Monday, May 20, 2024

නඩු නොවිිමසා සැකකරුවන් පුනරුත්ථාපනයට යවන නීතියක් ජනාධිපති රාජපක්ෂ පනවයි

ඡායාරූපය: බාරවූ එල්ටීටීඊ සාමාජිකයින් සඳහා පවත්වා ගෙන ගිය ගුවන් හමුදා පුනරුත්ථාපන කඳවුරක්. (2011)

ප්‍රචණ්ඩ ක්‍රියා හෝ ආගමික, වාර්ගික හෝ වාර්ගික අසමගිය ඇති කිරීමට හේතු වූ හෝ සැක කිරීමට සැකපිට යටත් වන හෝ අත්අඩංගුවට ගන්නා ඕනෑම පුද්ගලයෙකු නඩු නොවිමසා පුනරුත්ථාපන කදවුරකට යැවිමට බලය පැවරෙන ගැසට් නිවේදනයක් ජනාධිපති රාජපක්ෂ විසින් නිකුත් කර තිබේ.

එහි මෙසේ සඳහන් වේ. 

“භාරවන්නකු හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තකු සිදු කරන ලද වරදේ ස්වභාවය අනුව එකී තැනැත්තාට එරෙහිව නඩු පැවරීමට විකල්පයක් වශයෙන් ඔහු මධ්‍යස්ථානයක් තුළ පුනරුත්ථාපනයට ලක් කිරීම සුදුසු බව නීතිපතිවරයාගේ මතය වන විට, නීතිපතිවරයාගේ ලිඛිත අනුමතය සමග එකී භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතු ය. එකී භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා 3 වන නියෝගයේ සඳහන් වැරදිවලට අමතරව වෙනත් වැරදි සිදුකර ඇත්ද යන කාරණය පිළිබඳව සලකා බැලීමෙන් පසුව එකී තැනැත්තා වසරකට නොවැඩි කාලයක් පුනරුත්ථාපනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ හැකි ය.”

සම්පූර්ණ ගැසට් නිවේදනය පහත පළවේ..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවේ () ඡේදය සමග කියවිය යුතු 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 27 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදනු ලබන නියෝග.

ගෝඨාභය රාජපක්‍ෂ,

ජනාධිපති.

2021 මාර්තු මස 09 වැනි දින,

කොළඹ දී ය.

නියෝග

1. මෙම නියෝග 2021 අංක 01 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීමේ) නියෝග ලෙස හඳුන්වනු ලැබේ.

2. මේ නියෝගවල අරමුණ, මෙම නියෝග ක්‍රියාත්මක වීමෙන් පසු, කියනු ලබන නැතහොත් කියවීමට අදහස් කරනු ලැබූ වචන මගින් හෝ සංඥා මගින් හෝ දෘශ්‍ය නියෝජන මගින් හෝ අන්‍යාකාරයෙන් සාහසික ක්‍රියා හෝ විවිධ ජන කොටස් නැතහොත් වර්ගීය හෝ ආගමික කණ්ඩායම් අතර ආගමික, වර්ගීය නැතහොත් ජාතිවාදී අසංගතිය නැතහොත් දුර්වේතනික හෝ එදිරිවාදී හැඟීම් ඇතිවීමට සලස්වන්නා වූ හෝ ඇතිවීමට සැලැස්වීමට අදහස් කරන්නා වූ හෝ තැනැත්තකු ලෙස සැක කරන යම් තැනැත්තකු භාරවන හෝ අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවක දී ඒ තැනැත්තා සම්බන්ධයෙන් පනතේ විධිවිධාන අනුව කටයුතු කරනු ලබන බවට සහ මේ නියෝග ක්‍රියාත්මක වීමට පෙරාතුව යම් වේලාවක බලාත්මක පැවති යම් හදිසි අවස්ථා නියෝගයක් ප්‍රකාරව භාරවන ලද හෝ අත්අඩංගුවට ගනු ලැබූ තැනැත්තන් මේ නියෝග ප්‍රකාරව, ඔවුන් විසින් කලින් භුක්ති විඳින ලද රැකවරණය සහ ආරක්ෂාව ම භුක්ති විඳිනු ලබන බවට ද සහතික වීම වන්නේ ය.

3. යම් පොලිස් නිලධරයෙකුට හෝ සන්නද්ධ හමුදාවල යම් සාමාජිකයෙකුට හෝ යම් රජයේ නිලධරයෙකුට හෝ ජනාධිපතිවරයා විසින් නියමයක් මගින් බලය පවරන ලද වෙනත් යම් තැනැත්තෙකුට හෝ පුද්ගල මණ්ඩලයකට හෝ,

() පනතේ හෝ 2019 මැයි මස 13 වන දිනැති අංක 2123/3 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ පළකරන ලද 2019 අංක 1 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (අන්තවාදී සංවිධාන තහනම් කිරීමේ) නියෝග යටතේ වරදක් සම්බන්ධයෙන් භාරවන, එකී යම් නිලධරයකු හෝ යම් තැනැත්තකු හෝ පුද්ගල මණ්ඩලයක් විසින් හෝ අත්අඩංගුවට ගනු ලබන හෝ අත්අඩංගුවට ගනු ලැබ ඇති  හෝ

() 2019 අප්‍රේල් මස 22 වන දිනැති අංක 2120/5 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2019 අංක 1 දරන හදිසි අවස්ථා (විවිධ විධිවිධාන හා බලතල) නියෝග යටතේ වූ වරදක් සම්බන්ධයෙන් භාර වී ඇති, හෝ එකී යම් නිලධරයකු හෝ යම් තැනැත්තකු හෝ පුද්ගල මණ්ඩලයක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති, යම් තැනැත්තකු මේ නියෝගවල විධිවිධාන ප්‍රකාරව පුනරුත්ථාපන ක්‍රියාවලියක් සඳහා යොමු කළ හැකි ය.

4. භාරවන්නන් සහ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තන් පුනරුත්ථාපනය කිරීමේ කාර්ය සඳහා (මෙහි මින් මතු මධ්‍යස්ථානය” යනුවෙන් සඳහන් කරනු ලබන) “ඒකාබද්ධතා මධ්‍යස්ථාන” යනුවෙන් හැඳින්විය යුතු මධ්‍යස්ථාන අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්, කලින් කල අනුමත කළ යුතු අතර එසේ අනුමත කිරීමෙන් පසුව, පුනරුත්ථාපන කොමසාරිස්ජනරාල්වරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින්, ලේකම්වරයා විසින් අනුමත කරන ලද මධ්‍යස්ථාන වර්ගයද, එකී මධ්‍යස්ථානය පිහිටුවනු ලබන ස්ථානය ද නිශ්චිතව සඳහන් කළ යුතු වේ.

5. (1) 3 වන නියෝගය ප්‍රකාරව පොලිස් නිලධාරියකු නොවන යම් තැනැත්තකු වෙත භාර වන හෝ අත්අඩංගුවට ගනු ලබන යම් තැනැත්තකු, ඔහු විසින් එකී භාරවීම හෝ අත්අඩංගුවට ගැනීම සිදු වී පැය විසි හතරක් ඇතුළත එකී භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලැබූ තැනැත්තා ආසන්නතම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වෙත භාර දිය යුතු ය.

(2) 3 වන නියෝගයේ කුමක් සඳහන් වුව ද, භාරවන්නකු හෝ අත්අඩංගුවට ගනු ලැබූ තැනැත්තකු 3 වන නියෝගයේ සඳහන් වරදක් සිදුකර ඇති බවට සැක කිරීමට සාධාරණ හේතු ඇති අවස්ථාවකදී ඒ භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලැබූ තැනැත්තා රඳවා තබාගෙන ඇති පොලිස් ස්ථානයේ ස්ථානාධිපති විසින් එකී භාරවූ තැනැත්තා හෝ රඳවා තබාගනු ලැබූ තැනැත්තා විමර්ශන සිදුකිරීමේ කාර්ය සඳහා පනතේ 9 වන වගන්තිය ප්‍රකාරව රඳවා තබාගත යුතු ද යන්න පිළිබඳ සළකා බැලීම පිණිස අමාත්‍යවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

(3) එකී විමර්ශනය අතරතුරදී 3 වන නියෝගයේ නිශ්චිතව සඳහන් වරදක් එකී තැනැත්තා විසින් සිදුකර ඇති බව අනාවරණය වන්නේ නම්, නීතිය ප්‍රකාරව නිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එකී කාරණය නීතිපතිවරයා වෙත යොමු කළ යුතු ය.

(4) භාරවන්නකු හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තකු සිදු කරන ලද වරදේ ස්වභාවය අනුව එකී තැනැත්තාට එරෙහිව නඩු පැවරීමට විකල්පයක් වශයෙන් ඔහු මධ්‍යස්ථානයක් තුළ පුනරුත්ථාපනයට ලක් කිරීම සුදුසු බව නීතිපතිවරයාගේ මතය වන විට, නීතිපතිවරයාගේ ලිඛිත අනුමතය සමග එකී භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතු ය. එකී භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා 3 වන නියෝගයේ සඳහන් වැරදිවලට අමතරව වෙනත් වැරදි සිදුකර ඇත්ද යන කාරණය පිළිබඳව සලකා බැලීමෙන් පසුව එකී තැනැත්තා වසරකට නොවැඩි කාලයක් පුනරුත්ථාපනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ හැකි ය.

6. (1) 5 වන නියෝගයේ (4) වන උපනියෝගය යටතේ මහේස්ත්‍රාත්වරයකුගේ නියෝගයක් මත පුනරුත්ථාපනයට යොමු කර ඇති භාරවන්නකු හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තෙක් පුනරුත්ථාපන වැඩසටහනට අහිතකර වන ආකාරයට හෝ මධ්‍යස්ථාන තුළ පුනරුත්ථාපනය වන අනෙකුත් භාරවූ හෝ අත්අඩංගුවට ගනු ලැබූ තැනැත්තන්ගේ අභිවෘද්ධියට අහිතකරවන ආකාරයට ක්‍රියාකළහොත් පුනරුත්ථාපන කොමසාරිස්ජනරාල්වරයා විසින් ඒ පිළිබඳව එම භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැන්තා පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමු කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීම කළ පොලිස් ස්ථානය භාර පොලිස් අධිකාරී වෙත ලිඛිතව දැන්විය යුතු ය.

(2) මේ නියෝගයේ (1) වන උප නියෝගය යටතේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයාගෙන් තොරතුරු ලැබීමෙන් පසු එකී භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා පුනරුත්ථාපනය කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා වෙත ඉල්ලීමක් කළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් පුනරුත්ථාපනය කිරීම සඳහා නිකුත් කළ නියෝගය අවලංගු කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා වෙත ඉල්ලීමක් කළ යුතු අතර එකී තැනැත්තාව පුනරුත්ථාපනය කිරීම සඳහා නියෝග කරනු ලැබූ වරද සම්බන්ධව පුනරුත්ථාපනය වෙනුවට නඩු විභාගයක් පැවැත්විය යුතු ද යන්න සළකා බැලීම සඳහා එකී කාරණය නීතිපතිවරයා වෙත යොමු කළ යුතු ය.

7. (1) භාරවන්නකු හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තකු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් 5 වන නියෝගයේ (4) වන උප නියෝගය යටතේ නිකුත් කරන ලද නියෝගයේ නිශ්චිතව සඳහන් පුනරුත්ථාපන කාල සීමාව අවසන් වූ පසුව එකී භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තාගේ පුනරුත්ථාපනයේ ස්වභාවය සහ ප්‍රගතිය සලකා බැලීමෙන් පසු එම භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා නිදහස් කිරීම හෝ වැඩිදුර කාල පරිච්ඡේදයක් පුනරුත්ථාපනය කිරීම යෝග්‍ය ද යන්න පුනරුත්ථාපන කොමසාරිස්ජනරාල්වරයා විසින් සලකා බැලිය යුතු අතර තම නිර්දේශ දක්වමින් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත වහා වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය. ලේකම්වරයා විසින් එම වාර්තාව වහාම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

(2) මේ නියෝගයේ (1) වන උප නියෝගය යටතේ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද වාර්තාව පරීක්ෂා කර බැලීමෙන් පසුව අමාත්‍යරවයා විසින්, () එකී භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා මුදා හැරීමට නියම කරනු ලැබිය හැකිය. නැතහොත්, () පුනරුත්ථාපන කාලපරිච්ඡේදය, වරකට මාස හයක කාලපරිච්ඡේදයකට දීර්ඝ කළ හැකි ය. කෙසේ වුවද, ඒ දීර්ඝ කිරීම්වල මුළු කාල පරිච්ඡේදය තවදුරටත් වූ මාස දොළහක් නොඉක්මවිය යුතු ය. ඒ එක් එක් දීර්ඝ කිරීම පුනරුත්ථාපනය කොමසාරිස්ජනරාල්වරයාගේ නිර්දේශය මත කරනු ලැබිය යුතු ය.

(3) දීර්ඝ කරන ලද පුනරුත්ථාපන කාලපරිච්ඡේදය අවසානයේ දී භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා මුදා හරිනු ලැබිය යුතු ය.

8. (1) පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා එම මධ්‍යස්ථානයේ රැඳී සිටින කාලය තුළ දී ප්‍රජාවට සහ සමාජය තුළට යළි ඒකාබද්ධ කිරීම සඳහා පහසුකම් සැලැස්වීම පිණිස ඒ තැනැත්තාට මනෝසාමාජික සහාය සහ වෘත්තීය සහ වෙනත් පුහුණු ලබා දීමේ කාර්යය පුනරුත්ථාපන කොමසාරිස්ජනරාල්වරයා විසින් කළ යුතු ය.

(2) පුනරුත්ථාපන කොමසාරිස්ජනරාල්වරයා විසින්, පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත භාර දෙනු ලබන භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා එලෙස ඔහු වෙත භාර දෙනු ලැබූ දිනයේ සිට සෑම මාස තුනකට වරක්ම ඒ භාරදෙනු ලැබූ තැනැත්තා සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ පුනරුත්ථාපන ක්‍රියාවලියේ ස්වභාවය හා ප්‍රගතිය දක්වමින් අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. ලේකම්වරයා විසින් එකී වාර්තාව අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

(3) මධ්‍යස්ථානයකට යොමු කරනු ලැබූ භාරවන්නකුට හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තකුට මධ්‍යස්ථානය භාරව සිටින නිලධරයාගේ අවසරය ඇතිව, සෑම සති දෙකකට එක් වරක් අවස්ථාවෝචිත පරිදි තම දෙමව්පියන්, ඥාතීන් හෝ භාරකරු හමුවිය හැකි ය.

9. මේ නියෝගවල කාර්ය සඳහා – “පනත” යන්නෙන්, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අදහස් වේ.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා” යන්නෙන්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබූ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා අදහස් වේ.

අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා” යන්නෙන්, 3 වන නියෝගය යටතේ අත්අඩංගුවට ගනු ලබන හෝ අත් අඩංගුවට ගනු ලැබ ඇති තැනැත්තකු අදහස් වේ.

අමාත්‍යවරයා” යන්නෙන්, ආරක්ෂාව පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයා අදහස් වේ.

භාරවන්නා” යන්නෙන්, 3 වන නියෝගය යටතේ භාරවන හෝ භාරවී ඇති තැනැත්තකු අදහස් වේ.

පීඩිඑෆ් ගොනුවක් ලෙස PTA rehabilitation gazatte 2218-68_S

Archive

Latest news

Related news