26.
හිඟන්නගේ වණය ඒකාට නිධානෙකී
දෙස්පලුවාට වියසනයත් උල්පතකී
මේවා නොදත් මහජනයා හිඟා කතී
පාරාදීසයක මලගම ලඟා වෙතී
වැදගත් වේය කොයි ලෙඩ වුව සුව කෙරුම
ඊටත් වඩා වැදගත් ලෙඩ වැලකීම
ආඳා යවා උගෙ වල්පත ඇල්ලීම
ඒකයි අපේ දෙස්පලුවගෙ සැනසීම
පැණි මුට්ටියට හෙන ගහලා මල කෙලියේ
ඒකට වැටුන ඇඹලයිනගෙ එක පුලියේ
වැස්සින් කිය කියා දැන් දඟලති එලියේ
ආං බලාපල්ලා හිරිකත බලියේ
ඡන්දය අරං මහජන සේවයට කියා
ගිය හොර හැත්ත දඟලති කුණු හබ්බ කියා
මේවා තවත් ඉවසන්නට හැකිද කියා
සිතවු මිනිසුනේ සීමා ඉවත තියා
ඉන්ට රටක් කිවුවට දැන් බලනකොට
හතර රියනෙ උරුමෙත් අහිමිය අපට
පොලිතින් කවරෙකින් ගින්නට යන කලට
දෑ කුල බේද හිරකර ගනියව් පුකට
හරි දේ දකින ඇස් නැති වහලුන් මැද්දේ
ඇහෙනව නේද සිවලුන් දානා සද්දේ
උන් යති උන්ගෙ පාරෙම අපි නම් බැද්දේ
මාලු අපියි උන් රස කර කන හොද්දේ
බර අඩු කරලා මිල බස්සන සූත්තරේ
මුන් උදුරන්නෙ අප හට ඇති ගෝස්තරේ
යන හැටි උතුරලා උන්ගේ පාත්තරේ
අන්න බලවු උන් ගොඩ යන සාත්තරේ
පෙරදිග අටුව දැන් දෙස්පලුවගෙ කොටුව
උන් ගැහු කටුව හිරවී ඇත අපෙ බොටුව
උන් හට පුටුව ජනයට වේලුන නටුව
දැන්වත් වරෙල්ලා බිඳගෙන ඔය කටුව
25.
පලමු කෝවිඩ් රැල්ල එනකොට වැල්ලේ ගී තනු ඉතිරුනා
ගී ගයන්නට මහා පිරිසක් මීඩියාවල තෙරපුනා
තෙවෙනි රැල්ලට බොහෝ අයගේ අමුඩ කෙටියත් ගැලවුනා
මෙතෙක් වැඩ පෑ මහා වැඩ්ඩෝ කුම්බලා කෑ උන් වුනා
පැනි බීපු අපෙ නියෝජිතයන් ලබා එන්නත සුරැකුනා
එහෙව් පින නැති හීන කුල අපි රෝගයට ගොදුරක් වුනා
දවසෙ වේලට කාසි හොයනට වැඩට එන්නට සිදුවුනා
කාගෙවත් හව්හරන නෑ දැන් මර බියම උරුමය වුනා
රටේ දහදිය හෙලන උන්ටයි පලමු එන්නත දියයුතු
ඒත් ඒවා එහෙම නොවෙනා බවත් අප දැනගත යුතු
බලය ඇත්තෝ නටති කති බොති අපිම බිල්ලට යා යුතු
මෙහෙව් කිඹුලන් බදාගත් අප තදට දත්මිටි කෑයුතු
ඉතින්වත් ජනයිනේ හනිකට උදැල්ලක් අරගනිල්ලා
තමුන් වලදැමු මොලය හොයලා ආයෙ ගොඩ අරගනිල්ලා
අඩුම ගානේ දරුවන්ටවත් හෙටක් ඕනෑ සිතල්ලා
ජාති ආගම් බේද දුරහැර එකතු වෙන්නට බලල්ලා
24.
වැඩ්ඩෝ සිටිති ලෙඩ වුන කල ඇඳන් දෙන
පාරේ මැරෙන්නට නොම දී රැකගන්න
නැත්තේ අපට නායකයන් මග කියන
අවංකවම රට වෙනුවෙන් වෙහෙස වෙන
දශක හතක් ගෙවුනත් නිදහස ලබලා
තවමත් අපට නෑ කිසි යහපතක් වෙලා
තට්ටු මාරුවෙන් කපටින් රජ කරලා
මහජනයාට ඇත නරකාදිය මැවිලා
මහජනයාට නිවැරදි ලෙස මගකීම
තමයි නියම නායකයගෙ වගකීම
කෙලවුන කලට මහජනයට දොස් කීම
වෙනුවට ඇවැසි අනතුර ගැන වැටහීම
සැණකෙලි කෙලින්නට ජනයට ඉඩ දීලා
ලොකු රටවලට අපෙ රට උගසට තියලා
ණය බර අපේ උරහිස් මත පටවාලා
උන් බණ කියති අප දංගෙඩියට තියලා
බැන බැන සුද්දාට රටටම දෙති සුද්දේ
උන් පඳුරකටමයි හැමදාමත් විද්දේ
දැම්මත් කවුන්සිලයට වී බොරු සද්දේ
ජනයා හිරවෙලා අන්තිමටම මද්දේ
පින් කෙත හෙල දෙරන දැන් නම් මරු විමන
ආතුරයන්ය තැන තැන හුස්මක් යදින
පන්දම් නොගනිතොත් යක්කුන් බය කරන
වැඩි දුර නැතේ අප සැම සොහොනේ දපන