ලංකාවේ සමාජ ව්‍යාපාරයන් හී නියැලෙන බොහෝ ස්ත්‍රීහූ සොඳුරු ජීවන අත්දැකීම් වලට මුහුණ දුන් අය නොවෙති. ජීවිතයේ විවිධ හැලහැප්පීම් වලට, අත්දැකීම් වලට මුහුණ දෙමින්, ඒ හරහා ලැබූ පන්නරය හරහා තමන්ගේ සමාජ ස්ථාවරයන්, මතවාදයන්, සාදාගත් අය වෙති. සමහරු අධ්‍යාපනය අවියක් කරගනිමින් ඉදිරියට පැමිණි අතර, සමහරු දේශපාලන ව්‍යාපාරයන්ට ද, සමහරු දේශපාලන පක්ෂවලටද, සම්බන්ධව ක්‍රියාත්මක වේ. සමහරුන් විවාහ වී කුටුම්භයන්ට කොටු වී තමන් අත්දැකීමෙන් ලද පන්නරය සගවා ගනිමින් ජීවත් වේ. එහෙත් ඒ කිසිවෙක් මහා නගරයක හතරැස් ගමන් මල්ලක හිස සුන්ව සැගවී නොයයි.
ඇය විප්ලවවාදිනියක නොවේ. එහෙත් ඇය මේ සමාජයේ සමාජ සංවේදී ක්‍රියාවලියන්හී නිතර නියැලුනු බව ඇයගේ මුහුණු පොත තුළින් මතු වන, ඇය වෙනුවෙන් ඉදිරිපත්ව සටහන් තැබූ සටහන් වලින් පෙනේ.
ඇය නමින් දිලිනි යෙහන්සා ( විවිධ මාධ්‍යයන් විසින් ඇයගේ නම විවිධ අයුරින් සඳහන් කරන ලද නිසා ඇයගේ මුහුණු පොතෙන් ඇයම භාවිතා කරන ඇයගේ නම භාවිතා කරමි ) ඇයගේ මුහුණු පොතේ ඇය ජීවන තේමාව වශයෙන් සටහන්ව ඇත්තේ “ලොකු මිනිස්සු මට ලොකු නෑ. හොඳ මිනිස්සු මට ලොකු” යනුවෙනි. අවුරුදු 30 ක් වූ ඇයගේ මුහුණු පොතේ කවරය ලෙස ඇය පළ කර ඇත්තේ සජිත් ප්‍රේමදාස, චම්පික රණවක, එරන්ද වැලිංඅංගගේ වැනි පිරිසක් ගේ ඡායාරූප සහිත ඡායාරූපයකි. කුමන දේශපාලන මතයක් දැරුවද ඇය තමන්ගේ දේශපාලන මතය නොබියව ඉදිරිපත් කරන ළඳ බොළඳ දෙයින් මුහුණු පොත නොසැරසූ තරුණියකි. ඇයගේ දේශපාලන මතය හා අප එකග වුවද, නැතිව වුවද ඇය විසින් නොබියව ඒ අදහස් ඉදිරිපත් කර තිබෙන්නීය. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයන් වෙනුවෙන් විවිධ අවස්ථාවන්හිදී විවිධ පුද්ගලයන්ට සහයෝගය ලබාදී ඇත.
කුරුවිට උපන් ඇය, රත්නපුර කුරුවිට නාරද මධ්‍ය මහා විද්‍යාලයට හා කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත. සීතාවක හයිද්‍රාමනී ආයතනයේ රැකියාවක් කර ඇත. තරුණ සේවා සභාවේ ක්‍රියාකාරී සමාජිකාවක් වන ඇය, තරුණ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත් වී ඇත. 2018 ජූනි මස ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකාවේ තිරසර සාමය උදෙසා සංක්‍රාන්තික යුක්තිය විෂයෙහි තරුණ සහභාගිත්වය” යනුවෙන් වූ පුහුණු වැඩමළුුවකට සහභාගි වි ඇත. ඒ වසරේදීම ඇය යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. මුහුණු පොතේ තිබෙන කරුණු වලින් සහ ඇයගේ මිතුරු මිතුරියන් විසින් පවසා ඇති දෙයින් පැහැදිලි වන්නේ, ඇය ඉදිරිගාමී ප්‍රජා නායකත්වයකින් යුතු තරුණියක් බවයි. පිරිමියෙකු මෙන් ක්‍රියාකරනු ඇතැයි සමහරු කියා තිබුණි.
නායකත්වය සම්බන්ධයෙන් ද විශාල හැකියාවක්, තිබුණු බව ඇය ඒ තුළින් ලබාගත් අවස්ථාවන් ගැන ඇයගේම මිතුරු මිතුරියන් ලබා දි ඇති සම්මුඛ සාකච්ඡාවලින් පෙනේ. තරුණ කණ්ඩායම් එක්ව විවිධ සමාජීය, පාරිසරික ක්‍රියාකාරම් වල ද නියැලුනු බව පෙනේ. ගැටළුවකට මුහුණ දෙන ඕනෑම පුද්ගයෙකු වෙනුවෙන් තරාතිරම නොබලා ඉදිරිපත් වෙන ගුණයක් ඇය තුළ තිබූ බව ද ඒ සාකච්ඡා තුළින් මතුව තිබේ.
ඇයගේ මුහුණු පොත පරිසරිය, යුක්තිය, සමාජය යුක්තිය සම්බන්ධයෙන් වැටුප් ලබන තරුණියන්ගේ මුහුණු පොත් වලට වඩා දිලිනි සෙහන්සාගේ මුහුණු පොතේ ඒ සම්බන්ධයෙන් වූ හැගීමක් දැකීමට ඇත. ප්‍රේමවන්තයන් වෙනුවෙන් පළවෙන, ආදරය වෙනුවෙන් පළ වෙන උපුටා ගැනීම් වලට වඩා ඇත්තේ සමාජ ක්‍රියාකාරකම් ගැන විස්තරයන් ය. අංකූර සමාජ දේශපාලාන ක්‍රියාකාරිනියක් විසින් සැලසිය යුතු මූලික සුදුසුකම් ඇය විසින් සලසා ඇත. ඒ ගැන අවස්ථාවන්, ගමනක් ඇයට තිබුණේ නම් ඇය සමාජීය ක්ෂේත්‍රයේ ද, දේශපාලන ක්ෂේත්‍රයේ ද ඉදිරිගමනක් ඒමට ඉඩක් තිබූ බව පැහැදිලිව පෙනේ. ඇයගේ ක්‍රියාකාරිත්වය දෙස නිරීක්ෂණය කිරීමේ දී ඇය ලංකාවේ ඇති දේශපාලන ක්‍රියාකිරියන් බිහි කිරීමට ඇති වැඩපිළිවෙළකට හෝ සුනිලා අබේසේකර වැන්නියකට හමුවූවා නම් ඇයගේ ජීවිතය ආරක්ෂාවීමටත්, ඇයගේ ගමන් මග වෙනස්වීටත් ඉඩ තිබිණි.
දේශපාලන ක්‍රියාකාරිනියන්, පිරිමි දේශපාලන ගස් යට වැඩෙන කුඩා පඳුරු වැනිය. ඔවුන්ගේ අනාගතය රැඳී පවතින්නේ ඉතාමත් දුෂ්කර මාවතක් ඔස්සේය. දිලිනි ගේ උරුමය ද වී තිබුණේ එයයි. ඇය ඔසවා තැබීමට කෙනෙක් හෝ ක්‍රමයක් හෝ ඇයට නොවීය. ඇයගේ මුහුණ දුන්, ඛේදවාචකයට සමාන ඛේදවාචකයන් බොහෝ ඇත. එහෙත් වෙනස ඒ සියල්ල නගරයක් මැද හිස සුන්ව අවසන් නොවීමයි. ඇය වැනි ග්‍රාමීය පසුබිමින් පැමිණෙන දේශපාලන සමාජ ක්‍රියාකාරිනියන්ට වෙන්නේ දක්ෂතාවයන්ගෙන් හෙබි බොහෝ ස්ත්‍රීන් ජීවිත කාලයම අනියම් පෙම්වතියන් ය. නොමැති නම් ඡන්ද කාලෙට චන්ද එකතු කරන මැෂින් ය. පාවඩ දැමීම සඳහා පමණක් ඔවුන්ව භාවිතා කරයි. එවැනි කාන්තා චරිත ගැන බොහෝ දේ අප අසා තිබේ. දිලිනි ගේ ජීවිතයේ ගැන සමාජයට ලබා දුන්, සමාජය ලබා නොගත් අත්දැකීම එයයි.
ඇය රත්නපුරට, රටට අහිමි වූ අංකූර සමාජ දේශාපලන ක්‍රියාකාරිකාරිනියක් මිස බොළඳ පෙම්වතියක් නොවේ.
ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනාම නීතිවේදීනියන් දෙදෙනෙකි. රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනිය වූ තලතා අතුකෝරළ නිතිවේදියකි. ඇයගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් ඇය ද දායකවන්නට ඇත. වත්මන් රජයේ සෞඛ්‍ය අමාත්‍යවරිය වූ පවිත්‍ර වන්නිආරච්චි ද රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබයි. ඔවුන් දෙදෙනාම දේශපාලන ජීවිතයේ විවිධ අත්දැකීම් වලට මුහුණ දෙන්නට ඇත.
එහෙත් මේ වන තෙක් මේ දෙදෙනා දිලිනි සෙහන්සා ගැන කිසිවක් කළ බවක්, ඇයගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වූ බවක් නොපෙනේ. අවම වශයෙන් ඇය ගැන ශෝකය පළ සිටියේ ද, ඇයගේ දක්ෂතාවයන් ගැන සටහනක් දක්වා සිටියේ, නීතිඥ හිටපු තරුණ සේවාවේ සභාපති එරන්ද වැලිංඅංගගේ පමණි.
“ආදරණීය දිලිනි යහන්සා සොහොයුරිය…….මා ඔබව මුල් වරට හඳුනාගන්නේ මීට වඩා වසර කිහිපයකට ඉහත දී යොෟවන සමාජ ක්‍රියාකාරිනියක් වශයෙනි. එදා සිටම කඩිසරව යුහුසුලුව අන් අයගේ ද ආදරය දිනා ගන්නට තරම් ඔබ වාසනාවන්ත විය. අවසන්වරට මට ඇගෙන් ඇමතුමක් එන්නේ පසුගිය මාසයේදී ය. අවසන් වරට මට ඇගෙන් ඇමතුමක් එන්නේ පසුගිය මාසයේදීය. ඒ ඇගේ මිතුරියකගේ කුඩා දරුවෙකු සම්බන්ධ ගැටළුවකට ය. එහෙත් එදා ඇය කියූ ඒ ගැටළුව ඇගේ ගැටළුවක් බව මා තුන් හිතකින්වත් නොසිතුවේය. එදා එලෙස කතා කල ඇය ගැන මෙදා මෙලෙස සටහනක් තබන්නට සිදුවේ යැයි මට කිසි දිනෙක නොසිතුණි.”
ඔහු එලෙස සටහනක් තැබුවද ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා යැයි පැවසුවද, නීතිඥයෙකු ද වන ඔහු ද ඇයගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වෙන බවක් මේ වන තෙක් ජනමාධ්‍යයකින් හෝ අපට අසන්නට ලැබුණේ නැත. ඇය වෙහෙසව කටයුතු දේශපාලන ව්‍යාපාරයන් වන එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බල වේගය ඉදිරිපත් වූ බවක් අසන්නට ද නැත.
දිලිනි ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත්වීමට උත්සාහ කළ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන සංවිධානයක් හෝ ඇයගේ ඝාතනයට විරෝධය දක්වන සංවිධානයක් හෝ අප දුටුවේ නැත. ඇය ප්‍රසිද්ධ කාන්තා චරිතයක් වූවා නම් ඇය ප්‍රසිද්ධ පුද්ගල සම්බන්ධකම් සහිත චරිතයක් වූවා නම් මේ වියරු ඝාතනය සම්බන්ධයෙන් විධිමත් විරෝධතාවයක් මතුවීමට ඉඩ තිබිණි. බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වී තිබෙන්නේ ඇයගේ ඝාතනයට වඩා ඇය විසින් විවාහයක පුරුෂයෙකු සමග පවත්වාගෙන ගිය සම්බන්ධතාවය ගැනය. එහි සදාචාර මිණුම් දඩු භාවිතා කරමින් ඇය ගැන අදහස් දැක්වූ සමාජයේ බොහෝ දෙනෙක් ඇයට චෝදනා කර සිටියෝය. එමෙන්ම සියදිවිහානි කරගන්නා ලද පොලිස් නිලධාරියා වන පොලිස් පරීක්ෂක ඒ.එම්.ප්‍රේමසිරි ගේ අවසන් ලිපිය මගින් ද චෝදනා කර ඇත්තේ ඇයටය. ප්‍රේමසිරිගේ බිරිඳ ද දිලිනි සෙහන්සාට චරිත සහතික දීමට පෙළඹී ඇත.
දිලිනි මේ වන විට ඉහත සඳහන් කරන ලද සියළු ව්‍යාපාරයන් ගේ ආත්මය ප්‍රශ්න කර ඇත. සමාජයම ප්‍රශ්න කිරීමකට ලක් කර ඇත. කුඩා කළ සිට ඇය පිය සෙනෙහස අහිමිව සිටි බවත්, පසු කාලයේ දී පියාගේ සෙනෙහස සොයා ගිය බවත්, පියා මියගිය බව පැවසුවත්, ඇයට තම පියා ජීවත්වන බව දැනගත් බවත්, ඒ නිසාම මානසික පීඩාවක සිට බව ඇයගේ මිතුරියන් පවසා ඇත.
අසම්මත චරිත ලක්ෂණ වලින් හෙබි ඇය ඇයගේ සම්බන්ධතා සම්බන්ධයෙන් ද එලෙසම සිතු බව පෙනේ. ඇය තරුණියන් හා තරුණයන් අතර කිසිඳු වෙනසක් නොදුටු බව පෙනේ. එක හා සමානව ඇය ඔවුන් ඇසුරු කර තිබේ. අවසන් කාලයේ තමන්ගේ මානසික පීඩනයෙන් මිදීමට උත්සාහ කිරීමට කතා කිරීමට උත්සාහ කර තිබෙන්නේ ද තරුණයෙකුට ය. අවාසනාවට ඇයට කතා කිරීමට ඔහුට හැකියාව නොලැබේ. එසේ වූවා නම් ඇයගේ කතාව වෙනස්වීමට ඉඩ තිබිණි. ඇය අවසාන දින කිහිපය තුළ විශාල ආතතියක සිටි බව ඇයගේ මිතුරු මිතුරියන් පවසන කරුණු වලින් පෙනේ. ඇයට මගපෙන්වීමට කිසිවෙක් නොසිටි බවත්, ඇයගේ ආත්මය හඳුනාගත් කිසිවෙක් නොසිටි බවත්, ඇයව වටහාගෙන ඇය වඩාත් උස්තැනකට ඔසවා තැබීමට කිසිවෙක් නොසිටි බව පෙනේ.
ජීවිතය ජයගත් බොහෝ කාන්තාවන්ට අහම්බෙන් ලැබූ අවස්ථාව ඇයට අහිමිවීම ඇයගේ හිසසුන්වීමට වඩා ඛේදවාචකයකි.
(මෙය කාන්තා දිනය වෙනුවෙන් ලියූ සටහනක් නොවේ. – සුදේශ් ද සිලිවා)