Monday, May 20, 2024

ගම සමඟ පිළිසඳර: “මං පේල් නැහැ” – සුනන්ද දේශප්‍රිය

ඡායරූපය: ජනාධිපති ගිරිබාවට ගියා වගේ!

ජනාධිපති රාජපක්ෂ ගිරිබාව ගම සමඟ පිලිසඳරට ගියේ විශාල වාර්තාවක් ද රැගෙනය. එම වාර්තාව මේසය උඩ තබා ගෙන ඔහු කීවේ තමා පේල් නැති බවයි. සමහර විට නොදන්න‌ා අයෙක් ඒ් මේසය උඩ තිබෙන්නට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ රිපෝට් කාඩ් එකය කියා සිතන්නටත් ඉඩ තිබුණි.

දේශපාලන හාස්‍යට තොතැන්නක් බවට පත්ව ඇති සමාජ මාධ්‍යයෙහි එකී ගිරිබාව පිළිසඳර ගැන සංසරණය වූ එක් විහිළුවක මෙසේ කියැවුණි:

බුවා දැන් එන්නේ ගමේ උන්ගේ ප්‍රශ්න අහන්න නොවෙයි; පොරට තියෙන ප්‍රශ්ණ ගමේ උන්ට කියන්න.”

ගෝඨාභය ආරක්ෂක ඇමැතිව සිටි අවදියේ ඔහු ජෝක් වුණේ නැත. හැමෝම හිටියේ ඔහුට බියෙනි. ඒ බිය දැන් විහිළුවක් බවට පත්ව දිනපතාම ඔහු සමාජ මාධ්‍යයෙහි ජෝක් වෙයි. ඔහු ගැන අපූරු යාං හෑලි පවා දැන් සංසරණය වෙයි.

සමාජ මාධ්‍යයෙහි ජෝක් වීමට වඩා ජනාධිපති රාජපක්ෂගේ ලොකුම පේල්වීම තිබෙන්නේ සමාජ දේශපාලන ක්ෂේත්‍රයේය.

එන්නතෙන් පේල්

නිකමට කොවිඩ් එන්නත් ලබාදීම දෙස බලන්න. එය අසමත් බවක ළකුණක් නොවේ යැයි කිව හැකි අයෙක් වෙත්ද? සමස්ත සෞඛ්‍ය සේවයම එහි නියෝජිතායතන හරහා ඒ බව ප්‍රකාශ කර තිබේ. එන්නත ලබාදිමේ කිසිම ක්‍රමවේදයක් පිහිටුවීමට රාජපක්ෂගේ කෝවිඩ් කාර්ය සාධක බලකාය අසමත් වී තිබෙන බව නොදන්නා කෙනෙක් නැත. ඒ අසමත් බව යුද හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වාට ද අදාළය.

එන්නත් ලබාදීම පිළිබඳ කාර්යක්ෂම අත්දැකීම් සහිත මෙරට සෞඛ්‍ය සේවයට එම කාරිය බාර දුන්නේ නම් නිසි පිළිවෙළකට එය සිදුවන්නට තිබුණි. දැන් ඇත්තටම කියන්නේ නම් එන්නත් ලබාදීම ගැන කියලා වැඩක් නැති බව රටේ ජනයා දනිති.

හමුදාකරණයෙන් පේල්

කොව්ඩ් වසංගතය රටපුරා දරුණූ ලෙසම පැතිර ගියේ එය මර්දනය කිරීමටයැයි කියා යුද හමුදා මේජර් ජෙනරල්වරුන් විසිපස් දෙනෙකුම සෑම දිසාවකටම පත් කිරීමෙන් පසුය. දැන් ඒ මේජර් ජෙනරල්ලාගේ කාරිය ගැන අහන්නටවත් නැත.

ගෝඨාභය විසින් පත්කරන ලද එක් ජෙනරල් අමාත්‍යාංශ ලේකම්වරයකු සද්දයක් බද්දදයක් නැතිව පසුදා ඉවත් කරන ලද්දේ ඔහුගේම ඇමැතිවරයකු විසිනි. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයාය.

වරායට සහ රේගුවට පත් කරන ලද ජෙනරල්වරුන් දෙදෙනාද උග්‍ර විවේචනයන්ට හසුව තිබේ. ආර්ථික වශයෙන් ඉතාම වැදගත් එම ආයතන දෙකෙහි කිසිදු කැපී පෙනෙන දියුණුවක් ඇති කිරීමට මෙ ජෙනරල්වරුන් දොදෙනා සමත්ව නැත.

කැකිල්ලේ කොමිසමෙන් පේල්

ජනාධිපති රාජපක්ෂගේ ලොකුවටම පේල් වීම තිබෙන්නේ පළිගැනීම් කොමිසමෙනි. පාස්කු කොමිසම මෙන් නොව පළිගැනීම් කොමිසම පත් කලේ සිරිසේන නොව ගෝඨාභයය.

එයට පත්කළ කොමසාරිස්වරුන් දෙදෙනෙකුම කෙරෙහි ගෝඨාභ්‍ය කොතරම් ඇල්මක් දක්වන්නේ ද යත් ඒ දෙදෙනාටම පළිගැනීම් වාර්තාවෙන් පසු නව තනතුරු දෙකක්ද දුන්නේය. එහි සභාපති වූ උපාලි අබේරත්නට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය බාර දුන් අතර චන්ද්‍රා ප්‍රනාන්දුට පොලිස් කොමිසම බාර දුන්නේය.

දැන් මේ දෙදනාද ඇතුළුව කොමිසමේ සාමාජිකයින් තිදෙනාටම විරුද්ධව නීති සහ දේශපාලන ක්ෂේත්‍රයෙන් බරපතල චෝදනා එල්ල වී තිබේ.

මෙම කොමිසාරිස්වරුන් තිදෙනා අධිකරණයට අපහාස කර ඇති බව කියා මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ ජනතා නීතිඥයෝ සංවිධානයෙනි.

දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය පියවර ගන්නැයි ඔවුහු සිය පෙත්සමින් ඉල්ලා සිටියහ. ඒ මාර්තු 01දාය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවෙහි නිර්දේශ එයට අදාළ අංක 2157/44 දරණ අති විශේෂ ගැසට් පත්‍රය ලබා දෙන ලද බලාධිකාරයට අයත් නැති බවට ඔව්හු සිය පැමිණල්ල මගින් තර්ක කර තිබේ.

අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන් දොළොස් දෙනෙකු එම සංගමයේ ලේකම්වරයාට ලිපියක් යවමින් කියා සිටියේ දේශපාලන පළිගැනීම් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන දැනට මාධ්‍ය මගින් හෙළිකරන ලද තොරතුරු අනුව එය රටේ නීතියේ පාලනය අවතක්සේරු කර ඇති බවත්, අධිකරණයේ ස්වාධීනත්වය දුර්වල කර ඇති බවත්, නීතිපති දෙපාර්තමේන්තුවේ විධිමත් සහ අපක්ෂපාතී රාජකාරිය ඛාදනය කර ඇති බවත්ය.

කොමිසම ඉදිරියේ කටයුතු සිදුවූ ආකාරය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සහිතව කොමිසම ජනාධිපතිවරයාට ලබා දුන් වාර්තාවේ සහතික කළ පිටපතක් ජනාධිපති ලේකම්වරයාගෙන් ලබා ගන්නා ලෙසත් එය තමන් ඇතුළු සියළු නීතිඥ සංගම් සාමාජිකයන්ට පරිශීලනය සඳහා ලබා දෙන ලෙසත් ඔවුහු නීතිඥ සංගම් ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියහ.

මෙම ලිපියට අත්සන් කරන ලද නීතිඥයින් අතර ආන්ඩුවේ මංත්‍රීවරයකු වන ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ ව්‍යවස්ථා සම්පාදක විද්වත් මණ්ඩලයේ ප්‍රධානී ජනාධිපති නීතිඥ රොමේශ් සිල්වා ද වෙති.

අනතුරුව දිර්ඝ කරුණු දැක්වීමක් සහිත ලිපියක් අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයට යවමින් විපක්ෂයේ මංත්‍රීවරුන් සහ මංත්‍රීවරියන් 40 දෙනෙකු මෙසේ ඉල්ලා සිටියහ.

() ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම උඩ එම උපාලි අබේරත්න, චන්ද්‍රසිරි ජයතිලක සහ චන්ද්‍ර ප්‍රනාන්දු යන එම කොමිසමේ කොමසාරිස්වරුන් සම්බන්ධයෙන් පියවර ගන්න.

() ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතියේ නීතිඥයින්ගේ ලැයිස්තුවෙන් උපාලි අබේරත්න සහ චන්ද්‍රසිරි ජයතිලකගේ නම් ඉවත් කිරීමට නියෝග කරන්න.

() ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 () වගන්තිය යටතේ එම උපාලි අබයරත්න, චන්ද්‍ර ජයතිලකේ සහ චන්ද්‍ර ප්‍රනාන්දු යන අයට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයාට දන්වන්න.

එම ලිපිය මෙම කොමසාරිස්වරුන් තිදෙනා විසින් කර ඇති අත්තනෝමතික නිර්දේශයන් එකින් එක දක්වා තිබේ. ඒ මෙසේය:

    • නඩු විභාගයකට මුහුණ දී සිටින චූදිතයන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයෙන් නිදොස් කොට නිදහස් කළ යුතුය.

    • මහාධිකරණයේ හෝ විශේෂ මහාධිකරණ නඩු විභාගයකට මුහුණ දී සිටින චූදිතයන් නිදොස් කොට නිදහස් කළ යුතුය. නැත්නම් එම නඩු නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගත යුතුය.

    • මෙම චූදිතයන්ට එරෙහිව නඩු පැවරූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට, මෙම කරුණු සම්බන්ධයෙන් තම අදහස් ප්‍රකාශ කළ වෙනත් නීතිඥවරුන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 189 වන වගන්තිය යටතේ ව්‍යාජ සාක්ෂි ගොතන ලදැයි චෝදනා කර විමර්ශන කොමිෂන් සභාවට වාර්තා කළ යුතුය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට එම නිලධාරීන් පිළිබඳව වාර්තා කළ යුතුය.

    • දණ්ඩ නීති සංග්‍රහයේ 189 වන වගන්තිය යටතේ ව්‍යාජ සාක්ෂි සැකසීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කොට දූෂණ චෝදනා ලැබීමට අල්ලස් හා දූෂණ කොමිසමට වාර්තා කළ යුතුය.

    • නීතිපතිවරයා විසින් නඩුව නැවත විවෘත කර විත්තිකරු නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස නිර්දේශ කර ඇත.

    • අදාළ චූදිතයන්ට ශ්‍රී ලංකා රජය විසින් ප්‍රමාණවත් වන්දි ගෙවීම.

එපමණක් නොව ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රය මගින් ලබා දෙන ලද බලාධිකාරයට පිටින් සිදුවීම් 22ක් විමසා බලා ඇති හෙයින් එය රාජ්‍ය සම්පත් අවභාවිතයක් සේ සළකා පියවර ගන්නා සේ අල්ලස් දූෂණ කොමිසම වෙත තවත් පැමිණිල්ලක් ජනතා නීතිඥයෝ සංවිධානයේ නීතිවේදීන් විසින් පසුගිය අගහරුවාදා කරන ලදී.

ශ්‍රී ලංකාව විසින් බිහි කරන ලද ඉහළම පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකාවක වන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලේකම්වරියක සහ විශේෂ නියෝජිතවරියකද වූ අචාර්‍යි රධීකා කුමාරස්වාමි කියා සිටියේ, අධිකරණයක විබාග වෙමින් ඇති නඩු විබාග ඉලිලා අසකර ගන්නා ලෙස කොමිෂන් සභාවක් විසින් දෙන ලද ලෝකයේ එකම සහ ප්‍රථම නිර්දේශය එම කොමසාරිස් තුන්කට්ටුවේ වාර්තිව යි හැකි බවය.

ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද එකී පළිගැනීම් විමර්ශන කොමිසමේ වාර්තාව පමණක් නොව කොමසාරිස්වරුන්ද දැන් අධිකරණමය විනිශ්චයකට මුහුණ දිය යුතුය. =ය ලෝකයම බලා සිටින ලේසි පහසු විනිශ්චයක් නොවනු ඇත‍.

මම සමග පිළිසදර

තමා විසින් ආරම්භ කරන ලද මෙවැනි කටයුතු පේල්වීමක් ද පාස්වීමක් ද කියා ජනාධිපති රාජපක්ෂට දැන ගත හැක්කේ ගම සමඟ පිළිසදරකින් නොවේ. තමා සමඟ පිළිසඳරකිනි.

ජනාධිපති සිරිසේන විසින් පත් කරන ලද නමුත් රාජපක්ෂවරුන් විසින් තමන්ගේ බවට පත් කර ගන්නා ලද පාස්කු කොමිසමේ වාර්තාව ද රාජපක්ෂ ආන්ඩුවට උර චක්‍ර මාලයක් බවට පත් වෙමින් තිබේ.

එම වාර්තාව අනුව යමින් ජනාධිපති සිරිසේනට නඩු දැම්මොත් හවුල අවුල් වෙයි. නොදැම්මොත් අගරදගරු ජාත්‍යාන්තරයට යයි! රනිලුත් සජිතුත් ගොඩය!!

රණවිරු දඩයම උඩියටිකුරුවීම

රාජපක්ෂවරුන් විසින් සිරිසේනරනිල් ආන්ඩුවට එල්ල කරන ලද ලොකුම ප්‍රහාරය වූයේ රණවිරුවන් අත් අඩංඟුවට ගන්නේය යන්නයි. දැන් පාස්කු කොමිෂමේ වාර්තාව අනුව රාජපක්ෂවරුන්ට මෙරට බුද්ධි අංශ ප්‍රධානීන්ද ඇතුළු පොලිස් සේවයේ ඉහළම තනතුරු දැරෑ පිරිස් දං ගෙඩියට දැක්කවීමට සිදුවෙයි. මෙම පොලිස් නිලධාරීන්ද යුද සමයේ සේවය කළ අය වෙති. එවිට රණවිරු දඩයමට මොනවා වෙයිද?

පාස්කු ප්‍රහාරයට ඉහළ පෙලේ පොලිස් නිලධාරීන්ට නඩු පැවරිය හැකි නම් ත්‍රිකුණමලයෙහි දරැවන් ඝාතනය කල බවට චෝදනා ලබන නාවික ලොක්කන්ට නඩු පැවරිය නොහැක්කේ ඇයි? කාගේත් ජීවිතවලට ඇත්තේ එකම අයිතියකි.

සහරාන්ගේ බඩී කව්ද?

එපමණක්ම නොව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සැඟවීමට ක්‍රියා කරන්නේයැයි චෝදනාවක්ද රාජපක්ෂවරුන්ට විරුද්ධව ජන ගතවෙමින් තිබේ. රහස්‍යයැයි කියා පාස්කු වාර්තාවේ කොටස් ප්‍රසිද්ධ නොකිරීමටද රාජපක්ෂවරු තීරණය කර තිබේ. සහරාන්ට යුද්ධ හමුදා බුද්ධ් අංශ වැටුප් ගෙවූයේද යන ප්‍රශ්ණයට රාජපක්ෂවරු උත්තර දෙන්නේ ද නැත. සහරාන් සමඟ සබඳතා පැවැත් වූ බුද්ධි නිලධාරියා හෝ නිලධාරීන් කව්රුන්ද? ඔවුන් හා රාජපක්ෂවරුන් අතර සබඳතාවයක් වීද?

පාරදෘශය පරීක්ෂනයකින් මිස වාර්තාවේ වෙළුම් හමස් පෙට්ටියට දැමීමෙන් එම සැක සංකා දුරුකළ නොහැක. නීතිපති කාදිනල්වරයාට කියා ඇත්තේද සම්පූර්ණ වාර්තාව තමාට දෙන තුරු නීතිමය පියවර ගැනීමට නොහැකි බවයි.

ගිරිබාවේ මේසයෙ උඩ පාස්කු වාර්තාවෙන් කොටසක් තබා ගෙන ජනාධිපති රාජපක්ෂ තමන්ගේ ප්‍රශ්ණ ජනයාට කීම අරභයා කවරකු හෝ විසින් හෝ නිරිමානය කරන ලද මුලින් කී විහිළුවට වෙනත් කව්දෝ විහිළුවකින්ම පිළිතුරු බැඳ තිබුණි. ඒ මෙසේය:

පව්නේ සර්ගේ ප්‍රශ්ණ කියන්න සර්ට කව්රුවත් නැතුව ඇති. ඒකනේ ‘ගම තමයි පිළිසරණ’ එකට ඇවිත් අපට කියන්නේ”

පව් නේද?

Archive

Latest news

Related news