Wednesday, July 17, 2024

දප්පුලගේ තප්පුල බෝම්බයෙන් මතු වන පාස්කු බෝම්බ අර්බුදය

පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ආරම්භ කරන ද පරීක්ෂණ තවමත් අවසන් නැති බැවින් කිසිවකුට ඒ පිළිබඳව නඩු දැමිය නොහැකි බවට නීතිපති දප්පුල ලීවේරාගේ ප්‍රකාශය පාස්කු බෝම්බ ප්‍රහාරයන්ටත් වඩා දරුණු දේශපාලන බෝම්බයක් යැයි නීති ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

නීතිපති දප්පුල ලිවේරාට විශ්‍රාම යෑමට ඇත්තේ තව සතියකටත් අඩු කාලයකි.

සාමාන්‍යයෙන් ධුරයෙන් විශ්‍රාම යන නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීම මේ තාක් තිබූ සම්ප්‍රදාය වියත වත්මන් අග විනිසුරු ජයන්ත ජයසුන්දර හිටපු නීතිපතිය. නමුත් රාජපක්ෂවරු දප්පුල ලිවේරාට එවැනි තනතුරක් දෙන්නේ නැත. එබැවින් තමා යළිත් නීති වෘත්තියට යන බව ලිවේරා ප්‍රකාශ කර තිබේ.

විශ්‍රාම යෑමෙන් පසු ඔහුට තානාපති ධුරයක් ප්‍රධානය කිරීමට  ජනාධිපති රාජපක්ෂ කැමති වූ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. ඔහු පිටරටකට ගාල් කිරීමට රාජපක්ෂවරු කැමති වන්නට ඇත.

සිය බෝම්බ ප්‍රකාශයෙන්  පසුගිය දා ලිවේරා කියා සිටියේ තමා නීතිපතිව සිටින තුරු දැනට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවෙහි පසු වන කිසිවකුට නඩු පැවරීමට තමා ක්‍රියා නො කරන බවයි. ඊට හේතුව වශයෙන් ලිවේරා කියා සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳ කෙරෙන පොලිස් පරීක්ෂණ තවමත් අවසන් නැති බවයි.

පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ බාරව සිටියේ ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර. රාජපක්ෂවරු තමන් බලයට පැමිණි වහාම ඔහු එම ධුරයෙන් ඉවත් කර පසුව ඔහු අත්අඩංගුවට ද ගත්හ. ඔහු තවමත් නඩු නැතිව සිර භාරයේ ය.

ඉන් පසුව පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳව පරීක්ෂන පැවැත්වූ උසස් පොලිස් නිලධාරීන් සියලු දෙනාද රාජපක්ෂවරුන් විසින් යළි  ඉවත් කරන ලදී.

පසුගිය දා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රීවරුන් විසින් පෙන්වා දුන් පරිදි පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබද පරීක්ෂණ මෙන්ම ඒ පිළිබඳ පරීක්ෂා කළ ජනාධිපති කොමිසමේ වාර්තාව හිල්වලින් පිරී තිබේ. ඒ හිල්වලින් බොහෝ කරුණු මෙන්ම පුද්ගලයින් ද බේරී පැන ගොස් තිබේ.

එක් උදාහරණයක් නම් වනාතවිල්ලුව පුහුණු කඳවුර පිළිබඳව පරීක්ෂා කිරීමට ගිය යුද හමුදා නිලධාරියා වූ ලුතිනන් කර්නල් අනුරුද්ධ කරුණාරත්න සහ පිරිස පාස්කු කොමිසම ඉදිරියට නො කැඳවීමයි. එම නිලධාරියාගේ පරීක්ෂණය පිළිබඳ සටහනක් හානි අබේසේකර සිය සාක්කු දින පොතෙහි සටහන් කර තිබේ.

බෝම්බකරුවන් සමඟ සබඳතා පැවැත් වූ බව කියන සොනික් සොනික් යන ඔත්තු සේවා නිලධාරියා සොයා ගැනීමට බැරි වීම තවත්  කරුණකි. එමෙන්ම අපේ ප්‍රෙජෙක්ට් එක් යැයි ප්‍රශ්ණ කිරීමට ඉඩ නොදී හමුදාව විසින් රැගෙන යන ලදැයි කියැවෙන හමුදා බුද්ධි නිලධාරියාගේ භූමිකාව හෙළිදරව් නොවීම තවත් කරුණකි.

දැනට සිය ගණනාවක පිරිසක් පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳව සැකපිට අත්අඩංඟුවට ගෙන තිබේ. නීතිඥ හෙජාස් හිස්බුල්ලා මෙන්ම තරුණ කිවිවර අහ්නාෆ් ජසීම්ද සිර ගත කර ගෙන සිටින්නේ ඒ උඩය.

දප්පුල ලිවේරා නඩු දැමිය නොහැකි යැයි කියන්නේ ඍජුවම බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙනි.  දප්පුල විශ්‍රාම යෑමෙන් පසු වුවද නීතිපති දෙපාර්ථමේන්තුව මෙම බෝම්බ ප්‍රහාරයෙන් යථා තත්වයට පත්වනු ඇතැයි සිතීම අමාරුය.

දැනටමත් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට නඩු පවරා ඇත්තේ අපරාධමය නො සැලකිල්ල යටතේය. එබැවින් අවශ්‍ය නම් හිටපු ජනාධිපති සිරිසේනට වුව නඩු පැවැරිය හැකිවන්නට පුලුවන.

මෙහි විකාරය වනු ඇත්තේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට නඩු පැවැරීමට නොහැකි නමුත් එය වැළැක්වීමට පියවර නොගත් රජයේ නිලධාරීන්ට නඩු පැවරීමට හැකිවීමය.

( ශ්‍රී ලංකා බ්‍රීෆ්)

Archive

Latest news

Related news