Wednesday, April 24, 2024

බොල්සොනාරෝ සහ බ්‍රසීල කොවිඩ් ඛේදවාචකයේ පාඩම්: ලංකාව හිතේ තියාගෙන කියවන්න

මෙම ලිපිය බ්‍රසීලය යන්නට ශ්‍රී ලංකාවක් බොල්සොනාරෝ යන්නට ගෝඨාභය රාජපක්ෂත් ආදේශ කර කියවිය හැකිය. කවර සන්සන්දනයක්වත් එකනෙකට සමුපූර්නයෙන් සම්පාත නොවන්නා සේම යම් යම් සිදුවීම් ආදේශ නොවිය හැකිය. මුල් ලිපියෙහි ශ්‍රී ලංකාවට කිසිදු සම්බන්ධයක් දක්වා නැති බව සළකන්න.

බ්‍රසීලයේ සවො පාවුලෝ නගරයේ කොවිඩ්19 ආසාදිතයන් 18 දෙනෙක් සහ රියෝ ද ජනේරෝ නගරයේ 21 දෙනෙක් සොයාගත්තේ 2020 වසරේ පෙබරවාරි 25 වෙනිදා.

බ්‍රසීලයේ කෝටි විස්සක ජනගහණයක් ඉන්නවා. එයින් 87% ක් ජීවත් වෙන්නෙ නාගරික ප්‍රදේශවල. ඒක වර්ග කිලෝමීටර අසූ පන් ලක්ෂයක විතර විශාල රටක් උනාට, ඒකෙන් 70% ක් විතර ඇමසන් වනය, එහි පරිවාර වනාන්තර, පෝෂක ප්‍රදේශය, යෝධ ඇමසන් නදිය, ඇමසන් ද්‍රෝණියේ සෙසු පාරිසරික කළාප වලට වෙන්වෙලා තියෙන්නෙ. එතකොට අර සුවිශාල ජනගහණය ජීවත්වෙන්නෙ බ්‍රසීලයේ පිටත දාරයේ. එයිනුත් කෝටි 6 ක් ජීවත් වෙන්නෙ, රියෝද ජනේරෝ, සාවෝ පාවුලෝ සහ බ්‍රසීලියා කියන නගර 3 සහ ඒවායේ මහ නගර සීමා වල. බ්‍රසීලයේ ජනගහණ ඝණත්වය වර්ග කිලෝමීටරයට 25 දෙනෙක් විතර. නමුත් ඒ මුළු රටම සැලකුවාම. මිනිසුන්ට ජීවත් විය හැකි ප්‍රදේශ ගත්තොත්, ඒක වර්ග කිලෝමීටරයට 140 ක් වගේ වෙනවා. ( ශ්‍රී ලංකාවේ වර්ග කිලෝමීටරයට 326 දෙනෙක් ඉන්නවා ).

කුකුල් කූඩු වගේ යෝධ මුඩුක්කු යායවල් තියෙන බ්‍රසීලයේ, ඔවුන්ට සනීපාරක්ෂක පහසුකම් අවමයි.

2020 මාර්තු

මේ සියල්ල සළකා බලපු ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥවරියක් වන ආචාර්ය මරියා වැන්කර්කෝවා, 2020 මාර්තු මාසයේ 3 වෙනිදා, බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සනාරෝට, ඔහුගේ සෞඛ්‍ය ඇමති හෙන්‍රික් මැන්ඩෙටා හරහා පණිවිඩයක් යවලා කියනවා, වහාම බ්‍රසීලය ලොක් ඩවුන් කරලා, නගර අතර ගමනාගමනය අත් හිටුවලා, වෛරසය පැතිරීම නවත්වන්න කියලා. එහෙම නොවුනොත්, අර ඉහත කී හේතු නිසා, බ්‍රසීලයේ සුවිශාල ජන සංහාරයක් වෙනවා කියන එක. රටේ ජනතාවගෙන් 15% වයස 65 ටත් වැඩියි. සමස්ථයක් හැටියට එයාලගේ ගොඩක් පුරුදු නිසා ප්‍රතිශක්තියත් එච්චරම ඉහළ නෑ.

මැන්ඩේටා ඒ වනවිටත් දැනගෙන හිටියා, වහාම වහන්න ඕන කියන එක. ඔහු මේක බොල්සොනාරෝට කිව්වා. නමුත් මාර්තු 5 වෙනිදා, බොල්සොනාරෝගේ ආර්ථික ඇමති පාවුලෝ ගීඩ්ස් බොල්සොනාරෝට කිව්වා, “මේ පොඩි සෙම්ප්‍රතිශ්‍යාවකට රට වහලා, “BRICS” රටවල් සමූහයේ නැගී එන පංච මහා බලවතුන්ගෙන් කෙනෙක් වෙච්ච බ්‍රසීලයේ ආර්ථිකය විනාශ කරගන්න ඕන නෑ,” කියලා.

බොල්සොනාරෝ කියන්නෙත් ඩොනල්ඩ් ට්‍රම්ප්, නරේන්ද්‍ර මෝදි ( සහ තව එක්කෙනෙක් ) ගෙ අච්චුවෙම බඩුවක්. ඒ කියන්නෙ විද්‍යානුබද්ධ චින්තනය වෙනුවට, අතේ පයේ හයියෙන් දේවල් විසඳන්න උත්සාහ කරන, පිරිමි කම විතරක් මාකට් කරන, ටිපිකල් “මචෝ මෑන්” කෙනෙක්. මුළු ලෝකයම කොවිඩ් -19 සංකූලතා දැකලා හෙල්ලුම් කාගෙන එද්දි, බොල්සනාරෝ මාර්තු 12 වෙනිදා කිව්වා “ඉට් ඊස් ජස්ට් අ ලිට්ල් ෆ්ලූ” ( It`s just a little Flu – මේක පුංචි උණක් ) කියලා.

බොල්සොනාරෝගේ සෙල්පි ගැහිල්ල (ලංකාව: ගම සමඟ පිළිසදර)

ඔහු බ්‍රසීලියා නගරයේ වීදි බැහැලා, කඩපොළෙන් කඩපොළට යමින්, මිනිස්සු එක්ක සෙල්ෆි ගසමින් එදා දවසම ගත කරලා, හවස රූපවාහිනියෙන් ජනතාවට කිව්වා, මේ පොඩි උණකට බය නොවී, වැඩ කරගෙන යන්න එළියට එන්න කියලා.

ජායිර් බොල්සොනාරෝ කියන්නෙ කිසිම හිතක් පපුවක් නැති කෙනෙක්. කොරෝනා ලෝක ව්‍යාප්ත වසංගතයක් වෙන්න කළින්, 2019 අග භාගයේදී ආපු දැවැන්ත ඇමසොන් ගින්න ඔබට මතක ඇති. අන්න ඒ ගින්න, 2019 වසරෙදි පෙර නොවූ විරූ තරම් බිහිසුණු විනාශයක් කරමින් දැවෙන්න ප්‍රධාන හේතුවක් තමයි බොල්සොනාරෝ. ඔහු “අපේ ගොවීන් බිම් පුළුස්සන්න ඕන” කියලා, ඔහුට ඡන්දය දීපු ගොවියන්ට සහ ඔහුගේ හිතමිතුරු ව්‍යාපාරිකයන්ට ඇමසන් වනයේ පෝෂක ප්‍රදේශ කපන්නත්, ගිනිබත් කරන්නත් අවසර දුන්නා. ඒ මෝඩයන් රොත්ත එකතුවෙලා තියපු ගිනි, පාලනයකින් තොරව ඇවිළිලා ලැව්ගිනි හටගෙන, ඒ ලැව්ගිනි ඒකාබද්ධ වෙලා, මුළු ලෝකයම කම්පා කරපු මහා ගින්නක් බවට පත්වුනා.

බ්‍රසීලයේ වසංගතවේදය පිළිබඳව විශේෂඥයන් සහ විද්‍යාඥයන් අවදානමේ තරම දැකලා, බ්‍රසීලියා, සාවෝ පාවුලෝ, රියෝ වගේ නගර අයිති ප්‍රාන්ත වල ෆෙඩරල් ආණ්ඩුකාරවරුන්ට කිව්වා, “අලු යට ගිනි පුපුරු තියෙනවා. අපි හැමෝම ඉන්නෙ මහා ගිනි කන්දක් උඩ. දැනට පේන්නෙ නෑ ඒකෙ තරම. වහාම ලොක් ඩවුන් සහ කොරන්ටීන් ක්‍රමවේද පටන් ගන්න” කියලා.

ඒකට අවනත වෙච්ච ප්‍රාන්ත ආණ්ඩුකාරවරු කීප දෙනෙක් ලොක් ඩවුන් සහ කොරන්ටීන් ප්‍රෝටොකෝල්ස් දාගෙන එනකොට, ජනාධිපති බොල්සොනාරෝම ඔහුගේ ආධාර කරුවන් ලවා “ලොක් ඩවුන් විරෝධී යෝධ ජනරැළි” තියලා, තමන්ම පාරට බැහැලා උද්ඝෝෂකයන් එක්ක එකතුවෙලා පා ගමන් ගියා. ගිහින් තම ආධාරකරුවන්ගෙම සහාය අරගෙන, ජනාධිපති පදවියේ විධායක බළය පාවිච්චි කරලා, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ ලොක් ඩවුන් සහ කොරන්ටීන් බළහත්කාරයෙන්ම ඇරියා.

සෞඛ්‍ය විශේෂඥයන්ගේ බැගෑපත් ඉල්ලීම (ලංකාව: වෛද්‍ය සභාවක්ම ගෙදර යැවීම)

බ්‍රසීලයේ සෞඛ්‍ය අංශ වල විශේෂඥයන් බැගෑපත්ව බොල්සොනාරෝගෙන් ඉල්ලුවා “මේ විනාශය වෙන්න දෙන්න එපා. ඔබ මේකෙ තරම දන්නෙ නෑ. මේ රටේ සෞඛ්‍ය සේවාව වැනසිලා යන විනාශයක් සිදුවෙයි මෙහෙම ගියොත්” කියලා. කණකට ගත්තෙ නෑ. අති උද්දච්ඡ කමෙන් සහ පුහු මාන්නයෙන් පිරිච්ච හිස් චරිතයක් බොල්සොනාරෝ. ඒ වගේම අන්ත දූෂිත කෙනෙක්.

මේ මිනිහා මොන වගේ අහංකාර බූරුවෙක්ද කියන තේරුම් ගත්තු සමහර සෞඛ්‍ය බළධාරීන්, වෙන්න යන දේ බලා ඉන්න බැරුව, තනතුරු වලින් ඉල්ලා අස්වුනා. සමහර අයව අකීකරු උනාය කියලා මාරු කෙරුවා. සමහරුන්ව තනතුරෙන් පහ කළා. අර මුලින්ම වෙන්න යන දේ තේරුම් ගත්ත සෞඛ්‍ය ඇමති හෙන්-රික් මැන්ඩෙටා එයින් එක්කෙනෙක්. 2020, අප්‍රේල් 14 වැනිදා බොල්සොනාරෝ ඔහුව තනතුරෙන් පහ කළා.

ටික දවසක් ඔහොම ගියා ඉතින්. අපි කියමු මාසයක කාළයක් කියලා. අප්‍රේල් මැද වගේ වෙනකල් ඔහේ හිටියා.

මාරයාගේ ගණිතයේ බස

අපි දැන් ටිකක් දත්ත සංඛ්‍යානය සහ ගණිතය ගැන කථා කරමු.

බෝවෙන රෝග ආසාදනයකදි “ඉෆෙක්ටිව් කන්ටැක්ට් ” කියලා සීන් එකක් තියෙනවා. ඒ කියන්න ආසාදිතයක්, ආසාදනයට ගොදුරුවීමේ අවදානම තියෙන කෙනෙක්ව ආසාදනය කරන්න සමත්වෙන කන්ටැක්ට් එක. ඔය කන්ටැක්ට් කියන එක ඒ ඒ රෝග කාරකය අනුව වෙනස්.

නව කොරෝනා 2019 ගත්තොත්, වායු බිඳිති, මුව හා මුඛය, ඕවා මේවානෙ යන ක්‍රම. අන්න ඒ කුමන ක්‍රමයකින් හෝ, රෝග කාරකය ඇඟේ තියෙන කෙනෙක්ගෙන්, එයට ගොදුරුවීමේ අවදානමක ඉන්න තව කෙනෙක් ආසාදනය වෙන ආකාරයේ “කන්ටැක්ට්” එකක් සිද්ද උනොත්, අන්න ඒකට කියනවා ඉෆෙක්ටිව් කන්ටැක්ට් කියලා.

ඉතින් ඔන්න ඔය ඉෆෙක්ටිව් කන්ටැක්ට් එක සිදුවන අනුපාතයට කියනවා “ඉෆෙක්ටිව් කන්ටැක්ට් රේට්” කියලා .මම අඳුරන වෛද්‍යවරයෙක්ගෙන් ඇහුවාම ඕකට කියන සිංහල නම, එතුමා කිව්වා එහෙම නමක් මතක් වෙන්නෙ නෑ හැබැයි “ඵලදායී සම්පර්ක අනුපාතය” වගේ එකක් හදාගන්න පුලුවන් කියලා. ඒක අමාරු නිසා අපි ඉන්ග්‍රීසි නමම කියමු.

ඕකෙ සමීකරණය මෙහෙමයි :
β = p X γ
β = Effective Contact Rate ( ඵලදායී සම්පර්ක අනුපාතය)
p = Transmission Risk (පැතිරී‌මේ අවදානම )
γ = Total number of contacts ( සමස්ත සම්පර්ක ප්‍රමාණය)

ඔතනින් p හෙවත් ට්‍රාන්ස්මිෂන් රිස්ක් එක රෝග කාරකය අනුව සහ ඒ රෝග කාරකය ප්‍රචාරය වෙනවාය කියන ක්‍රමවේදයන් ඔස්සේ ආසාදිතයා සහ අවදානමේ සිටින්නා සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන එක අනුව වෙනස් වෙනවා. ඕක හැමවිටම 1 ට අඩු අගයක්.

මේකෙ වැදගත්ම දේ තමයි, මෙන්න මේ අගය ( ගැමා ) = γ

ඕකටම අපි එකතු කරමු බෝවෙන වසංගත සම්බන්ධව ගන්න අර “එස්.අයි.ආර්” (S-I-R) මොඩ්ල් එක.

S – Susceptibles ( සැක සහිත ප්‍රමාණය)
I – Infectives  ( අසාදිතයන්)
R – Removed ( By healing / vaccination or Death ) (ඉවත් වූ ගණන, සුවවීම හෝ මරණ නිසා)

දැන් මේ දෙකම එකට අරගෙන, මෙන්න මේ කරුණ දිහා බලන්න.

වසංගතයක මුල් අවස්ථාවෙදි, සමාජයේ ඉන්න ආසාදිතයන් ගණන සීමිතයි.සාපේක්ෂව ඉතාම අඩුයි.
ආසාදිතයන් හැම කෙනෙක්ගෙන්ම, අර අවදානමේ ඉන්න “සසෙප්ටිබ්ල්ස් ” ලාට ආසාදනය වෙන්නෙ නෑ.
එතකොට, සමහර අසාදිතයන් සමාජය එක්ක කන්ටැක්ට් උනත්, එයාට නිරාවරණය අය පරිස්සම් වීමෙන් හෝ, රෝග කාරකය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට යන ක්‍රම වලින් එකක් සාර්ථකව සිදු නොවීමෙන් හෝ, එයා වෙන අය වැඩි දෙනෙක් ආසාදනය කරන්නෙ නෑ. කොටින්ම කිව්වොත් එයාගෙන් පොකුරක් හැදෙන්නෙ නෑ.රෝග කාරකය එයා තුල තිබිලා, එක්කො එයා සුවවීමෙන් හෝ නැත්නම් එයා මරණයට පත්වීම සමඟ, ඒ සිරුරෙන් වෙන සිරුරකට නොයා අක්‍රීය වෙලා යනවා.

එහෙම ආසාදිතයෙක්ගෙන් තව කෙනෙක් ආසාදනය නොවෙන අවස්ථාව වාසනාවන්ත අවස්ථාවක්. හැබැයි. ඒකෙන් කියන්නෙ නෑ සමාජයේ රෝග කාරකය නෑ කියන එක.

වසංගතයක මුල් අවදියෙදි, ආසාදිතයො ගාණ අඩු නිසාත්, අන්න ඒ අඩු ආසාදිතයන් ගණනට කන්ටැක්ට් වෙන පිරිසත් අඩු නිසාත්, ඒ අය අතුරිනුත් ආසාදනය වෙන්නෙ සුළු පිරිසක් නිසාත්, වැඩේ මතුපිටට පේන්නෙ නෑ. රෝගයෙන් සමාජයට සහ සෞඛ්‍ය පද්ධතියට එල්ලවෙන බලපෑම කුඩායි.  නොගිණිය හැකි තරම් සුළුයි. අවමයි.

බොල්සෙනාරෝ ඩොනල්ට් ට්‍රම්ප් වන්දනා කරන්නෙකි.

ජෝගි නැටීම (ලංකාව: මම තමයි හොදටම කරේ)

අන්න ඒ වෙලාවට, මේවා ගැන නොදන්න උදවිය ඒ ගැන එක්කො උද්දාමයට පත්වෙනවා, ( “හරේ අපේ වැඩේ හරි ගියා !”). ඊට පස්සෙ ඕනවට වඩා ඕපන් වෙලා පිස්සු කෙළිනවා.ජෝගි නටනවා.

නැත්තන් ඒ ගැන මිථ්‍යාවන් හදාගන්නවා – ( උදා: “ඕක අපිට බෝවෙන්නෙ නෑ. අපේ ඇඟවල් හයියයි. අපි උපන් දා ඉඳන් අහවල් අහවල් දේ තුන්වේලට කනවා. අරවා බොනවා. ඕක අපිට එච්චර බලපෑමක් නෑ. දැන් හැදිලා හොඳ වෙලත් ඇති. ඒ රටවල අයට අමාරු වෙන්නෙ එයාලා මෙහෙම මෙහෙම නිසා. අපේ ඉර එළිය තියෙනවා. ඌෂ්ණයි. ඒක නිසා ඕක පවතින්නෙ නෑ.අපේ දෙයියා අපිට බැලුවා….! )

නමුත් දන්න මනුස්සයා දන්නවා, අර හෝමර්ගේ “ඉලියඩ්” වීර කාව්‍යයේ වගේ “දිය යටින් එන පොසයිඩන් දෙවියාගේ මාරක ත්‍රිශූලය” සේ, වසංගත කාරකය සමාජය තුළ ඒ මේ අත යන බව. අන්න ඒකයි, බැලු බැල්මට වැඩේ පට්ටම ෂේප් වගේ පෙනෙද්දිත්, සමාජය ෆුල් ආතල් එකේ ඉන්දෙද්දිත්, වෛද්‍ය විශේෂඥයන් සහ විද්‍යාඥයන් දිගටම විලාප කියමින් ඉන්නෙ.

වතාවක් ලකී වෙයි. දෙවතාවක් ලකී වෙයි. හැම කෙනාම, හැමදාම ලකී වෙන්නෙ නෑනෙ. එක තැනකදි, අවුට්බ්‍රේක් එක පටන් ගන්නවා. අනික මේ වෛරස් එක, බහුතරයකට රෝග ලක්ෂණ නැති, තියෙන අයටත් රෝග ලක්ෂණ පිට දාන්නත් දවස් 11 විතර ගන්න බඩුවක්නේ.

මේක අවබෝධ කර නොගන්න නායකයන් ජනතාවට වෙනදා වගේ ඉන්න කියනවා. සියලු රූල්ස් රිලැක්ස් කරනවා.උත්සව සමයන් සමරන්න දිරිගන්නනවා. ජනතාවත් ආතල් ගන්නවා, කානිවල් දානව, පාටි දානවා. නිරෝධායන රෙගුලාසි සහ සෞඛ්‍යාරක්ෂණ ක්‍රම සියල්ල අමතක කරනවා.

අන්න එහෙම අමතක කරන කරන මොහොතක් පාසාම අපි අන්න අර ඉහත කිව්ව “ඉෆෙක්ටිව් කන්ටැක්ට් රේට් ” එකේ ගැමා (γ) අගය හෙවත්, “නිශ්චිත කාළයක් සඳහා”, ආසාදිතයන් සමඟ කන්ටැක්ට් වෙන්න එවන, අවදානමේ සිටින සිරුරු ගණන වැඩි කරනවා. තේරුණාද සීන් එක. අන්න එතකොට වසංගත ව්‍යාප්තිය, ඝාතීය වර්ධනයක් ( එක්ස්පොනෙන්ෂල් ග්‍රෝත් ) හෙවත්, විවිධ වර්ධන වේග වලින්, විවිධ දිශාවට, පුපුරන්න පටන් ගන්නවා. ( අන්න එහෙම එකක් පටන් ගන්න ඉවෙන්ට් එකක් “සුපර් ස්ප්‍රෙඩින්ග් ඉවෙන්ට් ” එකක් විදියට අඳුරගන්න පුලුවන්… සුපර් ස්ප්‍රෙඩින් ඉවෙන්ට් එකක් ලෙස හරියටම ID කරපු ඉවෙන්ට් එකක් නැතත්, වසංගතයක් නැතා සේ සළකලා යම් සමාජයක් පට්ට සාමාන්‍ය ලෙස කාළයක් හැසිරුනොත්, ඒ හොඳටම ඇති. නොහඳුනන සුපර් ස්ප්‍රෙඩින් ඉවෙන්ට්ස් ඔබට නොදැනුවත්ම සිදුවෙන්න පුලුවන්.)

නැවතත් බොල්සොනාරෝ දෙසට

ආපහු බ්‍රසීලයට යමුකෝ. මැයි මාසයේ මුල් සතිය වෙනකොට, බ්‍රසීලයේ දිනකට හමුවන නව ආසාදිතයන් ගණන ගොජ දමමින් ඉහළ යන්න පටන් ගන්නවා.

2020 අප්‍රේල් 18 – 2020 අප්‍රේල් 30 – දෛනික නව ආසාදිතයන් ගණන 2,300 තිබිලා, එක පාරට 4,000+ පහු කරනවා. වෛද්‍යවරු සහ වසංගත විද්‍යාඥයන් “ජිම්, ස්විමින් පූල්, ක්ලබ්, හොටෙල්” ආදිය වෛරසය පැතිරීමේ ඉහළ අවදානමක් සහිත තැන් ලෙස හඳුනාගෙන, ඒවා වහන්න කියනවා. ආණ්ඩුකාරවරු වහනවා.

2020 අප්‍රේල් 30 සහ 2020 මැයි 5 කාලය – දෛනික නව ආසදිතයන් අගය 5,000 + පනිනවා. දොස්තරලා කලබල වෙනවා.

මැයි මාසයේ 11 වෙනිදා – ඒ වෙනකොට බ්‍රසීලයෙන් වාර්ථා වුනු මුළු ආසාදිතයන් සංඛ්‍යාව 168,331. මරණ ඔක්කොම 11,519. එදා දවසෙ අලුතින් 5,632. නමුත් මරණ තනි දවසක් තුළ 397.

බොල්සොනාරෝ ජනතාවට කියනවා “අපි එක්සර්සයිස් කරලා ෆිට් එකේ ඉමු ! එතකොට හරි යයි !” කියලා. ඔහු මැයි 11 වෙනි සඳුදා ජිම් සේරම නැවත විවෘත කරන්න අණ දෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන වලත් ජිම් දානවා.ඔහුත් හමුදාව සමඟ එකතුවෙලා පාරෙ ඩිප්ස් ගහමින් ඉන්නවා.

ජූලි 1 වැනිදා දෛනික ආසාදන – 36,773 – ජූලි 29 දෛනික ආසාදන – 52,118.. බ්‍රසීලය පරක්කු වැඩියි.

“J” Curve එක අමතක කිරීම

ජේ නැම්ම

එච්චර හරියක් වෙලත්, බ්‍රසීල පාලකයාට පාඩමක් නෑ.

“ජේ ” කර්ව් එකක් කියන්නෙ, අර J අකුරේ කුඩ මිට කොටස වගේ ටිකේදි අඩුවීමක් වෙලා, ආයෙ ශීඝ්‍රයෙන් කන්දක් නඟින් ප්‍රස්ථාරයක ව්‍යාප්ති රේඛාවක්.

වසංගතයකදි ඔය J අකුරෙ කුඩ මිට වගේ කොටස තමයි තාවකාළිකව සිදුවන නව ආසාදිතයන් ගණන අඩුවීම. ඒක වෙන්නෙ වසංගත පාලනය හරියට කෙරුණාම. හැබැයි මේ ගණන තාවකාළිකව අඩුවුන ගමන්, පාලකයන් සහ ජනතාව පිස්සු කෙළින්න ගත්තොත්, වසංගත ව්‍යාප්ති සාධක කිසිදු සෞඛ්‍යාරක්ෂණයකින් තොරව පෝෂණය කරන්න ගත්තොත්, අන්න ඒ අවසරයෙන් ආයෙ සුනාමියක් වෙලා ආසාදන ඉහළ නගිනවා. කළින් තිබුණු තත්වයටත් වඩා බිහිසුණු විදියට, සියළු වාර්ථා කුඩු කරමින් ඉහළ නගිනවා. මේ ලිපිය ලියන 10-05-2021 දින වෙනකොට, බ්‍රසීලය J කර්ව් ප්‍රධාන වශයෙන් 7 ක් පහු කරලා, දෛනික ආසාදිතයන් ගණන 70,000+ සීමාවට ඇවිත් තියෙනවා.

ජූලි 13 – ජූලි 22 අතර කාළයේ ලැබුණු සහනයෙන් පිස්සු කෙළියා – ජූලි 22 වෙද්දි 40,000 පැන්නා
සෑහෙන පිරිසක් මහන්සි වෙලා නොවැම්බර් 5 වෙද්දි දිනකට 16,000+ සීමාවට ගෙනත් තිබුණා. නත්තල් කෑවා. පාටි දැම්මා. 2020 නත්තල් දවස වෙනකොට ආයෙම 45,000 + දක්වා වැඩිකරගත්තා.

2021 මාර්තු 31 අසාදිතයින් 76,633

පෙබරවාරි 1 වෙද්දි සෞඛ්‍ය අංශ සහ ප්‍රාන්ත ආණ්ඩුකාරවරු හෙණ ගේමක් දීලා කොහොම හරි 30,000 ට අඩු කළා. වසන්ත උත්සව ටිකක් ගත්තා. පිස්සු කෙළියා. පසුගිය මාර්තු 31 වෙනිදා, බ්‍රසීලයෙන් හමුවූ ඉහළම දෛනික නව ආසාදිත ගණන 76,633 ක් වශයෙන් වාර්ථා උනා.

මේ ඊයේ වෙනකොට සමස්ථයක් ලෙස එක් කෝටි පනස් ලක්ෂයක් විතර ආසාදනය වෙලා, ඔක්කොම මරණ හාර ලක්ෂ විසි දෙදාහයි. මරණ ගාන අතින් දෙවනි වෙන්නෙ ඇමරිකාවට විතරයි. බොල්සොනාරෝම කියපු විදියට, ඔහුගේ දේශපාලන පරමාදර්ශය තමයි හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්.

සෞඛ්‍ය ඇමති වෙනුවට ජෙනරල් කෙනෙක් (ලංකාව: කොවිඩ් මර්දනය හමුදාපති යටතට)

මේ වසංගතය තුළ මෙයා 4 වතාවක් සෞඛ්‍ය ඇමතිලා මාරු කරා. එහෙම කලේ ලෙඩේ ගැන දන්න අය තමන් කියන දේට අවනත නොවෙන නිසා.

අර මම මුලින්ම කිව්ව හෙන්-රික් මැන්ඩෙටා. එයත් දොස්තර කෙනෙක්. එයා මේකෙ ඇත්ත කථාව කියන්න ගියාම ධුරයෙන් එළියට දැම්මා.

ඊළඟට දුන්නා නෙල්සන් ටීක් කියලා පිළිකා පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක්ට. එයත් මේ මනුස්සයා කෙළින පිස්සු බලන් ඉන්න බැරි තැන, දෛනික මරණ ගාන 500 ක් වගේ වෙනකොට ඉල්ලා අස්වුනා.

ජෙනරල් එද්වාර්දෝ පැසුවේලෝට සෞඛ්‍ය පිළිබද කිසිදු අත්දැකීමක් නොතිබුණි. හරියටම ජෙනරල්   ශවේන්ද්‍රට වැන්න.

ආන්න ඊගාවට මෙයා පත් කරන්නෙ දොස්තර කෙනෙක් නෙමෙයි. එද්වාර්දෝ පැසුවේලෝ කියලා බ්‍රසීල හමුදාවෙ ජෙනරාල් කෙනෙක් තමයි සෞඛ්‍ය ඇමති කරන්නෙ .

ජනාධිපති ජායිර් බොල්සනාරෝ කියන්නෙ, දේශපාලනයට එන්න කළින්, බ්‍රසීල හමුදාවෙ කැප්ටන් කෙනෙක්. ඉතින් මේ එද්වාර්දෝ පැසුවේලෝ එයාට තකට තක. දන්න මඟුලක් නැතත්, දෙන්නා එක්ක අන්තිම අත්තනෝමතිකව කටයුතු කරන්න ගිහින් බ්‍රසීලයේ කොරෝනා වසංගතය හෑවා…..!

ආර්ථිකය ගැන විතරක් හිතලා, මිලිටරියෙන් වසංගත පාලනය කරන්න ගිහින්, අද වෙනකොට බ්‍රසීලය තියෙන තැන කවුරුත් දන්නවා.

වැක්සීන් දීම අක්‍රමවත් (ලංකාව: යාළුවො පවුල් පිටින් ගහ ගත්තා)

මේ වනවිට බ්‍රසීලයට චීන වැක්සීන් සහ ඇස්ට්‍රසෙනිකා වැක්සීන් ලැබෙමින් තියෙනවා. නමුත් ඒවා නිසි පිළිවෙලකට එන්නත් පටිපාටියකට හෝ ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව කෙරෙන්නෙ නැති බවට බරපතල චෝදනා තියෙනවා. වසංගතය ලැව් ගින්නක් සේ පැතිරෙන අතරෙ, වසංගත පාලනය නොකර, වසංගතය යන අතරතුර වැක්සීන් දීම මඟින්, මුළු ලොවටම අහිතකර ප්‍රභේද බිහිවීමේ අනතුරක් බ්‍රසීලයේ පවතින බවට, ජාත්‍යන්තර ප්‍රජාව චෝදනා කරනවා.

අද තත්වය

අද බ්‍රසීලය විශාල කම්පනයකට පත්වෙලා තියෙන්නෙ. සෞඛ්‍ය අංශ බලවත් ලෙස වෙහෙසට පත්වෙලා.වෛද්‍ය විද්‍යාත්මකව විසඳන්න තිබුණු ගැටලුව, ආර්ථික විද්‍යාත්මකව විසඳන්න ගිහින්, අන්තිමට ඒකත් කඩා වැටෙමින් යන්නෙ. සංචාරක ව්‍යාපාරයත් දරුණු ලෙස අඩාල වෙලා.ලෝකයේ සියලු ඉදිරිපෙළ රාජ්‍ය අතර, බ්‍රසීලය “හයි රිස්ක්” කන්ට්‍රි එකක් හැටියට රෙඩ් ලිස්ට් වෙලා.

බොල්සොනාරෝට නඩු! (ලංකාව: ජනාධිපතිට නඩු නෑ, බෑ)

දැන් බ්‍රසීල ජනතාව බොල්සොනාරෝට එරෙහිව වීදි බසිනවා. 2021 අප්‍රේල් 27 වැනි අඟහරුවාදා බ්‍රසීල සෙනෙට් සභාව බොල්සොනාරෝට එරෙහිව විශේෂ විමර්ශණයක් ආරම්භ කළා. ඒකට සෙනෙට් සභාව කොමිසමක් පත් කළා.

කොමිසම අවලංගු කරන්න කියලා බොල්සොනාරෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය කොමිසම වලංගුයි කියලා සහතික කළා. බොල්සොනාරොගේ රජයේම අය ඔහුට එරෙහිව දැන් ඒ කොමිසමේ සාක්කි දෙන්න පටන් අරගෙන .එයින් කෙනෙක් තමයි අර ඉහත කියපු සෞඛ්‍ය ඇමති හෙන්-රික් මැන්ඩෙටා. මැන්ඩෙටා දැන් සාක්කි දීලා ඇවිත් මුළු ලෝකයටම කියනවා “මෙයාට මම සහ සෞඛ්‍ය අංශ 2020 මාර්තු සහ අප්‍රේල් අතර තුර දිගින් දිගටම, දිගින් දිගටම වෙන්න යන දේ ගැන අනතුරු ඇඟෙව්වා.ඒ එකක්වත් මෙයා සත පහකට ගණන් ගත්තේ නෑ.ආර්ථික ඇමති පාවුලෝ කියන දේ විතරක් අහගෙන, සියල්ල විනාශ කරගත්තා” කියලා.

බොල්සොනාරෝට දැන් ආයෙම ඡන්දෙ ඉල්ලන්න තියෙන අයිතිය අහෝසි වෙන ලකුණු තියෙන්නෙ. ඒ වගෙම මේ ධුරකාළය තුලත් දෝශාභියෝග යෝජනාවකට මුහුණ දෙන්න වෙයි. විදේශ ගතවෙලා ඉන්න බ්‍රසීල ජාතිකයන්, මොහු විසින් වසංගතය උවමනාවෙන් නොතකා හැරීම “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්” ලෙස සලකා බොල්සොනාරෝට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරන්න සූදානම් වෙනවා.

ඊයේ හවස බොල්සොනාරෝ කියනවා, හමුදාව පාරට ගෙනත් රට පාලනය කරනවා කියලා.ඔහු දැන් තමන්ගේ හිතවත්ම ජෙනරාල් වරයෙක් වන වෝල්ටර් සූසා බ්‍රාගා නැටෝ, ආරක්ෂක ඇමති කරලා, ත්‍රිවිධ හමුදාවේම පාලනය ඔහු අතට දුන්නා.

Damith Kethaka(සයිබර වරිගෙ උණ්ඩියා) ‌ෆේස් බුක් පිටුවෙනි. 

උප මාතෘකා සමහරක් මෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධ කොටස් ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි. 

Archive

Latest news

Related news