අද රට මුහුණ දෙමින් සිටින්නේ දැවැන්ත අර්බුදයකට ය. එහිදී රටේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන සියලුම බලවේග සමගි සම්පන්නව, එක්සත්ව, අත්වැල් බැඳ ගනිමින් මෙම අර්බුදය ජය ගැනීම සඳහා පෙරට ආ යුතුව තිබේ. එහිදී මේ රටේ සියලුම දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ සංවිධානවලට ඇත්තේ අති මහත් වූ වගකීමකි.
ඒ අනුව සැලකීමේදී ගෙවුණු සතිය තුළ අප සියලුම දෙනාහට යම් හෝ බලාපොරොත්තුවක් ඇති කරගත හැකි වාතාවරණයක් නිර්මාණය වූ බව දැකගත හැකි වුණා. කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා රජය අවංකවම එවැනි ක්‍රියාවළියකට ප්‍රවේශ වන්නේ නම් ඒ සඳහා තම උපරිම සහාය දෙන බවට බොහෝ පාර්ශ්වයන් ප්‍රසිද්ධියේම අදහස් පළ කරනු අපට අසන්නට ලැබුණා. දේශපාලන පක්ෂ ගණනාවකම නායකයන්ද, සිවිල් සමාජ සංවිධාන ගණනාවක්ද ඒ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා.
ඒ වගේම එවැනි උතුම් කාර්යයක් සඳහා පෙළගැසෙන්නේ නම් මහා සංඝරත්නය ඇතුළු සියලුම ආගමික නායකයන් ද ඒ සඳහා තම ආශිර්වාදය පළ කරන බව දන්වා තිබුණා. ඒ ඉතාමත්ම සාධනීය වූද රට වෙනුවෙන් සුබවාදී බලාපොරොත්තු ඇති කර වන්නා වූ තත්ත්වයකි. මේ රටේ ජනතාවද ඒ කෙරෙහි විශාල වශයෙන් බලාපොරොත්තු සහගතව සිටීයා.
රට තුළ එවැනි පරිසරයක් නිර්මාණය වන්නේ ඉතාමත්ම කලාතුරකිනි. එවැනි අවස්ථාවක ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ සිය මිත්‍රත්වයේ හස්තය ඒ සියලු කොටස් වෙත දිගු කිරීමයි. ඒ සියලු දෙනාම ඒකාබද්ධ කරගනිමින් මෙම කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීම සඳහා සුදුසුම වැඩ පිළිවෙළක් සැකසීමයි. ඒ සඳහා තවමත් පමා වී නැත.
එවැනි අවංක උත්සාහයක් ගන්නේ නම් ඒ සඳහා නිශ්චිත සැලැස්මක් හා වැඩපිළිවෙළක් සහිතව ඊට යොමු විය යුතුව තිබේ. එවැන්නකින් පමණක් මෙම අර්බුදය ජය ගත හැකිවනු ඇතැයි අපගේ ද ඒකායන විශ්වාසයයි. එම ක්‍රියාන්විතයේදී නියත වශයෙන්ම සපුරා ගත යුතුව ඇති ඉලක්ක ගණනාවක්ම තිබේ.
එයින් පළමුවැන්න විය යුත්තේ මෙම වසරේ දෙසැම්බර් 31 වන දිනට පෙර මේ රටේ වයස අවුරුදු 10 ට වැඩි සෑම පුරවැසියෙකුටම එන්නත් ලබා දීමයි. ඒ සඳහා මේ රටේ මිලියන 15ක පමණ ජනතාවකට එන්නත් ලබා දීමට රටක් ලෙස අප සැලසුම් කළ යුතුව තිබේ.
අප ඉදිරිපත් කරන යෝජනාවලිය සැකසීමේදී, සෞඛ්‍ය සේවාවේත්, ජාත්‍යන්තරය පිළිගත් විද්වතුන්, ලෝක සෞඛ්‍ය සංවිධානය, තානාපතිවරුන්, ලෝකයේ විවිධ රටවල අපට හිතවත් දේශපාලනඥයින් හා කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දුන් රටවල පිළිගත් විද්‍යාඥයන් සමග අදහස් හුවමාරු කරගෙන මෙම අයගේ අදහස් හා නිර්දේශ මත මෙම යෝජනා ඉදිරිපත් කරමු.
එය අපට සපුරා ගත හැකිද? ඒ පිළිබඳව අවධානය යොමු කරන දේශීය හා විදේශීය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණයන් බොහෝ දෙනෙකුම එහිදී අවධාරණය කරන්නේ රටක් ලෙස අප බාහිර ලෝකය සමග බුද්ධිමත් ආකාරයට හොඳ හිතින් කටයුතු කරන්නේ නම් එය කිසිසේත්ම අපහසු නොවන බවය. අපගේ අත්දැකීම් අනුවද එය එසේය. ඒ සඳහා රජය පෙරට ආ යුතුව තිබේ. නම්‍යශීලි විය යුතුව තිබේ.
එවැනි ක්‍රියාන්විතයකදී අප ප්‍රථමයෙන්ම සපුරාගත යුතු ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 30 කි. වාර්තා වන ආකාරයට ඊයේ දිනය වන විට අප සතුව ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය 1765000කි. එනම් ස්පුට්නික් එන්නත් මාත්‍රා 15000, සයිනොෆාම් එන්නත් මාත් 500000ක් සහ කොවැක් ප්‍රදානයන් යටතේ ලැබුණ තවත් එන්නත් මාත්‍රා 250000ක් වශයෙනි.
එමෙන්ම වාර්තා වන ආකාරයට අපට ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා මිලියන 1.1 සහ ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13 ක් ඉදිරියේදී අපට ලැබීමට නියමිතව ඇත. එයට අමතරව සයිනෝෆාම් එන්නත් මාත්‍රා තොගයක් ද ඉදිරියේදී අපට ලැබීමට නියමිතව තිබේ. එමෙන්ම චීන සමාගමක් විසින් එන්නත් නිෂ්පාදනය කරනු ලබන ඒකකයක් ලබන මස මහනුවරදී ආරම්භ කිරීමටද සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අපගේ ඉලක්කයට අනුව අවුරුදු 10 ට වැඩි සෑම පුරවැසියෙකුටම එන්නත් ලබාදීමට නම් තවත් එන්නත් මාත්‍රා 28,235,000ක අවශ්‍යතාවයක් අප විසින් සපුරා ගත යුතුව තිබේ. (ඉහත සංඛ්‍යාලේකණ වල සුළු වෙනස්කම් ඇතිවිය හැකිය)
ඒ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට අපට හැකියාවක් ඇත. අවශ්‍ය වන්නේ නිසි සැලසුමක් හා ඒ සඳහා වන මනා කළමනාකාරීත්වයකි. විදේශීය ප්‍රදාන, දායක ආධාර හා විදේශයන්ගෙන් ඒ සඳහාම ගත හැකි ණය මුදල් ද වශයෙන් එය සැලසුම් කර ගත යුතුව තිබේ. එමෙන්ම ඊට අමතරව සමස්ත රට වැසි ජනතාවගේ ද ඒ සඳහා සහාය ලබා ගත හැකිය. විශේෂයෙන්ම රටේ ප්‍රමුඛ ව්‍යාපාරික හා වානිජ ප්‍රජාවන්ද ඒ සඳහා සම්බන්ධ කර ගත හැකිය.
අප දන්නා ආකාරයට බැංකු, රක්ෂණ, සන්නිවේදන සමාගම් ද ඇතුළු විශාල ව්‍යාපාරික සමාගම් මගින් උපයා ඇති විශාලතම ලාභය ලබා ඇත්තේ මේ වසරේ දීය. රට මේ ආකාරයේ ජාතික ව්‍යසනයකට මුහුණ දී ඇති අවස්ථාවක එවැනි ආයතන සිය යුතුකම් හා වගකීම් ඉටු කිරීම සඳහා පොළඹවා ගත හැකිවනු ඇත. ඒ අනුව අපගේ ඉලක්ක සපුරා ගැනීම සඳහා අපට අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් මිලියන 500 පමණ අරමුදල් ප්‍රමාණය අපට සපුරා ගත හැකි වනු ඇත.
මේ ඉලක්ක සපුරා ගැනීම සඳහා අපට රටක් ලෙස යොමු විය යුතු තවත් අතුරු මාර්ග ද තිබේ. සමහර එන්නත් රට තුළ නිෂ්පාදනය කිරීම සඳහා දැනටමත් ඉදිරිපත් වී ඇති යෝජනාවද එවැන්නකි. එමෙන්ම පෞද්ගලික රෝහල් හරහා එන්නත් ලබාදීමද තවත් එක් ප්‍රතිකර්මයකි. රුසියානු ස්පුට්නික් එන්නත “රෙක්වික් ලැබ්” නමැති පෞද්ගලික ආයතනයක් හරහා ඉන්දියාවේ පුද්ගලික රෝහල් වෙත ලබාදීමට එරට අග්‍රමාත්‍ය නරේද්‍ර මෝදි රජය ගත් තීරණයද එවැන්නකි.
එවැනි තීරණයන්ට හා ක්‍රියාමාර්ගයන්ට යොමු වීමේදී රටක් ලෙස අප ජාතික වශයෙන් ගත යුතු තීන්දු හා තීරණ කිහිපයක්ම ඇති හෙයින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ එකගත්වයක් ලබාගැනීම ද අත්‍යාවශ්‍ය ය. එම කාර්යය සාර්ථක කර ගැනීමට නම් සියලු දේශපාලන හා සිවිල් බලවේග ඒ සඳහා දායක කරගත යුතුය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එවැනි උත්සාහයක් සඳහා පූර්ණ ආශිර්වාදය පළ කරන බව මෙහිදී ප්‍රථමයෙන්ම අවධාරණය කරන්නෙමු. අපගේ බලවත් අපේක්ෂාව වන්නේ ද එයයි. එවැනි ජාතික වගකීමකදී ආණ්ඩු පක්ෂයට මොන තරම් බලයක් හා ශක්තියක් තිබුණද විපක්ෂයේ දේශපාලන බලවේගන් හා රටේ සමස්ත ජනතාවගේ සහාය ඒ සඳහා ලබා නොගන්නේ නම් එවැනි ක්‍රියාමාර්ගයකට යොමුවීම දුශ්කර විය හැකිය.
එහිදී බොහෝ පාර්ශ්ව විමසා සිටින්නේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීම මගින් හා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීම තුළ උඩඟුභාවටය පත්ව ඇති පාලකයන්ගෙන් සමන්විත ආණ්ඩුවකින් එවැන්නක් අපේක්ෂා කළ හැකිද යන්නය. සර්ව පාර්ශ්වික එකඟතාවයකට යොමුවීම සඳහා විපක්ෂයට අවශ්‍යතාවයක් ඇත්නම් ඒ බව ලිඛිතව දැනුම් දෙන ලෙස ආණ්ඩුවේ ප්‍රබලම නායකයෙක් සිදු කර ඇති ප්‍රකාශය සැලකීමේදී ද පෙර කී සැක සංකාවන් හි සාධාරණත්වයක් ඇතිබව පැහැදිලිය.
හිටපු කථානායක වරයා ලෙස අප විසින් 2020 වසරේ දී යෝජනා කළ පරිදි මාර්තු හා අප්‍රේල් මාසයන් හිදී ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළු දෙකක් පවත්වන ලදී. මෙම රැස්වීම් සඳහා ගරු ජනාධිපතිතුමා සහභාගි නොවීම තුළ එහිදී තීරණ ගැනීමට අපහසු වීම තුළ එය අසාර්ථක විය එමෙන්ම එදා රජයේ උත්සාහය වූයේ කොරෝනා වසංගතය පැතිරීම නැවැත් වීම මිස වසංගතය හමුවේ ක්‍රියාත්මක කළහැකි දීර්ඝ සැලැස්මක් නොවේ. අද අපි යෝජනා කරනුයේ මුළු රටම එන්නත් කිරීමේ වැඩසටහනකි.
මෙවැනි ජාතික ව්‍යසනයකදී ඊට සාර්ථකව මුහුණ දී රට ජයග්‍රහණය කරවීමට නම් රටේ සියලු පාර්ශ්වයන් ගේ එකඟත්වය හා සහභාගීත්වය ඒ සඳහා ලබාගත යුතු ඇති බව සියල්ලන්ම තේරුම් ගත යුතුව ඇත. ඉන්දියාව ජාතික වශයෙන් මුහුණ දී ඇති මේ ආකාරයේම අර්බුදයේදී ඊට සාර්ථකව මුහුණ දීමට නම් එරට විපක්ෂයේද සහාය අවශ්‍ය බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා ඉතා නිවැරදිව තේරුම් ගෙන ඒ සඳහා විපක්ෂයට ආරාධනා කර ඇත්තේ ඒ නිසාය. රටක් ලෙස අප ද එකී වගකීම තේරුම් ගත යුතුය.
එබැවින් ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයද ඒ පිළිබඳව වන තම ස්ථාවරය රට හමුවේ පැහැදිලි කළ යුතුය. එහිදී සංවිධානයක් ලෙස අප විමසා සිටින ප්‍රධාන කරුණු 3ක් තිබේ.
1. රට මුහුණ දී ඇති මෙම බිහිසුණු වසංගතය පරාජය කිරීම සඳහා රජය විපක්ෂයේ හා සිවිල් සමාජ සංවිධානයන්හි සහාය අපේක්ෂා කරන්නේද?
රජය ඊට ලබා දෙන පිළිතුර ඔව් යන්න නම් නැතහොත් එවැනි ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා මෙම අභියෝගය ජය ගැනීම සඳහා රජය සූදානම් වන්නේ නම් එවැනි ක්‍රියාමාර්ගයකට බාධා විය හැකි පටු දේශපාලන උපාය මාර්ග වෙනස් කර ගැනීමට රජය අවංක විය යුතුය. ප්‍රායෝගිකවම ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුය. ඒ අනුව අප තුළ පවත්නා දෙවන හා තුන්වන ප්‍රශ්නයන්ට ද රජය ලබාදෙන පිළිතුර ඉතා වැදගත්ය. එනම්,
2. දේශපාලන පළිගැනීම් පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ ඊනියා නිර්දේශ හා යෝජනා පදනම් කරගනිමින් පසුගියදා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව ඉදිරියේදී සම්මත කර ගන්නේද? ඒ මගින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා නීතියේ ආධිපත්‍යයට බරපතළ විනාශයක් ඇති කරලිය හැකි පිළිවෙතකට රජය තවදුරටත් යොමුවන්නේ ද?
3. පටු දේශපාලන අරමුණු මත විවිධ චෝදනා ඉදිරිපත් කරමින් බන්ධනාගාර තුළ දීර්ඝ කාලයක් තිස්සේ රඳවා ගෙන සිටින එහෙත් මේ දක්වා ම අධිකරණය හමුවේ පැහැදිලි ලෙස චෝදනා ගොනු කිරීමක් සිදුකර නැති දේශපාලඥයන්, රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් වැනි දේශපාලන සිරකරුවන් සාධාරණත්වයේ හා මනුෂ්‍යත්වයේ නාමයෙන් මුදාහරින්නේ ද? එමෙන්ම රජය භාරයේ සිටි සිරකරුවන් ඝාතනය කිරීම තුළ මේ අවස්ථාවේ විශාල අපකීර්තියක් සිදු වූ බවද රජය විසින් වටහා ගත යුතුය.
මේ පිළිබඳව ගරු ජනාධිපතිතුමා ඉතාමත්ම ඉක්මනින් ඍජු පිළිතුරක් ලබා දිය යුතුව තිබේ. එය එසේ කළ යුතුව වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොවේ. ජාතික වශයෙන් වැදගත් වන්නා වූ ප්‍රමුඛ කරුණකදී සියලු බලවේග ඒකරාශී කර ගැනීමට නම් දේශපාලන පටු අරමුණු වලින් බැහැර වී කටයුතු කළ යුතුව ඇති නිසාය. එබැවින් ඒ පිළිබඳව රජය බලවත් ලෙස අවධානය යොමු කොට ස්ථීරසාර ප්‍රතිඥාවක් ලබාදෙමින් නොපමාව එය තහවුරු කළ යුතුව ඇත.
එමෙන්ම අප මේ මොහොතේ ජාතියේ නාමයෙන් ඉතාමත්ම වගකීමකින් යුතුව රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම වසංගත රෝග තත්ත්වය හමුවේ රට බරපතළ ව්‍යසනයකට යොමු වී පවතිද්දී ජාතික වශයෙන් වැදගත් වන්නා වූ තීන්දු තීරණ ගැනීමේදී ජනතාවගෙන් ලබාගත් බලය අත්තනෝමතික ලෙස යොදා නොගන්නා ලෙසය. වරාය නගරය පිළිබඳ පාර්ලිමේන්තුවේ ඇති විවාදය තවදුරටත් මේ මොහොතේ නොපවත්වන ලෙස කරන ලද ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කළ ආකාරය අප කිසිසේත්ම පිළිගන්නේ නැත. එහිදී සමස්ත විපක්ෂය ඉදිරිපත් කළ ඉල්ලීම අතිශයින්ම යුක්ති සහගත වන බව අපගේද පිළිගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායන් අනුව කටයුතු කරන්නේ නම් එම ඉල්ලීමටද රජය ඇහුම්කන් දිය යුතුව තිබුණි.
වරාය නගරය දියුණු කිරීමට හා නෛතික වශයෙන් එය බලගැන්වීම රටට ඉතාමත්ම හිතකරය. එහෙත් ඒ සඳහා පනවන නීති හා විශේෂ විදිවිධාන රටේ ස්වෛරීභාවයට කිසිදු හානියක් සිදු නොකළ යුත්තේය. රටේ විපක්ෂය නියෝජනය කරන සියලුම දේශපාලන බලවේග පාර්ලිමේන්තුව තුළ කරුණු දක්වමින් ඉල්ලා සිටින්නේ ඒ සඳහා රජයේ අපේක්ෂාවන් හා ක්‍රියාමාර්ග තවදුරටත් පැහැදිලි කර ගත යුතුව ඇති බවයි. එය ඉතාමත්ම සාධාරණ මෙන්ම යුක්ති සහගත ඉල්ලීමක්ද වේ. සිවිල් සංවිධානයක් ලෙස අපද සිටින්නේ එවැනිම වූ ස්ථාවරයකය. පුද්ගලික අංශයේ දීර්ඝකාලයක් කටයුතු කරමින් පලපුරුද්දක් හා අත්දැකීම් ලබා ඇති අප වැනි අය වරාය නගරය ආශ්‍රයෙන් රටට ලබාගත හැකි විදේශ ආයෝජනයන් හි ඇති වටිනාකම හොඳින්ම තේරුම් ගෙන තිබේ.
අපද හොඳින්ම දන්නා ආකාරයට මහජන චීන ජනරජය මෙන්ම යුරෝපයේ හා ජපානයේ හා ඇමරිකාවේද මහා පරිමාණ ආයෝජකයන් එම වරාය නගරය ආශ්‍රයෙන් ආයෝජනය කිරීම සඳහා ඇති ඔවුන්ගේ උනන්දුව අප රට වෙත දන්වා තිබුණි. එහෙත් රජය මෙම පනත් කෙටුම්පත ගෙන ඒමේදී ප්‍රදර්ශනය කරමින් සිටින ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙත අනුව ඔවුන් තුළ පැවැති එකී උනන්දුව මේ වන විටත් පහව ගොස් ඇති ආකාරයක් දකින්නට තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිතා කරන රටක හෝ නීතියේ ආධිපත්‍යය නොපවතින රටක ව්‍යාපාර පවත්වාගැනීමට හෝ ඒ සඳහා මුදල් ආයෝජනය කිරීමට පිළිගත් ආයෝජකයන් ඉදිරිපත් වන්නේ නැත. ඇත්ත වශයෙන්ම නිසි ආකාරයට සැලසුම් කළේ නම් හොංකොං, ඩුබායි, සිංගප්පූරුව වැනි සාර්ථක ආයෝජන කලාපයක් අපටද වරාය නගරය හරහා නිර්මාණය කර ගත හැකිව තිබූ බව අපගේද විශ්වාසයයි.
මෙම සියලුම කරුණු කාරණාවන්ට අමතරව අපගේද අවධානය යොමු වී ඇති තවත් එක් කරුණක් තිබේ. එනම්, රට තුළ පැතිරෙන කොරෝනා වසංගතය පාලනය කිරීමේ විශේෂ කාර්ය බලකායද ඇතුළු රටේ ආර්ථිකය භාරව සුවිශාල වගකීමක් ඇති ආයතන ගණනාවකම ප්‍රධානියා වන හිටපු ආමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ මොහොතේ රටෙන් පිටව යෑම අපටද තේරුම් ගත නොහැකිය.
එතුමාට කිසිදු බරපතළ සෞඛ්‍ය ගැටලුවක් නොතිබූ බව පවුලේ සමීප ඥාතීන් විසින්ම ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇති පසුබිමක සෞඛ්‍ය හේතුවක් වැනි සුවිශේෂී තත්ත්වයකදී හැර ඔහු මේ ආකාරයට රටින් පිටව යෑම පිළිබඳව ජනතාව තුළ ද මහත් අප්‍රසාදයක් ඇති බව පෙනේ. වසංගත උවදුරකට මුහුණ දෙමින් රට ඉතාමත්ම අසීරු තත්ත්වයකට පත්ව ඇති මෙවන් මොහොතක රට වෙනුවෙන් සුවිශේෂී හා තීරණාත්මක කාර්යභාරයක් පවරා ගෙන හෝ පවරා දී තිබූ පුද්ගලයා මේ ආකාරයට වගකීම් විරහිතව කටයුතු කිරීම ඔහු දරමින් සිටි පදවිවලට මෙන්ම රටේ ජනතාවටද කරන ලද නිග්‍රහයක් ලෙස සැලකිය හැකිය.
එතුමා වෙත පවරා දී ඇති කාර්යභාරය හා වගකීම් සලකා බැලීමේදී කැබිනට් ආමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් ද, පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්ද ඇතුළු විශාල පිරිසක් එතුමා යටතේ පවත්නා ආයතනයන් හි කටයුතු කරමින් සිටින බව පැහැදිලිය. අද රටේ සිදුවන දේවල් අනුව ලංකාවේ එසේ වීම ගැන අප පුදුම නොවුණත් ලෝකයේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වන පාලනය ඒකකයක් ගැන අප අසා නැත. එවැනි වූ සුවිශේෂී වගකීම් පවරා ඇති අයෙක් රට මෙබදු අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක රටින් පිටව යෑම ගැන කරුණු පැහැදිලි කිරීම රජයේ යුතුකමකි.
ඒ කෙසේ නමුත් රටට ආදරය කරන හා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස අප මෙම කරුණු දැක්වීම් හා යෝජනා ඉදිරිපත් කරන්නේ ඉතාමත්ම යහපත් වූ චේතනාවකිනි. ඒ පිළිබඳව අවධානය යොමු කරවමින් ජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීම රජයේ වගකීමකි. ඒ කෙසේ වුවත් මෙවැනි අර්බුදයකදී රට වෙනුවෙන් ජනතාව සමග එක්ව කටයුතු කරමින් අප අපගේ අදහස් හා යෝජනා බෙදා ගන්නේ ඉන් රටට යහපතක් වේ යැයි යන උතුම් අරමුණකිනි. මේ පිළිබඳව සියල්ලන්ගේම අවධානය යොමුවෙත්වා යැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
මෙම යෝජනාවලිය සාර්ථක වීමට නම්, එය මෙහෙයවීම හා මුදල් පාලනය ගරු ජනාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතුය .
(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ගරු සභාපති කරු ජයසූරිය මැතිතුමා 2021-05-17 වන දින පවත්වන ලද විශේෂ පුවත්පත් සාකච්ඡාවේදි සිදුකරන ලද කථාව)