Tuesday, July 16, 2024

ජිනීවා රුස්වීමට මාසයක් තියා ජනාධිපති තවත් කොමිෂමක් පත් කරයි!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ආරම්භවීමට මාසයක් තිබියදී. 2020 මාර්තු මාසයේදී කවුන්සිලය හමුවේ විදේශ ඇමැති දිනේශ් ගුණවර්ධන කියා සිටි පරිදි තවත් කොමිෂන් සභාවක් ජනාධිපති රාජපක්ෂ විසින් පත් කර තිබේ.

පෙබරවාරි 22වන දින ආරම්භවන 46වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව වාර්තාව සාකච්ජාවට ගැනෙනු ඇත. මෙම වාර්තාව දැනටමත් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත යවා ඇති නමුත් තවමත් ඊට සිය ප්‍රතිචාර රාජපක්ෂ ආණ්ඩුව දක්වා නැත.

මානව හිමිකම් කවුන්සිලය මගින් සම්මත කරන ලද ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ යෝජනා ක්‍රියාත්මක කිරීම අරභයා ශ්‍රී ලංකාණ්ඩුව දක්වා ඇති අසමත්කම් එහිලා දැක්වෙනු ඇත.

එම යෝජනාවන්ගෙන් ඉවත්වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි නියෝජිතායතන සමග සහයෝගයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය බව එම කොමිසම පිහිටුවීමට පිනිස නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ දැක්වේ.

මෙම කොමිසමට දැනට පොලිස් කොමිෂමේ සභාපතිවන, පළිගැනීම් පිළිබඳ කොමිෂමේ සාමාජිකයකු වූ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ද පත් කර තිබේ. එහි සභාපතිවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නවාස්ය

අදාළ ගැසට් නිවේදනයේ අන්තර්ගතය පහත දැක්වේ. එය පීඩීඑෆ් ගොනුවක් ලෙස අවසානයට දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ 2019 මාර්තු මස 40/1 යෝජනාවලියේ සහ එහි පූර්වගාමී 2015 ඔක්තෝබර් මස 30/1 හා 2017 මාර්තු මස 34/1 යෝජනාවන්හි සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා රජය ඉවත් වීමට ගනු ලැබූ තීරණය සම්බන්ධව 2020 පෙබරවාරි මස 26 සහ 27 දිනයන් හි දී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයේදී නිවේදනය කරනු ලැබ ඇති හෙයින් ද ;

උක්ත යෝජනා සඳහා සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද, තිරසාර සාමයක් හා සංහිඳියාවක් දිනාගැනීම සඳහා වගවීම සහ මානව සම්පත් සංවර්ධනය සපුරා ගැනීම සඳහා තවදුරටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි නියෝජිතායතන සමග සහයෝගයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය වන හෙයින් ද ;

විසඳීමට ඇති අනෙකුත් ගැටළු සඳහා ප්‍රජාතාන්ත්‍රික හා නීතිමය ක්‍රියාවලි තුළින් විසඳුම් ලබා දීමට සහ අවශ්‍ය අවස්ථාවන්හි දී ආයතනික සංශෝධන සිදුකරමින් යුක්තිය හා සංහිඳියාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බැවින් ද;

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා කරනු ලබන නොබැඳුන විදේශ ප්‍රතිපත්තියක් පදනම් කර ගනිමින් කටයුතු කිරීම මූලික අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන ඇති බැවින් ද ;

සිදුවී ඇතැයි කියනු ලබන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පූර්වගාමීව පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු පත් කිරීමට කටයුතු කරනු ලැබ ඇති හෙයින් ද ;

එකී පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු මගින්, සිදුවී ඇතැයි වාර්තා වී ඇති යම් යම් මානව හිමිකම් සම්බන්ධ හා වෙනත් එවැනි වරදවල් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කර ඇති බැවින් ද ;

මෙහි මින්මතු දැක්වෙන කරුණු පිළිබඳව විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම හා වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කිරීම අවශ්‍ය යැයි මා අදහස් කරන හෙයින් ද;

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරන්ධර ගෝඨාභය රාජපක්‍ෂ වන මම, ඔබතුමන්ලා ගේ විචක්ෂණභාවය, සාමාර්ථය සහ විශ්වාසවන්තභාවය කෙරෙහි මහත් වූ භක්තියෙන් හා විශ්වාසයෙන් යුතුව, පරීක්ෂණ කොමිෂන් සභා පනතෙහි (393 වන අධිකාරය වන) 2 වන වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව ඉහත කී,

1. ගරු ඒ.එච්.එම්.ඩී. නවාස් මැතිතුමා
ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර
2. චන්ද්‍රා ප්‍රනාන්දු මැතිතුමා
විශ්‍රාමික පොලිස්පති
3. නිමල් අබේසිරි මැතිතුමා
විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්

එකී කරුණු කවරේද යත්,

(අ) මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පූර්වගාමීව පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු මගින් සිදු කරන ලද විමර්ශනයන් හි දී බරපතල ගණයේ මානව හිමිකම් උල්ලංඝණය වීම්, බරපතල
ගණයේ ජාත්‍යන්තර මානුෂීය නීති කඩකිරීම් සහ වෙනත් එවැනි බරපතල වරදවල් පිළිබඳව අනාවරණය කරගෙන තිබේද යන වග;

(ආ) එකී පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු මගින් උක්ත බරපතල ගණයේ මානව හිමිකම් උල්ලංඝණය වීම්, බරපතල ගණයේ ජාත්‍යන්තර මානුෂීය නීති කඩකිරීම් හා වෙනත් එවැනි වරදවල් සම්බන්ධව සොයා ගත් කරුණු කවරේද යත්
හඳුනා ගැනීම සහ එකී කරුණු පිළිබඳව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ලබා දී තිබේද යන වග;

(ඇ) එකී නිර්දේශයන් සම්බන්ධයෙන් පවත්නා නීතිය ප්‍රකාරව මෙතෙක් කටයුතු කර ඇති ආකාරය හා වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව තවදුරටත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගත යුතු පියවරයන් මොනවාද යන්න;

(ඈ) ඉහත (ආ) සහ (ඇ) ප්‍රකාරව කටයුතු කරනු ලබන්නේ ද යන්න සම්බන්ධව අධීක්ෂණය;
වන ඔබතුමන්ලා මතු දැක්වෙන කරුණු විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මගේ කොමසාරිස්වරුන් ලෙස මෙයින් පත්කරමි.

තවද, ඉහත කී, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ගරු ඒ.එච්.එම්.ඩී. නවාස් වන ඔබතුමන්, කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මම මෙයින් පත් කරමි.

තවද, පූර්වෝක්ත කරුණු පිළිබඳව ඔබහට පෙනී යන පරිදි අවශ්‍ය විය හැකි පරීක්ෂණ සහ සියලුම විමර්ශන පැවැත්වීමට ඉහත කී කොමසාරිස්වරුන් වන ඔබහට මෙයින් බලය හා අධිකාරිය පවරන අතරම, එහිදී අනාවරණය වන කරුණු සම්බන්ධයෙන් අතුරු

වාර්තා අවශ්‍යතාවය පරිදි ඉදිරිපත් කළ යුතු වන අතර, ඔබ ගේ නිර්දේශ ගෙනහැර දක්වමින් ඔබගේ අත්සනින් යුතුව එකී කරුණු පිළිබඳව අවසන් වාර්තාව මෙම අධිකාරී පත්‍රයෙහි දින සිට මාස හයක් ඇතුළත මා වෙත ඉදිරිපත් කරන මෙන් ඔබතුමන්ලාට මෙයින්
නියම කරමි.

තවද, පූර්වෝක්ත කරුණුවලට අදාළ වන කිසියම් විමර්ශනයක හෝ පරීක්ෂණයක යම් කොටසක් ප්‍රසිද්ධියේ නොපැවැත්විය යුතු බවට ඔබේ අභිමතය පරිදි නිශ්චය කරනු ලැබේ නම්, එම කොටස ප්‍රසිද්ධියේ නොපැවැත්විය යුතු යැයි මම ඔබට නියම කරමි.

තවද, ඔබ ගේ විමර්ශනයන්හි හෝ පරීක්ෂණයන්හි කාර්යයන් සඳහා ඔබ විසින් සහාය හෝ තොරතුරු ඉල්ලා සිටිය හැකි සියලුම රජයේ නිලධරයන්, ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධරයන් සහ වෙනත් තැනැත්තන් විසින් තත් කාර්යය සඳහා නිසි පරිදි දෙනු ලැබිය හැකි සියලුම සහාය දිය යුතු යැයි ද, සපයනු ලැබිය හැකි සියලුම තොරතුරු සැපයිය යුතු යැයි ද මෙයින් නියම කොට විධාන කරමි.

තවද, පූර්වෝක්ත පරීක්ෂණ කොමිෂන් සභා පනතේ (393 අධිකාරය) 14 වන වගන්තියෙහි විධිවිධාන, මේ කොමිෂන් සභාවට අදාළ විය යුතු බව මම මෙයින් ප්‍රකාශ කරමි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුද්‍රාව යටතේ වර්ෂ දෙදහස් විසිඑකක් වූ ජනවාරි මස 20 වැනි දින කොළඹ දී දෙන ලදී.
අතිගරු ජනාධිපතිතුමා ගේ අණ පරිදි,
පී. බී. ජයසුන්දර,
ජනාධිපති ලේකම්.

GR CoI on HR S  ගැසට් නිවේදනය.

Archive

Latest news

Related news