Wednesday, May 1, 2024

කොවිඩ් වසංගතය: රාපක්ෂවරු කුණු කූඩයට දැමූ වෛද්‍ය වෘත්තික සංගම් ජනපතිට යැවූ ලිපිය!

ඡායාරූපය: වසංගත තත්වයට ප්‍රතිකර්ම වෙනුවට දේශපාලන ප්‍රචාරයක් ලෙස රාජපක්ෂවරුන්ගේ මූලිකත්වයෙන් නිපදවන හදසි සත්කාර ඇඳන්. මෙම ඇදන් කිසිදු තේකාර ප්‍රමිතියකට අන්ව නිශ්පාදනය නොකෙරන අතර ඒවා උසින් අඩු නිසා වෛද්‍ය වෘත්තිකයින්ට රෝගීන් පරීක්ෂා කිරීමට වෙන්නේ දණ ගසා ගෙනය!

පසුගිය 2021 මැයි 06 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යවමින්   ප්‍රධාන පෙළේ වෛද්‍ය වෘත්තික සංගම් හතරක් වේගයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය කිරීමට ඉදිරිපත් කරන ලද නිර්දේශ බහුතරයක් රාජපක්ෂවරැන් විසින් කුණූ කූඩයට දමා තිබේ.

දැන් මහා ව්‍යසනයක පෙරනිමිති පහළ වී ඇතැයි ලංකාවේ සියළුම වෛද්‍යවරු නියෝජනය වන ප්‍රධාන ආයතන 4 ම ජනාධිපතිවරයාට සහ රටේ සියළුම සෞඛ්‍ය ඇමැතිවරුන්ට, කොවිඩ් වැළැක්වීම බාරව සිටින හමුදාපතිවරයාට, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට ලිඛිතව තීරණාත්මකව අනතුරු අඟවා සිටියේය.

මෙරට  කොවිඩ් රෝගීන් තුන්ගුණයකින් වැඩිවී  ඇතැයිද, ඉදිරි සති 3 සහ ඉන්පසු කාලසීමාවේ දී කොවිඩ් මරණ සහ ප්‍රතිකාර නොමැතිව කොවිඩ් නොවන මරණ ද ඉහළ යෑම වැලැක්විය නොහැකි බැවින් මිය යන්නට ඉඩ හරින්නේ කව්ද කියා තෝරා ගැනීමට පවා සිදුවියහැකි බව එම ලිපිය සඳහන් කරයි.

එම ලිපිය පහත සඳහන් වේ.

2021 මැයි 06
අතිගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර්විද්‍යාල කමිටුවේ දැඩි අවධානය මෙසේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අපි ශ්‍රී ලංකාවේ සියලුම වෛද්‍ය වෘත්තිකයන්ගේ ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර්විද්‍යාල කමිටුව සමග එක්ව ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතය පැතිරයාමේ වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අපගේ ඉතා දැඩි අවධානය ඔබතුමා වෙත දන්වා සිටීමට අපේක්ෂා කරමු.

කොවිඩ් 19 රෝගය වැළඳී ඇතැයි නිර්ණය කෙරෙන රෝගීන්ගේ සංඛ්‍යාව හා ඊට අදාළ මරණ සංඛ්‍යාවද වේගයෙන් ඉහළ යමින් පවතින අතර ප්‍රජාව තුල රෝග නිර්ණය කරන ලද සංඛ්‍යාව මේ වන විට අවම වශයෙන් තුන් ගුණයකින් පමණ වැඩි වී ඇති බව දැන ගන්නට ලැබීම ඉතා ඛෙදනීය තත්ත්වයක් ලෙසට ඔබ තුමා ද අප සමග එකඟවනු ඇතැයි යන්න අපගේ බලවත් විශ්වාසයයි. සියළුම සෞඛ්‍ය සේවා වල ඇඳන් හා සෞඛ්‍යාරක්ෂක පහසුකම් කොවිඩ් 19 රෝගීන් විසින් වේගයෙන් භාවිත කෙරෙමින් පවතින බව පෙනී යාමත් සමග සියළුම සෞඛ්‍ය සම්පත් උපරිම මට්ටමින් භාවිතයට ගැනෙමින් පවතින බවද අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු. ඔක්සිජන් අවශ්‍යතා ප්‍රමාණය ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින අතර දැඩි සත්කාර ඒකක හා රෝහල් ඇඳන් සඳහා ද පොරොත්තු ලේඛන වල රැඳී සිටීමේ තත්ත්වයක් ද උද්ගත වී තිබේ. නොබෝ කලෙකින්ම කොවිඩ් 19 ආපදාව පෙර නොවූ විරූ තරමේ ප්‍රමාණයකින් වැඩි වීමේ අවදානමකට මුහුණ දීමට අපට සිදුවේ. කුමන රෝගියාට ප්‍රතිකාර ලබා දෙන්නේ ද, රෝගයට ගොදුරු වූ කුමන රෝගියා මිය යාමට ඉඩ හරින්නේ ද යන්න තීරණ වලට පවා එළැඹීමට අපට සිදුවනු ඇත.

අප්‍රේල් මස මුල සිටම පීසීආර් පරීක්ෂණ සඳහා රසායනාගාර වෙත කෙරෙන ඉල්ලීම් ඉහළ යමින් පවතී. සියලුම රසායනාගාර වලට ප්‍රවේශමෙන් හා තමන්ට කළ හැකි සේවා ධාරිතාව මෙන් දෙගුණයකින් හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් ක්‍රියා කිරීමට සිදුව තිබේ. කෙසේ වෙතත් තම උපරිම ධාරිතාවෙන් කටයුතු කළ ද දිවයින පුරා සියළුම රෝහල් රසායනාගාරවල පරීක්ෂණ ගොඩගැසී ඇති බවක් දක්නට ඇත. මෙම රසායනාගාරවලට එල්ල වී ඇති අධික වැඩ ප්‍රමාණය නිසා ඇති වූ ප්‍රතිඵලයක් ලෙස ඒවායේ දැනට පවතින සම්පත් හා රසායනික ද්‍රව්‍ය සැපයුම් ඉතා වේගයෙන් භාවිත කෙරමින් පවතී. මෙවැනි තත්ත්වයක් මත රසායනාගාර පහසුකම් සීමා වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පරීක්ෂණ වලට පමණක් සීමා වීමේ තීරණ ගැනීමට පවා අපට පෙළැඹීමට සිදුවනු ඇත.

කොවිඩ් නොවන රෝගීන් සඳහා ඇති පහසුකම් ද අඩාල වෙමින් හා ඇතැම් විට අහිමි වෙමින් ද පවතින අතර එම රෝගීන්ගේ පාලනය නොසලකා හැර කොඩිඩ් නොවන රෝගවලින් මිය යන සංඛ්‍යාව ද වැළැක්වීමට නොහැකි ලෙස ඉහළ යාමට හේතු වනු ඇත.

මේ වන විට අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ඇඳක් අපේක්ෂාවෙන් සිය නිවාස වල රැඳී සිටින රෝගීන් සංඛ්‍යාව කෙරෙහි ද දැඩි අවධානය යොමු කිරීමට සිදුවී තිබේ. සැබෑ ලෙස සත්කාර සේවා අවශ්‍ය පිරිසට ඇඳන් හා සත්කාර සේවා සැපයීම සැලකිය යුතු ලෙස ප්‍රමාද වීම් සිදුවේ. මෙම පසුබිම යටතේ ඉදිරි සති 3 සහ ඉන් එහා කාල සීමාවේ මරණ ඉහළ යාම වැළැක්විය නොහැකි කරුණක් වී ඇත.

සෞඛ්‍ය සේවකයන් ශාරීරිකව මෙන්ම මානසිකව ද පසුබෑමේ තත්ත්වයක් පවතින අතර මතු වී එන ආපදාව හමුවේ ඔවුන් තුල ඇති විය හැකි බලවත් වෙහෙස ද වැලැක්විය නොහැකි තත්ත්වයට පත්වනු ඇත. කොඩිඩ් මරණ පෙර නොවූ තත්ත්වයක මට්ටමට ආසන්න වීමට ඉඩ තිබේ. එය නුදුරු අනාගතයේ දී මහා ව්‍යසනයක සැබෑ තර්ජනයක පෙර නිමිත්තකි. එබැවින් අවම වශයෙන් ජනගහනයෙන් 60% කට වත් එන්නත් ලබා දෙන තෙක් රෝගය පාලනය කිරීම සඳහා පිරී ඉතිරී යන රෝහල් වලට රෝගීන් පැමිණීම මන්දගාමී කිරීම සඳහා පහසුකම් සැපයීමට පියවර ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. කොඩිඩ් 19 ට එරෙහි සටනේ සෞඛ්‍ය පැතිකඩ කෙරෙහි ආර්ථික බලපෑම් ද පවතී. රෝගය පැතිර යාම ක්ෂණිකව පාලනය නොකළහොත් ඒ සඳහා යන වියදම ද තවත් බරපතල ලෙස ඉහළ යනු ඇත.

මෙම පසුබිම යටතේ ශ්‍රී ලංකාවේ සියළුම වෛද්‍ය වෘත්තිකයන් නියෝජනය කරන ආයතන වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු ආයතන වල නියෝජිතයන් ලෙස පහත දැක්වෙන නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි සලකා බලන ලෙස අපි ඔබතුමාගෙන් ඉතා කරුණාවෙන් සහ උනන්දුවෙන් ඉල්ලා සිටිමු.

නිර්දේශ

1) කොවිඩ් 19 පාලනය කිරීම සඳහා 2020 ඔක්තෝම්බර් මාසයේ පළ කරන ලද රජයේ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් රෙගුලාසි දැඩි අධීක්ෂණයක් යටතේ අකුරටම ක්‍රියාත්මක කරමින් මහාජනතාවගේ සංචරණයට දැඩි සීමා පැනවීම.

2) ආසාදිත පුද්ගල ඝනත්වය පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි මත පමණක් පදනම්ව තෝරාගත් ඇතැම් ප්‍රදේශ අගුලු දැමීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාම තීරණ ගැනීම. අවශ්‍ය නම් හා පෙන්වා දෙන අවස්ථාවල දිස්ත්‍රික්ක අතර ජනතා සංචරණය සීමා කිරීම ද වැදගත් වේ.

3) කොවිඩ් 19 අසාදිතයන් දැඩි ලෙස අධීක්ෂණය කරමින් රෝගය වැළැක්වීමට අදාළ සුවිශේෂී උපාය මාර්ග වලට යොමුවෙමින්, අවශ්‍ය නම් තෝරාගත් අත්‍යාවශ්‍ය සේමා අංශ හා ආර්ථිකයට දායක වන සේවා පවත්වාගෙන යාමට පියවර ගැනීම.

4) සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ සමීප හා දැඩි අධීක්ෂණය යටතේ, රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් සිය නිවාස වලම හුදකලා කිරීම හා එම පවුලේ සාමාජිකයන් එම නිවසේම නිරෝධායනය කිරීම. මෙහිදී ආසාදිත පුද්ගලයන් නිව්මෝනියා රෝග ලක්ෂන පෙන්නුම් කරන්නේ නම් දැඩි අධීක්ෂණය යටතේ එම රෝගීන් හැකි ඉක්මනින් ආසන්නයේ ඇති නම් කළ රෝහල වෙත යොමු කිරීමට විධි විධාන යෙදීම.

5) ඇඳන්, ඔක්සිජන්, දැඩි සත්කාර ඒකක පහසුකම් ආදිය ප්‍රමාණවත් ලෙස සපයමින් ප්‍රතිකාර සේවා තවදුරටත් ශක්තිමත් කිරීම.

6) පීසීආර් පරීක්ෂණ සහිතව කොවිඩ් 19 රෝග නිර්ණය ස‍ඳහා දිවයින පුරා රසායනාගාර සේවා ශක්තිමත් කිරීම හා ස්ථාවර හා අඛණ්ඩ සැපයුම් දාමයක් සහතික කිරීම.

7) හැකි ඉක්මනින් රට පුරා ප්‍රමාණවත් ආවරණයකින් යුක්තව නිසි එන්නත්කරණ ක්‍රියාවලියක් දියත් කිරීම.

තීරණාත්මකව කඩිනමින් ක්‍රියාත්මක වෙන්න.

අතිගරු ජනාධිපතිතුමනි, අප ඉතා කඩිනමින් මෙන්ම කරුණාවෙන් ඔබතුමාට දන්වා සිටින්නේ අපගේ මෙම සංවේදී ප්‍රයත්න සැමවිටම කැපකොට ඇත්තේ මෙම දරුණු වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඔබතුමාගේ දෑත ශක්තිමත් කිරීමට බවයි. මෙම අවස්ථාව සැබැවින්ම තීරණාත්මක හා කඩිනමින් ක්‍රියාත්මක විය යුතු කාලයක් බව අපි උදක්ම කල්පනා කරමු. අප සියළුම දෙනා මෙම භාර දූර කර්තව්‍යයට සාමූහිකව උර නොදුනහොත් මෙම වහා පැතිරෙන වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරිනීතිය පැනවීම වැනි රට වසා දැමීමේ බරපතල තීරණවලට පවා එළැඹීමට සිදුවනු ඇත. මෙම තත්ත්වය මත අපගේ සෞඛ්‍ය නිර්දේශ පිළිබඳව මහජනතාව ද දැනුවත් කළ යුතුය. එමෙන්ම රජය මේ අවස්ථාවේ දී වහාම ක්‍රියාත්මක නොවුනහොත් නුදුරු අනාගතයේ දීම පොදු මහජනතාවට වඩාත් බරපතල හා කල්පවත්නා දුෂ්කරතා වලට පවා ලක්වීමට සිදුවන බව නැවත නැවතත් අවධාරණය කරමු.

අතිගරු ජනාධිපතිතුමනි, අපි සැමවිටම ජාතියේ සුභසාධනය උදෙසා කැපවී සිටින බවද මතක් කර සිටිමු.

ස්තූතියි
මෙයට විශ්වාසී,

ස්තූතියි
මෙයට විශ්වාසී,

වෛද්‍ය පද්මා ගුණරත්නල සභාපති – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, සභාපති – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, සභාපති – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

මහාචාර්ය තමසි මකුළොලුව, කැඳවුම්කරු – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර්විද්‍යාල කමිටුව

පිටපත්

ගරු පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය ඇමැතිනී
ගරු වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂාව වසංගත හා කොවිඩ් 19 රෝග පාලනය පිලිබඳ රාජ්‍ය ඇමැතිනී
ගරු මහාචාර්ය චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදන හා නියාමන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය
ආචාර්ය පී.බී.ජයසුන්දර – අතිගරු ජනාධිපතිතුමාගේ ලේකම්
ජනරාල් ශවේන්ද්‍ර සිල්වා – ප්‍රධානී, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය
මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ – ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය
වෛද්‍ය අසේල ගුණවර්ධන -සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, සෞඛ්‍ය අමාත්‍යාංශය

Archive

Latest news

Related news