Tuesday, July 16, 2024

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විසි වසරක් දඩුවම් දියහැකි ඉස්ලාමීය සංවිධාන 11 තහනම් ගැසට්ටුව එයි

ජායාරූපය පුවතට සම්බන්ධ නැත.

ජනාධිපති රාජපක්ෂ විසින් ඉස්ලාමීය සංවිදාන 11ක් මෙරට තහනම් කරමින් නියෝගයක් අති විශේෂ ගැසට් පත්‍රයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මේ සමඟ මෙතෙක් මෙරට තහනම් කර ඇති එල්ටීටීඊය සහ  දෙමළ ඩයස්පෝරා සංවිධාන ගණනාව අතරට මෙරට ක්‍රියාත්මක වූ ඉස්ලාමීය සංවිධාන ගණනාවක් ද ඇතුළත් වෙයි. මෙම නියෝගය මගින් තහනම් කර ඇති සංවිධානවල වත්කම් රාජසන්තක කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරේ.

මේ තාක් කිසිදු සංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක් මෙරට තහනම් කර නැත.

එම ගැසට්ටුවේ අඩංඟුව පහත දැක්වේ.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සමග කියවිය යුතු 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 27 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදනු ලබන නියෝග.
ගෝඨාභය රාජපක්‍ෂ,
ජනාධිපති.
2021 අප්‍රේල් මස 10 වන දින,
කොළඹ දී ය.

නියෝග
1. මේ නියෝග 2021 අංක 2 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (අන්තවාදී සංවිධාන තහනම් කිරීමේ) නියෝග යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. රට තුළ සාමය අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා රජය විසින් සද්භාවයෙන් දරන ලද ප්‍රයත්නයන් වැඩි දියුණුකර ගැනීමේ අරමුණින් සහ ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ නීතියේ ආධිපත්‍යයේ හිතසුව පිණිස මෙහි උපලේඛනයේ නිශ්චිතව සඳහන් සංවිධාන මෙයින් තහනම් කරනු ලැබේ.

3. ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත දී, කිසිම තැනැත්තකු විසින්, මෙහි උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම් සංවිධානයක හෝ ඒ සංවිධානය නියෝජනය කරන හෝ ඒ සංවිධානය වෙනුවෙන් ක්‍රියාකරන නැතහොත් ඒ හා සම්බන්ධ හෝ ඒ කෙරෙහි සැලකිල්ලක් දක්වන, වෙනත් යම් සංවිධානයක හෝ පහත නිශ්චිතව සඳහන් ක්‍රියාකාරකම් කිසිවක් හා සම්බන්ධ බවට හෝ ඒ කෙරෙහි සැලකිල්ලක් දක්වන බවට සාධාරණ සැකයක් පවතින වෙනත් යම් සංවිධානයක – (අ) සාමාජිකයකු හෝ සමූහයක සාමාජිකයකු වීම;
(ආ) නායකත්වය සැපයීම;
(ඇ) නිල ඇඳුම්, ඇඳුම්, සංකේත, ලාංඡන හෝ ධජ පැළඳීම, ප්‍රදර්ශනය කිරීම, එසැවීම හෝ සන්තකයේ තබා ගැනීම;
(ඈ) රැස්වීමක් කැඳවීම, රැස්කිරීම, පැවැත්වීම හෝ ඊට සහභාගීවීම;
(ඉ) සාමාජිකත්වය ලබා ගැනීම හෝ බැඳීම;
(ඊ) සාමාජිකයකුට හෝ සමූහයක සාමාජිකයකුට හෝ එහි වෙනත් යම් ආශ්‍රයකුට රැකවරණය සැලසීම, ඔහු සඟවා තබා ගැනීම, ඔහුට ආධාර කිරීම;
(උ) එය ප්‍රවර්ධනය කිරීම, දිරි ගැන්වීම, සහාය දැක්වීම, උපදෙස් දීම, ආධාර කිරීම හෝ ඒ වෙනුවෙන් ක්‍රියා කිරීම;
(ඌ) එහි යම් ක්‍රියාකාරකමක් හෝ වැඩ සටහනක් සංවිධානය කිරීම හෝ ඊට සහභාගීවීම;
(එ) මුදල් හෝ ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම හෝ මදලින් හෝ ද්‍රව්‍යවලින් දායකවීම;
(ඒ) ඒ සඳහා හෝ එහි ද්‍රව්‍ය ප්‍රසම්පාදනය, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, සන්තකයේ තබා ගැනීම හෝ බෙදාහැරීම;
(ඔ) අරමුණ සඳහා සහාය දීම හෝ නියෝජනය කිරීම ;
(ඕ) යම් ගනුදෙනුවක නිරත වීම ; හෝ
(ක) ඒ වෙනුවෙන් තොරතුරු පතුරුවා හැරීමට සැලැස්වීම,
නොකළයුතු ය.

4. මේ නියෝගවල 3 වන නියෝගය උල්ලංඝනය කරමින් ක්‍රියාකරන යම් තැනැත්තකු වරදකට වරදකරුවන අතර, කොළඹදී පවත්වනු ලබන්නා වූ ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ග වන ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද්දාවූ ද, බස්නාහිර පළාතේ මහාධිකරණය මගින් වරදකරු කරනු ලැබීමේ දී, අවුරුදු විස්සක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමේ දණ්ඩනයකට යටත් විය යුතු ය.

5. මේ නියෝගවල 3 වන නියෝගය උල්ලංඝනය කරමින් වරදක් සිදුකිරීමට කුමන්ත්‍රණය කරන, ඒ සඳහා තැත්කරන, අනුබල දෙන, හෝ වරදක් සිදුකිරීම සඳහා සූදානම්වීම පිණිස යම් ක්‍රියාවක් කරන යම් තැනැත්තකු වරදකට වරදකරුවන අතර, කොළඹ දී පවත්වනු ලබන්නා වූ ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154. වන ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද්දාවූ ද, බස්නාහිර පළාතේ මහාධිකරණය මගින් වරදකරු කරනු ලැබීමේ දී අවුරුදු දහයක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමේ දණ්ඩනයකට යටත් වියයුතු ය.

6. යම් පුද්ගල මණ්ඩලයක් විසින් මේ නියෝග යටතේ වරදක් සිදුකරනු ලබන අවස්ථාවක දී, එම වරද සිදුකිරීම පිළිබඳව ඍජුවම වගකියනු ලැබිය යුතු තැනැත්තන්ට අමතරව-
(අ) එම පුද්ගල මණ්ඩළය සංස්ථාවක් නම් එහි අධ්‍යක්ෂ මණ්ඩළය සහ ප්‍රධාන විධායක නිලධරයා ;
(ආ) ඒ පුද්ගල මණ්ඩලය හවුල් ව්‍යාපාරයක් නම්, ඒ හවුල් ව්‍යාපාරයේ සෑම හවුල්කරුවකුම සහ ප්‍රධාන විධායක
නිලධරයා ; සහ
(ඇ) ඒ පුද්ගල මණ්ඩලය ව්‍යාපාර ආයතනයක් නොවන සංස්ථාගත කරනු නොලැබූ මණ්ඩලයක් නම්, ඒ පුද්ගල මණ්ඩලයේ, කණ්ඩායමේ හෝ සංවිධානයේ නායකයා සහ ඒ මණ්ඩලයේ, කණ්ඩායමේ හෝ සංවිධානයේ කළමනාකරණය සහපාලනය සඳහා වගකිව යුතු සෑම නිලධරයකුම, ඒ පුද්ගල මණ්ඩලයට අතිරේකව, ඒ වරදට වරදකරුවන බවට සලකනු ලැබිය යුතු ය.

7. ජනාධිපතිවරයා විසින් යෝග්‍යයයි ඔහු විසින් සලකනු ලබන යම් පරීක්ෂණයකින් පසු මෙහි උපලේඛනයේ නිශ්චිතව සඳහන් තහනම් කරනු ලැබූ සංවිධානවල කාර්යය සඳහා භාවිත කරනු ලබන හෝ භාවිතා කිරීමට අදහස් කරනු ලබන යම් මුදල්, සුරැකුම් හෝ බැරකම් යම් තැනැත්තකුගේ භාරයේ පවත්නා බවට සෑහීමට පත්වන අවස්ථාවක දී ජනාධිපතිවරයා විසින් ලිඛිත නියමයක් මගින් ඒ යම් තැනැත්තාගේ භාරයේ පවතින මුදල්, සුරැකුම් හෝ බැරකම් හෝ ඒ නියමය කිරීමෙන් පසු ඒ තැනැත්තාගේ භාරයට පත්වන යම් මුදල්, සුරැකුම් හෝ බැරකම් සහ ඒ සංවිධානවලට අයත් වෙනත් යම් චංචල හෝ නිශ්චල දේපළ රාජසන්තක විය යුතු බවට ප්‍රකාශ කරනු ලැබිය හැකි ය.

8. මානුෂීය ආධාර සැපයීම හා සම්බන්ධ යම් ක්‍රියාකාරකමක යෙදීම සඳහා රාජ්‍ය ආරක්ෂාව විෂයය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම් වරයා විසින් කලින් කල ලිඛිත නියමයක් මගින් නිශ්චිතව දක්වනු ලබන සහ ශ්‍රී ලංකා රජය සමග ගිවිසුමකට එළඹී සිටින ජාත්‍යන්තර සංවිධානයක අයිතිවාසිකම් වලට මේ නියෝගවල විධිවිධාන කිසිම ආකාරයකින් බලනොපෑ යුතු බවට සැකදුරු කිරීමේ කාර්යය සඳහා මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

උපලේඛනය
1. එක්සත් තව්හිද් ජමාත් (යූටීජේ)
2. සිලෝන් තව්හිද් ජමාත් (සීටීජේ)
3. ශ ්‍ර ී ලංකා තව්හ ිද ්ජමාත ් (එස ්එල ්ටීජෙ ්)
4. සමස්ත ලංකා තව්හිද් ජමාත් (ඒසීටීජේ)
5. ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා (ජේඒඑස්එම්) නොහොත් ජමාඅත් අන්සාරිස් සුන්නතිල් මොහොමදියා සංගමය
නොහොත් සමස්ත ලංකා ජමෙයිතු අන්සාරිස් සුන්නතිල් මොහොම්මදියා නොහොත් අන්සාරිස් සුන්නතිල් මොහොම්මදියා
සංගමය නොහොත් ජමාඅත් අන්සාරිස් සුන්නතිල් මොහොම්මදියා
6. දාරුල් අදර් නොහොත් ජමිඋල් අදර් මොස්ක් නොහොත් දාරුල් අදර් කුරාන් මද්‍රාසා නොහොත් දාරුල් අදර් අත්තබවියා
7. ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය (එස්එල්අයිඑස්එම්) නොහොත් ජමියා
8. ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන් සිරියා (අයිඑස්අයිඑස්) නොහොත් අල් – දව්ලා අල් – ඉස්ලාමියා දව්ලා ඉස්ලාමියා
9. අල්-කයිඩා
10. සේව් ද පර්ල්ස් නොහොත් සේව් ද පර්ල් සමාජය
11. සුපර් මුස්ලිම්

පීඩ්එෆ් ගොනුවක් ලෙස:ගැසට් 2223-03_S

Archive

Latest news

Related news