Saturday, April 20, 2024

අභ්‍යන්තර බලය බෙදීමක් නැතොත් වෙනම රටකට අයිතිය තියෙනවා – දෙමළ සන්ධානය

ආන්ඩුව මගින් පත් කර ඇති ව්‍යවස්ථා සම්පාදක විශේෂඥ කමිටුවට ලිපියක් යන දෙමළ ජාතික සන්ධානය “ අභ්‍යන්තර ස්වයං නිර්ණය සඳහා ඇති අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන්නේ නම් ජාත්‍යන්තර නීතිය යටතේ, ජනතාවට බාහිර ස්වයං නිර්ණ අයිතිය හිමිවනු ඇතැ”යි ප්‍රකාශ කරයි.

ඉන් අදහස් එක් රටක් තුළ සුලුතර ජනයාට සැබෑ බලය බෙදා හැරීමක් කවර රටක් හෝ දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන්නේ නම් එම සුලුතර ජනයාට වෙනම රටක් ඇති කර ගැනීමට අයිතිය අන්තර් ජාතික නීතිය විසින් ලබාදී ඇති බවයි.

මෑත කාලයෙහි දෙමළ ජාතික සන්ධානය මෙවැනි අදහසක් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රථම වතාවටය.

මෙම කරුණු දක්වා ඇත්තේ අන්තර් ජාතික අධිකරණයක් හමුවෙහි වුව සිය ස්ථාවරය තහවුරු කළ හැකි ආකාරයකනි.

තමන් එකී විශේෂඥ කමිටුව සමඟ පසුගිය පෙබරවාරි 20 වන දින පැවති පවත්වන ලද රුස්වීමකදී පහත සඳහන් කරැණූ ඉදිරිපත් කරන ලද බව නිවේදනයක් නිකුත් කරන දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

  • ශ්‍රී ලංකාව බහු වාර්ගික හා බහුභාෂාමය සමාජයකි.
  • උතුරු හා නැගෙනහිර පළාත් ශ්‍රී ලංකාවේ දෙමළ කතා කරන ජනයාගේ තිහාසික වාසස්ථාන වන අතර, ෆෙඩරල් පක්ෂයේ නායක එස්.ජේ.වී. චෙල්වනායකම් සමඟ අත්සන් කරන ලද ගිවිසුම් දෙකහි දී අගමැතිවරුන් වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ ඩඩ්ලි සේනානායක විසින් ඒ් බව පිළිගෙන තිබේ.
  • 1987 ජූලි 29 වන දින ඉන්දුලංකා ගිවිසුමෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ නයින් ශ්‍රී ලංකා රජය විසින් මේබව සනාථ කරන ලදී.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලය බෙදා ගැනීම සඳහා රාමුවක් හඳුන්වා දීමෙන් රටේ පාලන ව්‍යුහය වෙනස් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ විය. එකල ප්‍රධාන දෙමළ පක්ෂය වන ටී.යූ.එල්.එෆ්, දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමාණවත් නොවන බව කියා ප්‍රතික්ෂේප කළද, අඩුපාඩු නිවැරදි කිරීමේ උත්සාහයන්ට අපි සහයෝගය දැක්වූ අතර ඉන් පසුව වෙනම රාජ්‍යයක ඉලක්කය කරා නොගියෙමු.
  • බලය බෙදා ගැනීමේ විධිවිධානය අර්ථවත් කළ යුතු බව බලයට පත්වූ සෑම නායකයෙක්ම සහ රජයක්ම පිළිගෙන තිබේ.
  1. 1987 නොවැම්බර් 7 වන දින නවදිල්ලියේදී ජනාධිපති ජයවර්ධන විසින් දෙන ලද පොරොන්දුව;
  2. 1993 දී ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළ මංගල මූන්සිංහ තේරීම් කාරක සභා යෝජනා;
  3. ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ 1995 සහ 1997 යෝජනා සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇති 2000 අගෝස්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත. එම කැබිනට් මණ්ඩලයට ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහාචාර්ය ජී. එල්. පීරිස්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ තවත් අය ඇතුලත් විය;
  4. 2002 දෙසැම්බරයේ ඔස්ලෝ නිවේදනය: “… එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ෆෙඩරල් ව්‍යුහයක් මත පදනම්ව, දෙමළ කතා කරන ජනයාගේ ඵෙතිහාසික වාසස්ථානවල අභ්‍යන්තර ස්වයං නිර්ණය පිළිබඳ මූලධර්මය මත පදනම් වූ විසඳුමක් ගවේෂණය කිරීමට පාර්ශවයන් එකඟ විය;
  5. 2006 දී සර්ව පාක්ෂික වටමේස සාකච්ජාවෙහි සමාරම්භක රැස්වීමේදී ජනාධිපති රාජපක්ෂගේ කතාව: ඔහු මෙසේ පැවසීය: ‘ඕනෑම විසඳුමක් හැකි උපරිම බලය බෙදා හැරීම දක්වා විහිදෙන විසඳුමක් ලෙස පෙනී යා යුතුය…’;
  6. සර්ව පාක්ෂික වටමේස සාකච්ජාව සහ එහි බහු වාර්ගික විශේෂ කමිටුවේ වාර්තා; සහ
  7. 2016 මාර්තු 9 වන දින ඒකමතිකව සම්මත කරන ලද යෝජනාවක් මගින් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පරිවර්තනය කරන ලද මෙම වැඩපිළිවෙල (මෙහෙයුම් කමිටුව විසින් එහි දෙවන අතුරු වාර්තාව සමඟ 2019 ජනවාරි 16 වන දින පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාවක් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලදී).
  • ඉහත සියල්ලෙන් පෙනී යන්නේ අර්ථවත් බලය බෙදා ගැනීමේ විධිවිධානයකින් ජාතික ප්‍රශ්නය විසඳිය යුතු බවට පුළුල් එකඟතාවයක් ඇති බවයි.
  • මේ වනාහී ඉන්දියාවට, සම සභාපතිවරුන්ට (එනම් යුරෝපීය සංගමය, ජපානය, එක්සත් ජනපදය සහ නෝර්වේ), එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ලෝකයට ලබා දුන් පොරොන්දුව ද වේ.
  • අර්ථවත් බලය බෙදා ගැනීමේ විධිවිධානයක් සඳහා හිමිකම් පෑම පදනම් වී ඇත්තේ එක්සත් හා නොබෙදුණු ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තරව ක්‍රියාත්මක කළ යුතු දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය සඳහා ඇති අයිතිය මත ය.
  • අර්ථවත් බලය බෙදාගැනීමේ විධිවිධානයක් ඉදිරිපත් කිරීමට දෙන ලද පොරොන්දු නැවත නැවතත් උල්ලංනය කිරීම අභ්‍යන්තර ස්වයං නිර්ණය සඳහා ඇති අයිතිය නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කිරීමකට සමාන වේ. ජාත්‍යන්තර නීතිය යටතේ, අභ්‍යන්තර ස්වයං නිර්ණය සඳහා ඇති අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලබන විට ජනතාවට බාහිර ස්වයං නිර්ණ අයිතිය හිමිවනු ඇත.
  • එමඟින් පාලන බලතල බෙදා ගැනීම සහතික කරනු ඇත, අර්ථවත් බලය බෙදා හැරීම සාක්ෂාත් කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිවැරදි කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා උක්ත කමිටුව සමඟ කටයුතු කිරීමට අපේ සුදානම දන්වා සිටියෙමු.
  • සියලු ප්‍රජාවන්හි පුද්ගලයන්ට හිමිවිය යුතු සමාන පුරවැසිභාවය සඳහා ඇති අයිතිය සහතික කළ හැක්කේ පාලන බලතල බෙදා ගැනීම සඳහා යොමුවී ඇති සාධාරණ පද්ධතියකින් පමණි.
  • පුනරාවර්තනය නොවන බව” සහතික කළ හැක්කේ අව්‍යාජ සංහිඳියාවක් ඇති කර ගැනීමෙන් පමණක් වන අතර එය සිදුවිය හැක්කේ අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ සමාජ ගිවිසුමක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අප පැමිණියහොත් පමණි.

ආර්. සම්පන්දන්, පාර්ලිමේන්තු මංත්‍රී, දෙමළ ජාතික සන්ධානයේ නායක සහ අයිටීඒකේ හි පාර්ලිමේන්තු කණ්ඩායම් නායක

මාවයි එස්. සේනාධිරාජා,  අයිටීඒකේ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ සම නායක 

සෙල්වම් අඩික්කලනාදන්, පාර්ලිමේන්තු මංත්‍රී, ටෙලෝ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ සම නායක 

ඩී. සිද්ධාර්ථන්, පාර්ලිමේන්තු මංත්‍රී, ප්ලොට් නායක සහ දෙමළ ජාතික සන්ධානයේ සම නායක 

Archive

Latest news

Related news