Wednesday, May 1, 2024

ආණ්ඩුවේ “ගජ මිතුරු එන්නත් දේශපාලනය” හමුවේ ග්‍රාම නිලධාරී වර්ජනය සිව්වන දිනයටත් දිග්ගැසෙයි!

ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරීන්  සහ නිලධාරිනියන් 12,000 ක් පමණ සිව්වන දිනයටත් අද වන විට වැඩ වර්ජනයක නිරතව සිටිති. ඔවුන්ට පිළිගත හැකි විසඳුමක් ලබාදීමට රාජපක්ෂ ආණ්ඩුව මේතාක් සමත් වී නැත.

වසංගතය පාලනය කිරීමේ පෙරමුණු බලඇණියක් වන ග්‍රාම නිලධාරී සේවාව අකර්මන්‍ය වීමේ වාසිය ඇත්තේ වයිරසයට මිස ජනතාවට නොවේ.

පසුගිය දින ගණනාව පුරා රාජපක්ෂවරු සිය ගජ මිතුරන්ට ඇස්ට්‍රා  සෙනකා දෙවැනි එන්නත ලබා දුන්නේ පළමු එන්නත ලබා ගත් වැඩිහිටි ජනයා සහමුළින්ම නොසළකා හරිමිනි.

ග්‍රාම නිලධාරී වෘත්තීය සමිතිය කියා සිටින්නේ කොවිඩ්19 එන්නත ලබාදීමේදී ආණ්ඩුව තමන් නොසලකා හැර ඇති බවයි. දැනටමත් සිය සේවාවේ තිදෙනෙකු රෝගයට ගොදුරු වී මියගොස් ඇතැයි ද ඔව්හු ප්‍රකාශ කරති.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයින්ගේ සහ ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ පවුලේ සාමාජිකයින්ට පවා එන්නත්  ලබාදීමේ ප්‍රමුඛතාවය ලබා දී ඇති නමුත් ගමේ සහ නගරයේ “තනි පුද්ගල” රාජකාරියක නිතරව සිටින  සිය සේවාව නොසළකා හැරීමට විරෝධය පෑම මෙම වර්ජනයේ අරමුණ බව එහි ප්‍රධානීන් පවසති.

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ දෛනික COVID-19 රෝගීන් ඉහළ මට්ටමක පවතින අධි අවදානම් සහිත ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන් සහ නිලධාරිනියන් දැනටමත් ඔවුන්ගේ පළමු එන්නත මාත්‍රාව ලබාගෙන ඇත. එනමුත් වෘත්තීය සමිතිය ඉල්ලා සිටින්නේ දිවයින පුරා සේවය කරන සියලුම  ග්‍රාම නිලධාරිනියන් සහ නිලධාරීන්ටද ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසයි.

ශ්‍රී ලංකාණ්ඩුව එන්නත් ලබා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන ලද වාර්තාව අනුව ග්‍රාම නිලධාරිනියන් සහ නිලධාරීන්ද  අයත් වන්නේ ප්‍රමුඛතා ලැයිස්තුවටය. එනමුත් ආණ්ඩුව දැන් සම්පූර්නයෙන්ම එම ප්‍රමුඛතා ලැයිස්තුව නොසලකා හැර තිබේ. වෛද්‍යවරුන්ගේ පවුල් සමාජික සාමාජිකාවන් එම ප්‍රමුඛතා ලැයිස්තුවෙහි නැත.

කොවිඩ් 19 කළමනාකරණය කිරීම සඳහා සෑම ප්‍රදේශයකම කමිටු පත් කර ඇති නමුත්  බොහෝ ප්‍රදේශවල එය තනි පුද්ගල එනම් ග්‍රාම නිලධාරීන්ගේ කාර්යයක් බවට පත්ව තිබේ.

මේ වන විට ග්‍රාම  නිලධාරිනියන් සහ නිලධාරීන් 50 දෙනකු අසාදිත වි ඇති  බවත් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් නිරෝධායන 100 ක් ඇති බවත් වාර්තා වේ.

“අපගේ ජීවිතවලට ඇති අවදානම සැලකිල්ලට ගෙන ප්‍රමුඛතා ලැයිස්තුවෙන් එන්නත ලබා ගැනීමට අපට අවස්ථාව ලබා දෙන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියෙමු.” යැයි ග්‍රාම නිලධාරී සංගමයේ ලේකම් දල්පතාදු ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත්, රජය සිය ඉල්ලීම නොසළකා හැර සෞඛ්‍ය සේවකයින්ගේ සහ හමුදා නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයින්ට එන්නත ලබා දීම ආරම්භ කළ බව ඔහු පවසයි.

“අපිත් ඉදිරි පෙරමුණේ වැඩ කරන නිලධාරීන් සහ නිලධාරිනියන්. සෞඛ්‍ය හා හමුදා කාර්ය මණ්ඩලයේ පවුලේ සාමාජිකයන් අපට වඩා ඉහළ ප්‍රමුඛතාවයක් ලෙස සලකන්නේ නම්, අප අවදානමක් ගත යුත්තේ ඇයි? ” යැයි ඔව්හු ප්‍රශ්ණ කරති.

රාජපක්ෂ ආණ්ඩුවේ අකාර්යක්ෂම සහ ගජ මිතුරු දේශපාලනය විසින් කොවිඩ් 19 මැඩළීම වෙනුවට සිදුවෙමින් ඇත්තේ ඔවුන්ගේ දේශපාලන බල ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමක් පමණක් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෘත්තීය සමිති ක්‍රියාධරයන් රැසක්ම ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත කියා සිටියහ.

Archive

Latest news

Related news