Wednesday, April 24, 2024

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව

හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි පොළක් ඇතුළු සුඛෝපභෝගී මාලිගාවක් සම්බන්ධ තොරතුරු ගම්පහ මහාධිකරණය හමුවේ පළමු වරට විභාගයට ගත් නඩුවක දී අනාවරණය විය.

මෙම නඩුවේ දී රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධිකරණය [කළු සල්ලි සුදු කිරීම] සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති අතර, පළමු චූදිතයා ලෙස බැසිල් රාජපක්ෂ ද, දෙවන චූදිතයා ලෙස ඉඩමේ හිටපු හිමිකරු වන තිරු නඩේසන් ද (බැසිල්ගේ ඥාති සොයුරිය නිරූපමා රාජපක්ෂගේ සැමියා) නම් කර තිබේ.

ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂි මෙහෙයවනු ලැබුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් (DSG) තුසිත් මුදලිගේ විසිනි. (අද වන විට ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු තුසිත් මුදලිගේ අපරාධකරුවෙකු ලෙස නම් කිරීම නිසා ඔහු ලෙඩ ඇඳට වැටී ඇත)

විස්මිත තොරතුරු හෙළිවේ..

එම පරිශ්‍රයේ ගෘහ නිර්මාණ ශිල්පියා වූ ජයකොඩි සාක්ෂි දෙමින් ඉදිකිරීම් සඳහා භාවිතා කළ අරමුදල් පිළිබඳව විස්මිත තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව් කළේය. 2014 නොවැම්බර් මාසය වන විට එහි ප්‍රගතිය පිළිබඳව DSG විසින් විමසනු ලැබූ විට ඔහු පැවසුවේ, ඒ වන විට රුපියල් මිලියන 100 ක් පමණ වියදම් කර ඉදි කිරීම් කටයුතුවලින් සියයට 80 ක් පමණ අවසන් කර තිබූ බවයි. එම මුදල් ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ බව සාක්ෂිකරු සහතික කළේය.

ඉදි කිරීම් අතරතුර පුෂ්පා රාජපක්ෂ එම ස්ථානයට පැමිණ ඇත්තේ දෙවරක් පමණක් බවත්, කරුණු කිහිපයක් පිළිබඳව ඇය කොන්ත්‍රාත්කරුවන්ට උපදෙස් දී ඇති බවත් ඔහු පැවසීය.

දේපල පිළිබඳ රජයේ ඇස්තමේන්තුව රු. මිලියන 28 කි.

මාලිගාව සඳහා මුල් ගල් තබන ලද්දේ 2013 පෙබරවාරි 10 වන දාය. පුෂ්පා රාජපක්ෂ ද මෙම අවස්ථාවට සහභාගී වූවා ය. නඩු විභාගය අතරතුර ජිම්, නාන තටාක සහ අංගනයේ සිටින ගවයින් ඇතුළු පරිශ්‍රයේ පින්තූර සාක්ෂිකරු විසින් හඳුනා ගන්නා ලදී.

මුල්ගල් තියන නැකැත් හැදුවේ සුමනදාස..

පරිශ්‍රයට විදුලිය ලබා ගැනීමේ සැලැස්ම සාක්ෂිකාර ගෘහ නිර්මාණ ශිල්පියා විසින් කොන්ත්‍රාත්කරු වන උපුල් කුමාර රාමවික්‍රමට දී ඇත. කොන්ත්‍රාත්කරු විදුලිය සඳහා ඉල්ලුම් කර තිබුණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් සුඛෝපභෝගී මෝටර් රථයක් තෑගි ලැබූ ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයෙකු වන සුමනදාස අබේගුණවර්ධන මුණ ගැසී තිබේ දැයි DSG ප්‍රශ්න කළ විට ශාක්ෂිකරු කියා සිටියේ, මාතර නිවසක් ඉදි කිරීම, ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය, සහ මල්වාන පරිශ්‍රය සඳහා මුල් ගල් තැබීම යන අවස්ථාවල දී ඔහු මුණ ගැසී ඇති බවය.

ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඔහු විසින් අඳින ලද පරිශ්‍රයේ සැලැස්ම බැසිල් රාජපක්ෂගේ කාර්යාලයේ දී කිසියම් පුද්ගලයෙකුට භාර දුන් බව ශාක්ෂිකරු පැවසීය.

අනුමැතිය ලැබීමෙන් පසු, ඒ බව ඔහුගේ කාර්යාලයෙන් තමාට දැන්වූ බව ද, ප්‍රාදේශීය සභාවෙන් එය ලබා ගැනීම සඳහා සහායකයකු පිටත් කර යැවූ බව ද ශාක්ෂිකරු පැවසීය.

මහ බැංකුව පිටුපස බැසිල්ගේ පොට් එක…

ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන ලද අතර, නාන තටාක සහ දැව වැඩ සහ ඉදිකිරීම් කටයුතු 2015 මැද භාගය දක්වා පැවතුණි. ඉදි කිරීම් පිළිබඳ මූලික සාකච්ඡා මහ බැංකුව පිටු පස පිහිටි නිවසක පවත්වා ඇත. සාක්ෂිකරු කියා සිටියේ, එය පෞද්ගලික වාසස්ථානයක් ද නැතිනම් නඩුවේ පළමු චූදිත හිටපු ඇමතිවරයාගේ නිල නිවස ද යන්න තමා නොදන්නා බවයි.

ඉදි කිරීමේ කටයුතු සඳහා ගෙවීම් ලැබුණේ කෙසේ දැයි ප්‍රශ්න කළ විට ශාක්ෂිකරු කියා සිටියේ, විවිධ පුද්ගලයින් මුදල් ගෙනැවිත් ශාක්ෂිකරුගේ කාර්යාලයේ දී ඒවා තමාට දුන් බවයි. “මා මේ අයගෙන් කිසිවෙකු පෞද්ගලිකව දැන සිටියේ නැහැ, කෙසේ වෙතත්, කා අත හෝ මුදල් එවීමට කලින් බැසිල් මහත්තයා මට කතා කරනවා.”

සල්ලි එවන්න කලින් බැසිල්ගෙන් කෝල් එකක්..

දෙවන විත්තිකරු වන තිරුකුමාර් නඩේසන් සමග තමා සම්බන්ධ වූයේ ඉඩම මිල දී ගන්නා අවස්ථාවේ දී පමණක් බවත්, මාලිගය ඉදි කරන කාලයේ දී කිසිදු සම්බන්ධයක් නොපැවති බවත් ශාක්ෂිකරු පැවසීය. 2015 ජනාධිපතිවරණයෙන් පසු නඩේසන් විසින් තමාට අයත් ඉඩමක නිවස ඉදි කරන්නේ කාගේ අවසරය යටතේ දැයි නිර්මාණ ශිල්පියාගෙන් ප්‍රශ්න කර තිබේ. ඒ වන විට බැසිල් රාජපක්ෂ විදේශ ගතව සිටි නිසා දෙවන විත්තිකරු මට තර්ජනය කර ඉදි කිරීම් කටයුතු සම්බන්ධයෙන් හිරිහැර කළ බව ශාක්ෂිකරු පැවසීය. ඔහු බලහත්කාරයෙන් ඉඩම තමාට විකිණීමට පවා උත්සාහ කළ බවත්, නඩු දමන බවට තර්ජනය කළ බවත්, අන්තිමට බැසිල් රාජපක්ෂ තමාට කතා කළ බවත් ශාක්ෂිකරු වැඩි දුරටත් පැවසීය.

කළු සල්ලි එහෙට මෙහෙට -මෙහෙට එහෙට…

“මගේ සමාගමට ඉඩම මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කළා. බැසිල් රාජපක්ෂගෙන් ලබාගත් මුදල් නඩේසන්ට ගෙවීමට මා උත්සාහ කළ විට ඔහු ඒවා ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා. අවසානයේ මං මගේ සමාගමේ ගිණුමෙන් මුදල් අයිරාවක් ලබාගෙන නඩේසන්ට චෙක්පතක් දුන්නා. බැසිල් රාජපක්ෂගෙන් මට ලැබුණු මුදල්වලින් බැංකු අයිරාව පියවා ගත්තා,” යයි ශාක්ෂිකරු පැවසීය.

පූගොඩ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ශාක්ෂිකරු විසින් ප්‍රකාශයක් කරන ලද්දේ ඇයි දැයි ඇසූ විට ශාක්ෂිකරු කියා සිටියේ, පුෂ්පා රාජපක්ෂගේ සහෝදරිය වෙනුවෙන් ඉඩම් මිල දී ගැනීමක් සම්බන්ධයෙන් පැන නැඟුණු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් භාරයේ තබා ඇති බවයි. “රිමාන්ඩ් කර සිටින විට ඔවුන් සමග කිසිම සම්බන්ධතාවයක් නොපැවැත්වීමට මා තීරණය කළා. එනිසා මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් කිරීමට සිතුවා.”:෴

2019 පෙබරවාරි 24 වන දින Sunday Observer වෙබ් අඩවියේ පළ වූ, ‘Architect reveals details on Basil’s villa in Malwana’ නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට පරිවර්තනය කළේ, ආනන්ද විසිනි.

ලංකා ඊ නිව්ස් වෙතිනි.

Archive

Latest news

Related news