Monday, May 20, 2024

පාස්කු ප්‍රහාරය, බුද්ධි අංශ පටලැවිල්ල සහ කොමිසම නොකියන සොනික් සොනික් රහස් – මනූෂ නානායක්කාර

මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ කතාව,
මම පාර්ලිමේන්තුවෙදි කියන මේ කතාවට කවුරුන් හෝ බාධා කරනවා නම් ඒ බාධා කරන අය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය හෙළිදරව් වීම වැළැක්වීමට උත්සාහ ගන්නා අයයි. දැන් ආණ්ඩුව තෝරාගත්ත මවුලවි කෙනෙක් පිට මේ ප‍්‍රහාරයේ වගකීම පැටවීමට උත්සාහ ගන්නවා. ඇත්තටම කළ යුතුව තිබෙන්නේ මේ ප‍්‍රහාරයට සම්බන්ධ සැබෑ පුද්ගලයන් සොයාගැනීමයි.

ජමීල්ගේ නිවසට ගිය බුද්ධි නිලධාරීන්

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සාභා වාර්තාව ගැන කාදිනල්තුමා විවිධ අවස්ථාවලදි විවිධ කතා කිව්වා. විජයදාස රාජපක්ෂ මන්ත‍්‍රීතුමාට ලැබුණු ආකාරයේ දුරකතන ඇමතුමක බලපෑමක් කාදිනල්තුමාට ඇවිත් කලින් කියපු කතා පස්සෙ වෙනස් කළාද කියලා ජනතාවට සැකයක් තිබෙනවා. ටාජ් සමුද්‍රා හෝටලයට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි ජමීල් නමැති පුද්ගලයා දෙහිවලදි තමයි බෝම්බය පුපුරවාගත්තේ. ප්‍රහාරයට කලින් මේ බෝම්බකරුගේ නිවසට බුද්ධි අංශයේ හා ත‍්‍රස්ත විමර්ශන එ්කකයේ නිලධාරීන් දෙදෙනෙක් ගොස් තිබෙනවා. ඔවුන් දෙදෙනා එහි ගොස් තිබෙන්නේ ජමීල් නමැති පුද්ගලයා මේ ප්‍රහාරයට සම්බන්ධ බවට බුද්ධි අංශ කල් තබා දන්නා නිසයි. මේ බව පොලිස්පති පූජිත ජයසුන්දර කියා තිබුණා. මේ ගැන පරීක්ෂණයක් කරලා තිබෙනවාද?

අපේ ප්‍රොජෙක්ට් එක කාගෙද!

තාක්ෂණ ක්‍රමවේද මගින් සොයාගත් සැකකරුවෙක් ශානි අබේසේකර විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව හමුදා බුද්ධි අංශ විසින් රැගෙන ගොස් තිබෙනවා. මෙය තමන්ගේ මෙහෙයුමක් බව කියමින් තමයි ඔහු රැගෙන ගොස් තිබෙන්නේ. මේ නිලධාරියා සහරාන් සමග තිබෙන සම්බන්ධතා පිළිබඳ පරීක්ෂණ පවත්වා තිබෙනවාද?
මනූෂ නානායක්කාර

සොනික් සොනික් කව්ද?

කටාර් සිට පැමිණෙන මාතලේ සහරාන් නමැති පුද්ගලයා හමුවීමට බුද්ධි අංශයේ සොනික් සොනික් නමින් හැඳින්වෙන නිලධාරියා ගොස් තිබෙනවා. මේ පුද්ගලයා ගොස් ප්‍රහාරයේ වගකීම අයිඑස් නායක අල් බග්දාදි බාරනොගන්නේ ඇයි කියලා ප්‍රශ්න කරනවා. එතකොට දිවුරුම තවම එළියට ඇවිත් නෑ කියලා කියනවා. ඒ වෙලාවෙ එතැන සිට ඉන්දුනීසියාවට දුරකතන ඇමතුමක් යනවා. හරි අපි දැන් ඒ වීඩියෝව එළියට දාන්නම් කියලා කිව්වට පස්සෙ තමයි අල් බග්දාදි ලංකාවෙ ප‍්‍රහාරයේ වගකීම බාරගත්තෙ.
මේ කරුණු පාස්කු කොමිසමේදි හෙළිදරව් වූ කරුණු. මේවා ගැන සොයා නොබැලීම තමයි තිබෙන ප්‍රශ්ණය.

සාරා අරං ගියේ පොලීසියෙන්

සාරා නමැති කාන්තාව ගැන පැහැදිලිකමක් නෑ. ඇය ගැන ඩීඑන්ඒ්පඒ්රීක්ෂණයක් කළ යුතු බව සරත් වීරසේකර ඇමැතිවරයා පවසනවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව ත‍්‍රස්තවාදීන් කාත්තන්කුඩි නිවසේදී පුපුරවාගැනීමක් කළ අවස්ථාවේදී දහනව දෙනෙක් ඒ නිවසේ සිට තිබෙනවා. එයින් දහසය දෙනෙක් මිය ගොස් තිබෙනවා.
අර්ජුන් මහින්කන්ද පොලිස් නිලධාරියා සාක්ෂි ලබාදෙමින් කියා තිබෙන්නේ සාරා නමැති කාන්තාව මුහුදෙන් ඉන්දියාවට ගොස් තිබෙන බවත්, ඒ සදහා සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකි බවත්. ඒ සම්බන්ධයෙන් පාස්කු කොමිසමට දැනුම් දී තිබෙනවා. එහෙම කොමිසමට දැනුම් දී තිබියදී සරත් වීරසේකර ඇමැතිවරයා සාරා ගැන තොරතුරු නැහැ කියනවා.
ආණ්ඩුවේ ඇමැතිවරයෙක් මේ විදිහට සාරා ගැන තොරතුරු වසන් කරන්නේ ඇයි? සාරා ගැන තොරතුරු කොමිසම හමුවේ හෙළි වී තිබියදී තමයි, මේ කරුණු සැඟවීමට ඇමැතිවරයා උත්සාහ ගන්නේ. සාරා නමැති කාන්තාවට පැනයෑමට උදව් කළ පොලිස් නිලධාරියා මේ වන විට ත්‍රස්ත විමර්ශන එ්කකයේ රඳවාගෙන තිබෙනවා. මේ තොරතුරු තමයි සඟවන්නේ.

නීතිපති ළගට යන බුද්ධි නායකයා කව්ද?

පාස්කු කොමිසමේ වාර්තාව නීතිපතිවරයා ළඟට දැන් ගිහින් තියෙනවා. නීතිපතිවරයා ළඟට සාමාන්‍යයෙන් යන්නේ පොලිස් නිලධාරීන්. ඒ අවශ්‍ය සහාය ලබාදීම සඳහා. ඒත් බුද්ධි අංශයට නායකත්වය ලබාදෙන යම් පුද්ගලයෙක් මේ ගැන සාකච්ඡා කරන අවස්ථාවලට හැමදාම යනවා කියන ආරංචිය තියෙනවා. එතකොට මොකටද මේ යන්නේ.

2014 ඉදං සහරාන්ට ආන්ඩුවෙන් පඩි!

මේ සියලු කාරණා ජනාධිපති කොමිසමේදි හෙළිවූ කරුණු. නීතිඥයන් සිටින තැන මාධ්‍යවේදීන් අයින් කරලා කරපු කතා තමයි මේ. ශානි අබේසේකර හිරේ දාලා තිබෙනවා. මේ බුද්ධි තොරතුරු ලැබෙන්නේ අප්‍රේල් 04 වැනිදා. අප්‍රේල් මැද වන විට සහරාන්ලට ලක්ෂ හාරසිය තිහක් ලැබෙනවා. මේවගෙන් මස් බෙදනවා. ආයුධ ගන්නවා. නොයෙක්නොයෙක් වැඩ කරනවා. හැබැයි 2014 සිට සහරාන්ලට පඩි ගෙවනවා. මේ ගැන අත්අඩංගුවට ගත්ත අය අපේ ව්‍යාපෘතියක් කියලා හමුදාවෙ බුද්ධි අංශයෙන් ඇවිත් අරගෙන යනවා. ඒ මේවට සම්න්ධ ජාලයක් තිබුණු නිසා.

නාමල් කුමාර කාගේ ඉත්තෙක්ද??

අප්‍රේල් 04 වැනිදා මේ ගැන බුද්ධි තොරතුරු ලැබුණා නම් ප්‍රහාරය දක්වා කාලය තුළදි මේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණේ ඇයි? මේ බුද්ධි තොරතුරු ගැන හඹා නොගියේ ඇයි කියලා සොයාබැලිය යුතුයි. මේ කාලය වන විට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා තවුහිද් ජමාත් සංවිධාන ගැන වාර්තාවක් නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. ඒ වගේම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් උපදෙස් පතා තිබෙනවා. ඒ උපදෙස් ලැබිලා නැහැ. නාමල් කුමාරගේ සිද්ධියක් එළියට ඇවිත් නාමල් කුමාර අත්අඩංගුවට ගැනීම ගැනත් අවධානය යොමුකළ යුතු වෙනවා.

කෝ ඒ රහස් සාක්ෂිය?

පාස්කු කොමිසම සහරාන්ගේ බිරිඳගේ සාක්ෂිය ලබාගත්තෙ මාධ්‍යවේදීන් ඉවත් කරලා. මේ සාක්ෂියේ තිබුණෙ මොනවාද කියලා බරපතළ ප‍්‍රශ්නයක් තිබෙනවා. මේවා එළියට දාන්නෙ නැත්තෙ ඇයි?

නොසතුටින් සිටි බොස් කෝ?

ත්‍රීමා කියලා ඇප් එකක් මගින් තමයි මේ අය තොරතුරු හුවමාරු කරගෙන තිබෙන්නෙ. පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් ප‍්‍රහාරයට දවස් තුනකට පෙර කොටස් දෙකකට බෙදෙනවා. ජාඇල සහ පානදුරේ පිහිටි ආරක්ෂක නිවාස දෙකක ඉඳලා තමයි මේ අය ක්‍රියාත්මක වෙන්නෙ. ඒ් දවස්වල මේ ප‍්‍රහාරය ප‍්‍රමාදවීම පිළිබඳ බොස් ඉන්නෙ අසතුටින් කියලා කතා වෙලා තිබෙනවා. බොස් ඉක්මනට කරන්න කියලා තිබෙනවා. මේ කියන බොස් කවුද කියලා අනාවරණය කරගත යුතුයි.

Medialk.com වෙතිනි.

Archive

Latest news

Related news