ඇමෙරිකානු කොන්ග්‍රසය තුළ එල්ටීටීඊ හිතවාදී කල්ලියක් සිටින බවට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය චෝදනා කරයි.

763
View, from the balcony, of congressmen and congresswomen on the house floor as the 115th Congress is called into session on its opening day, Washington DC, January 3, 2017. (Photo by Mark Reinstein/Corbis via Getty Images)

ඇමෙරිකානු  කොන්ග්‍රස් සභාව වෙත ශ්‍රී ලංකාවෙහි සිදුවූ බවට කියැවෙන යුද අපරාධ සහ මෙරට දෙමළ ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවක් විවේචනය කරමින් විදේශ අමාත්‍යාංශය විසින් අද නිකුත් කරන ලද නිවේදනයක එම කොන්ග්‍රස් සභාව තුළ එල්ටීටීඊ හිතවාදී කල්ලියක් සිටින බවට චෝදනා කර තිබේ. එම යෝජනාව ඉදිරිපත් කර ඇති  ඩෙබෝරා කේ. රොස්, බිල් ජොන්සන්, ඩැනී කේ. ඩේවිස්, බ්‍රැඩ් ෂර්මන් සහ කැතී මැනින් යන කොන්ග්‍රස් සභික සභිකාවන්ට ‌එමගින් එම චෝදනාව එල්ල කර තිබේ.

තානාපති ආරංචි මාර්ග සඳහන් කරන්නේ එවැනි යෝජනාවක ඇති කරුණූ සමඟ එකඟ නොවීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට අයිතියක් ඇති නමුත් මෙවැනි භයානක චෝදනාවක් එල්ල කිරීම සියලු තානාපති ආචාර ධර්ම ඉක්මවා යෑමක් බවයි.

ශ්‍රී ලකාණ්ඩුව කළ යුතුව තිබුනේ සිය මතය එම මහජන නියෝජිතයින් වෙත පැහැදිළිව දැන්වීම බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනාහී  මෙරට පාර්ලිමේන්තුව තුළ විරුද්ධ පක්ෂ මංත්‍රීවරුන් සහ මංත්‍රීවරියනට ලේබල් දමා ගසන අන්දමේ බාල පියවරක් බව ඔව්හු පෙන්වා දෙති.

ලංකාණ්ඩුවේ නිවේදනය පහත දැක්වේ.

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී ඩෙබෝරා කේ. රොස් මහත්මිය විසින්,  තවත් නියෝජිත මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු වන බිල් ජොන්සන් මහතා, ඩැනී කේ. ඩේවිස් මහතා, බ්‍රැඩ් ෂර්මන් මහතා සහ කැතී මැනින් මහත්මිය සමඟ එක්ව 2021 මැයි 18 වැනි දින එම කොන්ග්‍රස් සභාව වෙත හඳුන්වා දෙන ලද අංක H.RES.413 දරන යෝජනා සම්මුතිය කෙරෙහි විදේශ අමාත්‍යාංශය අවධානය යොමු කරයි. එම යෝජනා සම්මුතිය 2021 මැයි 18 වැනි දින කොංග්‍රස් සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

සනාථ නොකරන ලද, පදනම් විරහිත සහ අමූලික අසත්‍ය කරුණු සහ එම යෝජනාවේ අභිප්‍රාය පිළිබඳව බරපතල සැක මතු කරන චෝදනා අඩංගු, එම යෝජනාවේ අන්තර්ගතය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි ලෙස විරෝධය පළ කරයි.

මෙම යෝජනාවේ සාවද්‍ය, පක්ෂග්‍රාහී සහ ඒක පාර්ශ්වීය ස්වභාවය පිළිබඳව සලකා බැලීමේ දී, මෙය හුදු මානව හිමිකම් යෝජනාවක් නොවන බව සඳහන් කළ හැකි වන අතර, මෙය ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 32 ක ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජනපද කොන්ග්‍රසය තුළ සිටින එල්ටීටීඊ හිතවාදී කල්ලියකගේ බලපෑම මත ගෙන එන ලද්දක් ලෙස පෙනී යයි.

ශ්‍රී ලංකා රජය සිය ප්‍රතිචාරය වොෂිංටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා, කොන්ග්‍රස් සභාවේ විදේශ කටයුතු කමිටුවේ සහ එම සභාවේ ආසියාව පිළිබඳ අනු කමිටුවේ නියෝජිතයින් වෙත සහ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම සඳහා කටයුතු සිදුකරමින් සිටියි.

විදේශ අමාත්‍යාංශය
කොළ‍ඹ

2021 ජුනි 02 වැනි දින