Monday, May 20, 2024

200කට මරු කැඳවා ස්ත්‍රීන් ලක්ෂ 24ක් හිරයට ගත් ක්ෂද්‍ර මුල්‍ය ණය උගුල සහ ඊට විසඳුම්

ශ්‍රි ලාංකික ග්‍රාමීය ජනතාව , විශේෂයෙන්ම, ග්‍රාමීය කාන්තාවන්, අවිධිමත් ක්ෂද්‍ර මුල්‍ය ආයතන වලින් ණය ලබාගැනීම තුළ, ගොඩනැගී ඇති සමාජ හා ආර්ථික අර්බුදය පිළිබඳ මෑතකාලිනව , විශාල සමාජ සංවාදයන් ගොඩනැගී ඇත. මෙම අර්බුධය පිළිබඳ දශක ගණනාවක සිට සංවාදයන් පැවතියද, වර්ථමානය වනවිට, එම සමාජ සංවාදය උච්චතම තලයකට පැමිණ ඇත. විවිධ සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, විද්වතුන් , සමාජ ක්‍රියාකාරින් , මෙම අර්බු පිළිබඳ පර්යේෂණ කරන්නට , තොරතුරු රැස්කරන්නට, ජනතාව දැනුවත් කරනන්ට ප්‍රතිපත්ති තීරකයන් හා සංවාද කරන්නට , ගැටලුවට රාජ්‍ය අවධානය යොමු කරවීමට, විවිධ ක්‍රියාකාරිත්වයන් වෙත යොමු වී ඇත. පියවර ගෙන ඇත.

මෙම ක්‍රියාවලියේ ප්‍රමුඛ මැදිහත්වීමත් ලෙස මෑතකදී , සිවිල් සංවිධාන හා ක්‍රියාකාරීන් එක්ව හිඟුරක්ගොඩදි පැවැත්වු උද්ඝෝෂණ ව්‍යාපාරය පෙන්වාදිය හැක. එමෙන්ම අනාවරණ වන පරිදි , කාන්තාව ක්ෂද්‍ර මුල්‍ය ණය උගුලෙන් බේරාගැනිම උදෙසා, රාජ්‍ය යාන්ත්‍රණයහි මැදිහත්වීම ඇති කිරිම සඳහා, සිවිල් ක්‍රියාකාරිත්වයේ පියවර ගණනාවක් ඉදිරියට ගැනීමට නියමිතය. මෙම අර්බුදයේ තරම කොතරම්ද? යන්න ගැන අවබෝධයක් එයින් ලබා ගත හැක.

ආචාර්ය හරිණි අමරසුරිය

මෙම ක්ෂද්‍ර මුල්‍ය ණය ගැටලුව පිළිබඳ 2021 මාර්තු 10 දින , ජාතික ජනබලවේගයේ , පාර්ලිමේන්තු මන්ත්‍රි , ආචාර්ය හරිණි අමරසුරිය මහත්මිය, පාර්ලිමේන්තුවේදි කල කරුණු දැක්වීම තුලින් , මෙම ගැටලුව පිළිබඳ විවරණය ආරම්භ කිරිමට කරමු. එහිදි ඇය කල ප්‍රකාශය අනුව , අවිධිමත් අංශයන් තුලින් ලබාගත් ණය ගෙවාගත නොහැකිව , කාන්තාවන් 200 වැඩි ප්‍රමාණයක් , සියදිවි නසාගෙන ඇත.

සමාජය තුල සිදුවන සංවාදය අනුව, ණය ගෙවාගත නොහැකිව , සියදිවි නසාගත් කාන්තාවන්ගේ සංඛ්‍යාව මිට වඩා වැඩිබව හැගීයන නමුත්, ඒ පිළිබඳ නිශ්චිත හා නිවැරදි සංඛාලේඛන වාර්ථා වී නොමැත. බොහෝවිට , සියදිවි නාසාගැනීම වාර්ථා වන නමුත් එයට බලපෑ සැබැ හේතුන් පිළිබඳ තොරතුරු සොයාබැලීම සඳහා විධීමත් සමාජ ගවේෂණයන් කලයුතුව ඇති. එබැවින් , මෙම ගැඹුරු සමාජ අර්බු හමුවේ, ණය ගෙවාගත නොහැකිව , අසරණ භාවයට පත්වු කාන්තාවන් විශාල පිරිසක් ජිවිතයෙන් සමුගෙන ඇති බව නොනිල වශෙයන් වුවද සඳහන් කලයුතුව ඇත. එය කෙසේ වුවද , ආචාර්ය හරිනී අමරසුරිය පවසන ආකාරයට, “ණය ගෙවාගත නොහැකිව කාන්තාවන් 200 වැඩිපිරිසක් සියදිවිනසාගෙන ඇත” යන්න , මෙම සමාජ අර්බුදයේ ගැඹුර මනාව පිළිබඹු කරන එක් ප්‍රධාන දර්ශකයකි.

එපමණක් නොව, ඇය තව දුරටත් ප්‍රකාශකර සිටින්නේ , ශ්‍රි ලාංකීක පුරවැසියන් මිලියන් 2.8 තරම් ප්‍රමාණයන් ක්ෂුද්‍රමුල්‍ය ආයතන මඟින් ණය ලබාගෙන ඇති අතර , ඉන් 2438,000 කාන්තාවන් බවයි.

2019 ජුලි 01 දින ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද වර්ගීකරණයට අනුව , ශ්‍රි ලංකාව ඉහල මැදි ආදායම් ලබන රටවල් කණ්ඩායම ඇතුලත් කර ඇත. එම වර්ගීකරණය කර ඇත්තේ , මෙරට ඒක පුද්ගල ආදයම ඇමරිකානු ඩොලර් 4060 ලෙස ගණනය කිරිම අනුවය. ආසියානු සංවර්ධන බැංකුවට අනුව, ශ්‍රී ලංකාවේ ජාතික ද්‍රරිද්‍රතා රේඛාවට පහළින් සිටින ජනගහනයේ ප්‍රතිශතය 4.1% මෙය දකුණු ආසියාවේ පහළම අනුපාතයයි.

ජනලේඛණය හා සංඛ්‍යාලේඛනය දෙපාර්තමේන්තුවට අනුව, 2016 වන විට ද්‍රරිතාද්‍රව රේඛාවට පහලින් සිටින ප්‍රමාණය ලෙස , ග්‍රාමීය ජනගහනයන් 4.3% හා වතු ජනගහනයෙන් 8.8% ලෙස දන්වා ඇත.

ශ්‍රි ලංකාවේ අවසන් වරට සිදුකරන ලද (2011) ජන සංහනයට අනුව ශ්‍රි ලංකාවේ ජනග්‍රහනයන් ග්‍රාමියව 77.4% හා 4.4 % වතු අශ්‍රිතව ජිවත්වේ. පොදුවේ පිලිගත් කරුණ වන්නේ , මෙරට ද්‍රරිද්‍රතාව රේඛාවෙන් ඉහළ සිටින ජනතාවගෙන් බහුතරයක්ද , නිරන්තර ණයගැතිභාවයේ පෙලන බවයි.

2018 දෙසැම්බර් වනවිට මෙරට පවුල්වල සමස්ථ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.2 ඉක්මවා තිබින. 2019 මාර්තු මාසයේ නිකුත් වු එක්සත් ජාතින්ගේ ණය සහන හා මානව හිමිකම් පිළිබඳ විශේඥවරයාගේ වාර්ථාවට අනුව, ශ්‍රි ලංකාවේ කාන්තාවන් මිලියන 2.4 අධික ප්‍රමාණයන් අධික පොලී අනුපාත අයකරන ( 30%-220%) ක්ෂුද්‍ර මුල්‍ය ආයතන මඟින් ණය ලබාගෙන ඇත.

රාජපක්ෂගේ මැතිවරණ පොරොන්දු තවම ඉටු කර නැත.

ක්ෂුද්‍ර මුල්‍ය ආයතන මඟින් ණය ලබාගත් කාන්තාවන් ආශ්‍රිතව කරන ලද අධ්‍යනයන් තුලින් මතු වී පෙනෙන පොදු කරුණු රාශියක් ඇත.

ඉන් ප්‍රධාන සාධකයන් වන්නේ, බොහෝමයක් පවුල්වල , ආදායම වඩා වියදමක් පැවතීම මෙන්ම සමහර අවස්ථාවල ආදායමින් යාන්තමින් වියදම පිරිමසා ගැනිමට හැකිබවයි. බොහෝ පවුල්වල මාසික වියදමින් බහුතරය පියවෙන්නේ ආහාර අවශ්‍යතා හා ණය ගෙවීම සඳහාය. එමෙන්ම බොහෝමයන් පවුල් වල ප්‍රධාන වියදම් අංශය වන්නේ ණය ගෙවීමයි.

කුටුම්භයන් ණය ලබාගැනීමේ අවශ්‍යතා දෙස බැලීමේදි පෙනීයන ප්‍රධාන ලක්ෂණයන් වන්නේ , ආදායම් උත්පාදන, එනම් ආයෝජනය සඳහා වු ණය ලබාගැනිම ඉතාම සිමීත වන බවත් , විවිධ අවශ්‍යතා සඳහා ණය ලබාගන්නා බවයි. එයින් ප්‍රධාන අංශ ලෙස, අලුත් පාසල් වාරයට දරුවන්ගේ අධ්‍යපනය සඳහා වන වියදම් පියවීම , පවුලේ උත්සාහ අවස්ථා, පවුලේ අයගේ වන අසනීප, වගා පාලුවීම, අලුත් අවුරුද්ද සඳහා , හා හදිසි ගමන් බිමන් ආදිය පෙනවා දිය හැක.

ණය ගැතිභාවයෙන් පෙලෙන සුළුතරයක්, ස්වයං රැකියා ගොඩනැගීම සඳහා ක්ෂුද්‍ර මුල්‍ය ආයතන මඟින් ණය ලබාගෙන තිබුණද , ඔවුන් තමන්ගේ ව්‍යාපාර සාර්ථක කර ගැනිමට අපොහොසත් වී ඇත. ඊට ප්‍රධාන හේතුන් වී ඇත්තේ , ස්වයංරැකියා පිළිබඳ නිසි අවබෝධයන් නොවීම , නිෂ්පාදන සඳහා නිසි වෙළඳ පොළක් නොවීම, පවුලේ වගකීම් , පවුගේ සෙසු අයගේ සහයෝගය නොලැබීම ආදියයි.

මෙම සියල්ලේම අවසන් ප්‍රතිඵලය ලෙස, පවුලේ, විශේෂයෙන්ම කාන්තාවන් ක්ෂුද්‍ර මුල්‍ය ණය උගුලේ පැටලී ඉන් මිදීමට අපොහොසත් වී ඇත. වර්ථාවන තොරතුරු අනුව, යම් කාන්තාවන් පුද්ගලයන් හා ක්ෂ්‍රද්‍ර මුල්‍ය ආයතන 10 ක් පමණ නිශ්චිත කාලපරාසයක් තුල ණය ලබාගත් අවස්ථා ඇත. බොහෝවිට ණය ගෙවීම සඳහා, විවිධ අවස්ථාවල ණය ලබාගැනීම සිදුකර ඇත. බොහොමයක් කාන්තාවන් තම අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය පසුවන අතර, තමන් හසුවී සිටින ණය උගලෙන් ගැලවීම සඳහා වු නිශ්චිත අදහසක් නොමැත.

කාන්තාවන් ක්ෂ්‍රද්‍රමුල්‍ය ආයතන මඟින් ණය ලබාගැනීම සඳහා වැඩි ප්‍රවේශයක් ඇතිවීමට විවිධ හේතුන් බලපා ඇත.

ඉන් ප්‍රධාන වන්නේ , විධිමත් ආයතන වලින් ණය ලබාගැනීමට ඇති ප්‍රවේශ අවස්ථා අවම විමයි. සම්ප්‍රදායික බැංකු මඟින් ලබා ගැනීමේදි ඉල්ලා සිටින දේපළ ඇප, ඇපකරුවන් හෝ වැටුප් වාර්ථා ලබාදීමට මෙම කාන්තාවන්ට බොහොමයකට අවස්ථාව නොමැත. මෙම හේතුව නිසාම , බොහෝ කාන්තාවන් එවැනි, ඇප ඉල්ලා නොසිටන , මුල්‍ය ආයතන, සමුපකාර බැංකු, සමෘද්ධි බැංකු ,විවිධ කාන්තා එකතුන්, පොලී මුදලාලි වැනි පුද්ගලයින් හා ආයතන වෙත ප්‍රවේශ වෙයි. එමෙන්ම බොහෝවිට මෙම ක්ෂ්‍රද්‍ර මුල්‍ය ආයතනවල නියෝජිතයින් කාන්තාවන්ගේ නිවසටම පැමිණ ණය ලබාදීම සිදුකරයි.

කදුලු ඔයා (කඳුළු ප්‍රවාහය) යනු ක්ෂුද්‍ර ණය වංචාවන්ට ගොදුරු වූ කාන්තා ගොවීන් පිළිබඳ වාර්තා චිත්‍රපටයකි. වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ මිලියන 2.8 ක ජනතාවක් (කාන්තාවන් මිලියන 2.4 ක්) විවිධ සමාගම් වලින් ක්ෂුද්‍ර ණය ලබාගෙන ඇති අතර ඒවා බොහෝ දුරට නියාමනය කර නොමැත.

ක්ෂ්‍රද්‍රමුල්‍ය ණය ගැටළු, හුදු කුටුම්භයක ගැටලුවක් නොව, සමස්ත වශයෙන් බහුතරයකට බලපාන සමාජ අර්බුයක් දක්වා වර්ධනය වී ඇත.

කාන්තාවන් 200 අධික පිරිසක් සියදිවි නසාගැනීම මෙම අර්බුයේ තරම පෙන්නුම් කරයි. ද්‍රරිතාවය ණය ලබැගැනීමට පෙළඹන ප්‍රමුඛ සාධකය වන අතරම , ගෘහ පාලනය හා ආර්ථික කළමණාකරනය මෙන්ම පාරිභෝජනවාදි සමාජක්‍රමය තුල වෙනස්වන ජිවන රටාවද, මුල්‍ය ආයතන කීපයකින් එකවර ණය ලබාගැනීමට පෙළඹවීමට හේතුන් ලෙස දැකිය හැකිය .

මෙම තත්වය ආර්ථික හා සමාජ අර්බුදය ගණානවත් ඇතිකර ඇත. බොහෝවිට පවුලේ කාන්තාව මෙම අවිධිමත් අංශ මඟින් ණය ලබාගැනීමට යොමුවන අතර, ක්ෂුද්‍ර මුල්‍ය ආයතනය ද කාන්තාව ඉල්ක්ක කර තම ප්‍රචාරණය සිදුකරයි. පවුලෙහි පිරිමියාගේ අනුදැනුමෙන් තොරව ඔහුට නොදන්වා , කාන්තාව විසින් ණය ලබාගත් අවස්ථාවන්ද බහුලව දක්නට ඇත.

මෙම ණය සඳහා අධික පොළියක් ගෙවීමට සිදුවීම නිසා පවුලේ ආර්ථිකයට සෘජුවම මෙය බලපායි. බොහෝවිට ආයෝජන නොව පාරිභෝජන අවස්ථා සඳහා ණය ලබාගන්නා නිසා, ණය ආපසු ගෙවීම, පවුලේ ආදායම තුලින් කල නොහැක. එවිට ණය ගෙවීම සඳහා තවත් අවිධිමත් අංශයකින් ණය ලබාගැනීම සිදුකරයි. ක්‍රමක්ක්‍රමයෙන් කාන්තාව ණය චක්‍රයක සිරවී, සදාකාලක ණය කරුවකු බවට පත්වේ.

එමෙන්ම බොහෝවිට, මුල්‍ය ආයතන ණය පොලි එකතුකිරිමට, නියොජිතයන් යොදවා ඇති අතර, ඔවුන් නිශ්විත දිනයන් වල ණය පොළි ලබා ගැනීමට ණය ලාභින් වෙත පැමිණේ. ණය ලබාදිමට නොහැකි වු අවස්ථවල තර්ජනය කිරිම , බිය වැද්දීම් සිදුවී ඇති අතර, ණය සඳහා හිලවී වීමට නිවසෙහි දේපළ රැගෙන යාමද වාර්ථා වී ඇත.

එපමණක් නොව, ණය ගෙවා ගැනීමට නොහැකි වීම මත , නිවසෙහි කාන්තාවන් , මුල්‍ය ආයතන නියෝජිතය ලිංගික අල්ලස් ලබාදිම මෙන්ම නියෝජතයින් බලහත්කාර ලෙස කාන්තාවන්ගේ ලිංගික අල්ලස් ලබාගැනිම්ද වාර්ථා වී ඇත.

මෙම තත්ත්වය ආර්ථික හා සමාජිය වශයෙන් බරපතල අර්බුධයන් නිර්මාණය කර ඇත. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයහි කාන්තා ක්‍රියාකාරිත්වය, උතුරු, නැගෙනහිර හා දකුණේ කාන්තවන්ගේ සමාජ, ආර්ථික සංස්කෘතික හා දේශපාලනික තත්වයන් පිළිබඳ කරන ලද අධ්‍යනය තුලින් හඳුනාගත් ගැටලු අතර, කාන්තාවන් ක්ෂුද්‍ර මුල්‍ය ණය උගුලේ හසුවී සිටිම ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනා ගන්නා ලදි. ඒ අනුව හඳුනාගත් ප්‍රධාන ගැටලු, ක්ෂුද්‍ර මුල්‍ය ණය ගැටලුව ඇතුළුව අන්තර්ගත කොට, කාන්තා බලපෑම් සංකල්ප ලියවිල්ලක් සකසා ඇති අතර, එය පිළිබඳ පුළුල් සංවාදයක් ආරම්භ කර ඇත. මෙම ලියවිල්ල, තොරගත් ප්‍රතිපත්ති තීරකයින්ට දැනටමත් ලබාදී ඇති අතර, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය මැදිහත්වීමෙන් සංවිධානය කරන ලෝක කාන්තා දින සැමරුම (2021 මාර්තු 25) හරහා ජාතික වශයෙන් සංවාදයට ලක්කිරිමට හා වර්ථමාන රජය නියෝජනය කරන ප්‍රතිපත්ති තීරකයින්ට එම ලියවිල්ල භාරදීමට සැලසුම් කර ඇත.

මෙම ප්‍රතිපත්ති ලියවිල්ල තුලින් කාන්තාවගේ ණයබර විසඳිම සඳහා යෝජනා ගණනාවක් රජයට ඉදිරිපත් කරයි. ඒ අනුව පහත සඳහන් යෝජනා

කාන්තාවන් ණය ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා රජයට ඉදිරිපත් කරන කරයි.

  • කාන්තාවන්ගේ ආර්ථීක දුෂ්කරතා මත ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් විශාල ලෙස ණය ලබාගෙන ඇති අතර ඒවා ගෙවාගැනීමට අපහසුතාවයෙන් අසරණව ඇතග කොරෝනා තත්ත්වය මත ඇති වත්මන් ආර්ථීක අභියෝග හමුවේ කාන්තාවන් ලබා ගත් ණය ආපසු ගෙවීමට නොහැකියාව තවත් උග්‍රව ඇත. ඒ අනුව කාන්තාවන් ක්‍ෂුද්‍ර මුල්‍ය ආයතන මඟින් ලබාගෙන ඇති ණය පූර්ණ ලෙස කපාහැර කාන්තාවන් ණය බරින් මුදවා ගැනීමට ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිතුමා ලබා දුන් පොරොන්දුව ඉටුකිරීමට පියවර ගැනීම.
  • ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන තමන් විසින් ගොඩනගා ගත් ක්‍රමවේද මත පිහිටා ණය නිකුත් කරයිග එය සාධාරණ තත්වයක් නොවන අතර ඊට රජය මැදිහත්ව සාධාරණ පොළී අනුපාතයක් මත විධිමත් ණය නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීම.
  • විවිධ ආයෝජන සඳහා කාන්තාවන් ණය ලබා ගත්ත ද බොහෝ විට එම ණය පාරිභෝජන අවශ්‍යතා සඳහා භාවිත කරයි. මෙම තත්ත්වය ණය වාරික ආපසු ගෙවීම නොහැකි වීමට ප්‍රධාන සාධකයකි. ඒ අනුව රාජ්‍ය යාන්ත්‍රණය හා ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන ඒකාබද්ධව ණය භාවිතා කිරීම පිළිබඳව අධීක්‍ෂණ ක්‍රියාවලියක් සැකසීමට වහා පියවර ගැනීම.
  • ග්‍රාමීය කාන්තාවන් විධිමත් බැංකු මඟින් ණය ලබා ගැනීමට යොමු නොවීමට ප්‍රධාන හේතුව වන්නේ විධිමත් බැංකු ණය නිකුත් කිරීමේදී විවිධ ලිපි ලේඛන සම්පූර්ණ කිරීමට හා ඇප කොන්දේසි සපුරාලීම මඟින් කාන්තාවන් අපහසුතාවයට පත් කිරීමයි. ඒ අනුව සරල ක්‍රමවේද තුළින් විධිමත් බැංකු ක්‍රමවේදයක් මඟින් කාන්තාවන්ට සුවිශේෂී වන ණය ලබා ගැනීමට හැකි ක්‍රියාවලියක් හඳුන්වා දීම.
  • සියලුම ක්‍ෂුද්‍ර මුල්‍ය ආයතන මහ බැංකුවේ ලියාපදිංචිය අනිවාර්යය කිරීමත්, ඒ තුළ ජනතාවගේ තැම්පතු සඳහා ආරක්‍ෂණයක් ඇති කිරීම මෙන්ම ක්‍ෂුද්‍ර මුල්‍ය ආයතන විධිමත් ලෙස නියාමනය කිරීම හා සාධාරණ ණය පොලී අනුපාත නියම කිරීම.
  • ණය ගිවිසුම් පිළිබඳ සාමාන්‍ය ජනතාවටල විශේෂයෙන් කාන්තාවන්ට අවබෝධය අවම බැවින් ණය ගිවිසුම් පිළිබඳව කාන්තාවන් පූර්ව දැනුවත් කිරීමත්, ණය ගිවිසුම් පිටපත් අදාළ භාෂා මාධ්‍යයෙන් ලබාදී අවබෝධයක් ලබාදීම. (සිංහල/දෙම)
  • රජය විසින් ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන වෙත නිකුත් කරන කොන්දේසී කඩ කරන ආයතනවල බලපත්‍ර අහෝසි කිරීමට රජය පියවර ගැනීම.
  • ජනතාවගේ ගිණුම් වල ඇති මුදල් ක්ෂූද්‍ර මුල්‍ය සමාගම් බදු ලෙස අයකරගැනීම වැලැක්වීමට පියවර ගැනීම ට විශේෂ අවධානයක් යොමුකල යුතුය.
  • ක්‍ෂුද්‍ර මුල්‍ය ණය වින්දිතයින්ට එරෙහිව ගන්නා සියලු නීති ක්‍රියාමාර්ග නැවැතැන්වීම සඳහා කඩිනම් පියවර ගැනීම.
  • ක්‍ෂුද්‍ර මුල්‍ය ණය වින්දිතයන්ගේ අසාදූ (ක්‍රිබි) ලේඛණයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.
  • සියලු ක්‍ෂුද්‍ර මුල්‍ය ණය අහෝසි කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීම.

ඒ අනුව මෙම කාන්තා බලපෑම් ලියවිල්ල සමාජගත කරන්නටත්, ඒ අනුව ක්ෂුද්‍ර මුල්‍ය ණය ගැටළු සඳහා රජයේ අවධානය යොමුකරවීමට ක්‍රියා කරන අතරම , අනෙකුත් සිවිල් සංවිධාන සමඟ අත්වැල් බැදගනිමින්, හිගුරක්ගොඩින් ආරම්භ කල ජනතා මැදිහත්වීම තවදුරටත් පුලුල් කරමින් දීප ව්‍යාප්ත බලපෑම් ක්‍රියවලියන් සංවිධානය කිරිමට සැලසුම් කර ඇත. මේ සියල්ල හරහා ක්ෂුද්‍ර මුල්‍ය ණය උගුලේ හිරවී ඇති ග්‍රාමිය දිළිදු ජනතාව , විශේයෙන්ම කාන්තාව මුදවා ගැනීමට, රාජ්‍ය යන්ත්‍රණය මැදිහත් වු, විධීමත් වැඩපිළිවලත් ඇතිකිරිම අපෙක්ෂා කරයි.

ජාතික ධීවර සහයා්ගිතා ව්‍යාපාරයේ , ධීවර කාන්තා සම්මේලනය විසින් නිකුත් කරන ලදී.

– 25 -03 -2021

Archive

Latest news

Related news