ එයයි.

(මුත්තයියා සහදේවන් පිළිබද උපුටා ගැනීම් රැවන් නෙලු විසින් 2019 ජූනි 30 දා ලංකා නිව්ස් වෙබ්හි පළ කරන ලද පාපොච්චාරණය – යුක්තිය නොමැතිවම කදිරගාමර් ඝාතනයේ සැකකරු මියයයි ! යන ලිපියෙනි. එය මෙහි කියවන්න.

 

 

 

 

Archive

Latest news

Related news