ඉන්දියාවෙහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කර සිටින, ජනාධිපති රාජපක්ෂගේ උපදේශකයකු බව කියැවෙන මිලින්ද මොරගොඩ මේ අවස්ථාවෙහි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අවශය නැතැයිද වෙනත් බලය බෙදීමේ ක්‍රමයකින් තොරව පළාත් සභා ක්‍රමය සහ 13වන සංසෝධනය අහෝසි නොකළ යුතු බවද කියයි. පහත සඳහන් වන්නේ ඒ අරභයා ඔහු විසින් දක්වන ලද අදහස්ය. මෙම අදහස් මගින් සිංහල බෞද්ධ ව්‍යවස්ථාවක් සෑදිය යුතු බවට නලින්ද සිල්වාගේ සිට ගෙවිදු කුමාරතුංඟ දක්වා විවිධ පිරිස් ගෙන යන මතවාදය වක්‍ර ලෙස විවේචනය වේ.
එකම කස්තිරම
බලයට පත් ආණ්ඩුවලට තිබුණේ එකම කස්තිරමකි. ව්‍යවස්ථාවක් හැදීමය. ව්‍යවස්ථා කතා ජනතාවට එපා වී තිබේ. සමහර ආණ්ඩුවල ව්‍යවස්ථා කස්තිරම සලකනවිට නැටූ නැටුමකුත්, බෙරයේ පලුවකුත් නැත. දක්ෂ රංගධරයකුට රට කළඹන දුම්මලවරමක් ගන්නට හොඳටම අවස්ථාව තිබේ. ජනතාව ඉල්ලන්නේ පෙරැළියකි. ව්‍යවස්ථා සංශෝධන ආවේශය සමාජය තුළ නැත. කනින් කොනින් තාලය අල්ලනවිට සිද්ධවෙන්නේ පරණ යාතිකාවය. රට මුහුණ පා ඇති තත්ත්වය ගැන පළමුවෙන් කල්පනා කළ යුතුය.
ප්‍රශ්ණ පිට ප්‍රශ්ණ
රට දියුණු කර, සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට දැනෙන්නට සැලැස්වීම වැදගත්ය. වැඩ කරන ජනතාවගේ ආදායම අඩු වී තිබේ. දෛනික ආදායමෙන් යැපෙන සෑහෙන පිරිසක් අසරණය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ නැග ඇත. සෞඛ්‍ය අවදානම හෙයින් පොදු ප්‍රවාහනය පාලනයකින් සිදුවෙයි. එයින් ඇති කරන අවහිර තවත් වටයකින් එල්ල වී ඇති පීඩනයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල විශාල ව්‍යාකූලතා පැන නැගී ඇත. රජයේ හෝ පෞද්ගලික ආයතනයකින් හෝ වැඩක් කරගන්නට නොහැකි වී තිබේ. ක්‍රියාකාරීත්වය සීමා කිරීම ඉදිරියේ අපහසුතාවකට පත්ව ඇත.
පළාත් සභා ක්‍රමයෙන් රටට නිසි සේවයක් නොලැබුණ බව පිළිගත යුතුය. විශාල ධන නාස්තියක් වන අතර තවත් දේශපාලන හා නිලධාරි පැලැන්තියකට සීමා වී තිබේ. ව්‍යවස්ථාව තුළ ගැටලු ඇති අතර සෑහෙන කාලයක් විසඳාගත නොහැකි වූ අරගලයක කොටසක් බව පැහැදිලිය.
මේ ව්‍යවස්ථාවෙහි ජනතා පරමාධිපත්‍ය නැහැ
ලංකාවේ නිදහස ගැන විවිධ අර්ථකථන තිබේ. ජනරජ ව්‍යවස්ථාව පවා මහජන අවශ්‍යතා පිළිබිඹු නොකරයි. විධායක ජනාධිපති පදවිය සහිත ව්‍යවස්ථාව පවා ජනතා පරමාධිපත්‍යය තහවුරු කර නැත. එහි දුබලතා තිබේ. ව්‍යවස්ථා හැදෙන්නේ බලයේ සිටින පක්ෂයේ වුවමනා සාක්ෂාත් කරගන්නටය. බලය ආරක්ෂා කරගන්නටය. පවතින ව්‍යවස්ථාව විසි වතාවක් සංශෝධනය කර තිබේ. බලයට පත්වන ආණ්ඩු තමන්ගේ අභිමතාර්ථ තහවුරු කරගන්නා පාලනයක් සඳහා සංශෝධන ඉදිරිපත් කර ඇත. ඒවායේ ගැබ්ව ඇති පටු පරමාර්ථ ජනතා පදනම දෙදරවා තිබේ.
මෙතැන් සිට ඉදිරියට බැලීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම සුදුසුය. මහජනතාව වහාම ඉල්ලන්නේ අලුත් ව්‍යවස්ථාවක් නොවේ. පළාත් සභා අහෝසි කරන පියවරක් නොවන බව පැහැදිලි කළ යුතුය. පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමෙන් ජනතාවට ලැබෙන අස්වැසිල්ලක් නැත. අහෝසි කිරීම ගැන ජනතා බලකිරීමක් ද නැත. අහෝසි කිරීමේ දී බලය බෙදන විකල්පයක් අවශ්‍යය. සුළු ජනතාවගේ නියෝජනය වෙනුවෙන් සෙනෙට් මණ්ඩලයක් වැනි රාමුවක් අවශ්‍යය.
භයානක සමානුපාතික ජන්ද ක්‍රමයයි
සමානුපාතික ඡන්ද ක්‍රමය ව්‍යවස්ථාව හෝ පළාත් සභාවලට වඩා විනාශයක් රටට කර තිබේ. විශාල දූෂණයකට හා කළු සල්ලි හුවමාරු වන ක්‍රමයකි. මෙවැනි පැති සලකා සම්පූර්ණ වෙනස් කිරීම් අවශ්‍යය. පවතින පසුබිම අනුව රට වෙනස් කරන අලුත් ව්‍යුහාත්මක වෙනස්කම්වලින් අලුත් ආර්ථිකයක් ගොඩනැගීම හැර දේශපාලන බලය තහවුරු කරන ව්‍යාපාර ගැන කල්පනා කිරීම අනුචිතය.
පක්ෂවලට බෙදී වාද කර පසුව වැඩිදෙනාගේ කැමැත්තට ඉඩ දෙන ප්‍රජාතන්ත්‍රවාදය මෑත කාලයේ ක්‍රමයකි. සියලු අදහස් සලකා සම්මුතියකින් තීරණ ගැනීම වැදගත්ය. එවැනි සම්මුතිය ඇති කරන පාලන ක්‍රමයකට අවශ්‍ය ව්‍යවස්ථා රාමුවක් රටට සකස් කරගැනීමට හැකියාවක් ඇත.
ව්‍යවස්ථාවක් අවශ්‍ය බව දක්වන සියලු පාර්ශ්ව ස්වකීය තද ආකල්පවලට පමණක් කොටු වී සිටින බව පෙනේ. ජාතික ගීය, ආගමට හිමි තැන, පුරවැසිභාවය, ඉඩම් හෝ පොලිස් බලතල වැනි පටු අභිලාෂ ඉදිරියට ගෙන ඇත. අනෙක් පාර්ශ්වවලට අදහසකට ඉඩක් නැති රටක් තුළ යුක්තිය හා සමානාත්මතාව ගැන සාකච්ඡා කළ හැකි ද? සංස්කෘතික අනන්‍යතා සහ නීතිය පටලවා ගැනීමෙන් උසස් සාරධර්ම සහිත සමාජයක් බිහිකරන්නට පුළුවන්කමක් නැත. මෙරට ජීවත්වන සියලුදෙනාටම තමන්ගේ ජාතිය, ආගම හෝ පෙළපත අනුව උරුම වූ අනන්‍යතාවක් තිබේ. කුල සිරිත්වලට තමන් ගරු කරන හා සමානව තම අසල්වැසියා ද ඔවුන්ගේ කුල සිරිත් ආරක්ෂා කරන බව තේරුම් ගැනීම වැදගත්ය.
අන්තවාද බැහැර කිරිම
අලුත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා කරන විට සලකා බලන දෘෂ්ටි කෝණය මූලික පදනමක් විය යුතුය. සාධාරණ අවස්ථා ඇති කරන රාමුවක් තුළ අන්තවාදය බැහැර කළ හැකිය. එය රටට ගැළැපෙන විසඳුමකි.
ව්‍යවස්ථාවක් යනු වගන්තිවලින් සමන්විත ලියැවිල්ලකි. ව්‍යවස්ථාවේ සඳහන් කරුණුවල බර සාර බව බහුතර ජනී ජනයාට අවබෝධයක් නැත. ඇත්ත කතාව එයයි. ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට කියන ඇතැමකු පවා එහි වගන්ති සම්පූර්ණයෙන් කියවා නැත.
යල් පැනගිය ගතානුගතික ආකල්ප වෙනස් කිරීමට කාලය උදා වී තිබේ. අධිරාජ්‍යවාදීන් පනවන ලද ආකෘතියකට අනුව රදල පැලැන්තියකට රට පාලනය කරන්නට දෙන ව්‍යවස්ථාව ගළපා ගන්නට කලින් කළ යුතු කාර්යභාරයක් තිබේ.
දේශපාලනඥයකු, සමාජ නායකයකු අවසාන වශයෙන් රටේ නායකයා යමක් කියන විට විශ්වාස කරන්නටත්, විශ්වාසය ඇති කරන, විනිවිද පෙනෙන වැඩපිළිවෙළක් රට ගළපාගත යුතුය. එය පහසු නැත. විශාල ආත්ම ශක්තියක් හා අලුත් සැලැස්මක් ගැන බලවත් අධිෂ්ඨානයක් අවශ්‍යය. එවැනි පියවරකට පසු රට හා ජනතාව තමන්ගේ අනාගතය ගැන සුබවාදීව බලනු ඇත.
අලුත් යුගයක් සඳහා ව්‍යවස්ථාවක් සකස් කිරීම පහසුය. පක්ෂවලින්, ආගමික නායකයන්ගෙන්, පෞද්ගලික මතවාදවලින් හා විරුද්ධ පක්ෂය හා සුළු ජාතිකයන් අසරණ කරන අන්තවාදී බලවේගවලින් කරන යෝජනා එක මේසයකට දමා කවලම් කර නිර්මාණය කරන ව්‍යවස්ථාවක් මෙම අවස්ථාවේ සුදුසු නැත.
( ලංකාදීප පුවත් පතෙහි පළ වූ දීර්ඝ ලිපියකින් සකස් කරන ලදී.)