Monday, May 20, 2024

ආන්ඩුවේ සීනි හා තෙල් කොල්ලය: විල්මගේ කටේත් සීනි; මගේ කටෙත් සීනී!

කොව්ඩ් වසංගතය නිසා රටෙහි ජනයා දුකින් දුකට පත්ව සිටියදී ගැසට් නිවේදන උපාමාරු මගින් බදු අඩුකර සිය ගජ මිතුරන්නට කෝටි ප්‍රකෝටි ගණනින් උපයා ගැනීමට රාජපක්ෂවරු උපාමාරු යොදවන අන්දම පෙන්වන මේ කතාව ඇදහීමට අමාරු තරමේ එකකි.

රාජපක්ෂ ආන්ඩුව 2020 ජූනි 26වැනිදා සීනිවලට රු. 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවන ලදී. ඔක්තෝබර් 13වැනිදා මේ බද්ද ශත 25 දක්වා අඩු කළ නමුත් ඊට හේතු දැක්වූයේ නැත.

මෙය සිදුවන්නේ කොවිඩ් වසංගතය නිසා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා ගෙන්වීම තහනම් තර ඇති තත්වයක් යටතේය.

මේ බද්ද අඩුකිරීමට අනුරූපීව සුදු සීනිවල උපරිම සිල්ලර මිල රු. 85ක් සහ ආනයනකරු විකිණිය යුතු උපරිම තොග මිල රු. 80ක් ලෙස පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා විසින් නියම කරන ලදී.

ඒ වනවිට රු. 135, 140ට තිබුණු සීනි රු. 85 දක්වා මේ අනුව අඩුවිය යුතු විය. ආන්ඩුවට විශාල බදු මුදලක් අහිමි වූ  නමුත් සීනි මිල පහළ ගියේ නැත. ජනතාවට අඩු මිලට සීනි නොලැබුණි. මේ ප්‍රහෙලිකාව විසදෙන්නේ විල්මා ඉන්ටර්නැෂනල් සමාගම හරහාය.

තවමත් සීනි ආනයන විශේෂ බද්ද කිලෝවකට සත 25කි. මේ වසර අවසන් වනවිට ආසන්න වශයෙන් සීනි මෙට්රික්  ටොන් ලක්‍ෂයක් පමණ ආනනයන කරනු ඇත.

ඒ අනුව බද් අඩු කිරීම නිසා දළ වශයෙන් ගත්තොත් රු. කෝටි 1000ක බදු ආදායමක් ආණ්ඩුවට අහිමි වෙයි. ඒ මුදලේ වාසිය යන්නේ විල්මා ඉන්ටර්නැෂනල් සමාගමටය. කොවිඩ් වසංගතය සඳහා අවශ්‍ය වන එන්නත් මිලදී ගැනීමට ලෝක බැංකුවෙන් ඉල්ලා ඇති ණය මුදල ඒහා සමානය. එනම් රු. කෝටි 1000කි.

විල්මා ඉන්ටර්නැෂනල් වෙබ් අඩවියට අනුව එය සීනි ගෙන්වන්නේ තමන්ගේම සීනි කර්මාන්ත ශාලාවලිනි. ඉන් අමතර ලාභයක්ද ලැබෙයි. ශ්‍රී ලංකාවේ වටවල තේ නිශ්පාදනය කරන වටවල ප්ලාන්ටේෂන්ස් අයත් වන්නේ ද විල්මා ඉන්ටර්නැෂනල් සමාගමටය.

මෙළෙස බදු අඩු කිරීම මගින් රු. කෝටි 1000ක් තමන්ගේ චෞර ව්‍යපාපාරික වළල්ලකට අයථා ලෙස ඉපැයීමට ඉඩකඩ ලබා දී ඇතැයි අනුර කුමාර දිසානායක චෝදනා කරයි.

ඔහුට අනුව මෙම චෞර වළල්ලේ ප්‍රධාන ආයතනයක් වන්නේ විල්මා ආයතනයයි. මේ ආයතනය මේ වනවිටත් සීනි මෙට්රික් ටොන් ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර තිබේ. විල්මා ආයතනයෙහි එක් අධ්‍යක්ෂකවරයෙක් වන්නේ අයිතිකරුවන්නේ සජාඩ් මවුසූන්. ඔහු ගෝඨාභය රාජපක්ෂගේ බුද්ධිමතුන්ගේ එකතුව වූ වියත්මගට විවිධ පහසුකම් සපයමින් ක්‍රියා කළ අයෙක් බව අනුර කුමාර දිසානායක පවසයි.

විල්මා ඉන්ටර්නැෂනල් නම් මෙම සමාගමේ මූලස්ථානය පිහිටා ඇත්තේ සිංගප්පූරුවේය. එයට ෂැංගිර්ලලා හෝටලයේද කොටස් හිමිය. එහි ප්‍රධානියා ඩොලර් බිලියනපතියකු වන කුක් කූන් හොන්ග්ය.

සීනි ලාභය ලැබුණේ එම සමාගමටය.

සීනි පමණක් නෙවේ. 2020 ජූනි මස 26 දාතමින් ගැසට් නිවේදනයකින් පොල්තෙල් ආනයනය කිරීමේ බද්ද කිලෝ එකකට රු. 150ක් නියම කරන ලදී.

පරණ පුරුදු විදිහටම 2020 ජූලි මාසේ 10 දාතමින් කිලෝග්‍රෑම් එකක රු. 25ක් අඩුකරන ලදී. 2020 දෙසැම්බර් මස 14දාතමින් නැවත ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම බද්ද යළි බද්ද රු. 125ක් කරන ලදී.

මේ විජ්ජාව තේරුම් ගැනීමටත් පොල් තෙල් අපනයනකරු දෙස බැලීම අවශ්‍යය. ඒ අන්කිසිවකු නොව වියත් මඟ මුල්‍ය දායකයකු වූ සජාඩ් මවුසූන් අධ්‍යක්ෂකවරයකු වන  විල්මා ඉන්ටර්නැෂනල්මය.

2020 දෙසැම්බර් 14වැනිදා විල්මා ඉන්ටර්නැෂනල් පොල් තෙල් මෙට්රික් ටොන් 7,000ක් කොළඹ වරායට ගෙන එන ලදී. එ සඳහා ගෙවන ලද්දේ අඩු කරන ලද බද්දය. එනම් කිලෝ එකකට රු.100 බැගිනි.

එමගින් විල්මා ඉන්ටර්නැෂනල් සමාගමට පොල්තෙල් කිලෝ ග්‍රෑම් එකකින් රු. 25ක අතිරේක බදු ලාභයක් උපයා ගැනීමට ඉඩ සැළසුනි. විල්මා ගෙන් වූ පොල්තෙල් වරායෙන් පිටකර ගත් පසු දෙසැ 15වැනිදා සිට නැවත රු.25කින් බද්ද වැඩි කරන ලදී.

බදු වැඩි කිරීමට පෙර දිනයේ එනම් දෙසැම්බර් 14 වැනිදා තිදෙනෙකු පොල්තෙල් ආනයනය කරන ලදී. ඉන් දෙදෙනෙක් දෙන්නෙක් කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයින්ය.

විල්මා ආයතනය ප්‍රධාන ආනයනකරුවා හැටියට මෙට්රික් ටොන් 7,000ක් ආනයනය කිරීම මගින් දළ වශයෙන් මිලියන 175ක අතිරේක ලාභයක් උපයා ගත්තේය.

ගැසට් සෙල්ලම මගින් ගජ මිතුරු ධනවාදයට අදික ලාභ ලබා දීම ආන්ඩුවේ එක් පිළිවෙතක බව මෙමගින් පැහැදිළි වෙයි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ සියයට 49%ක් අයිතිය ඉන්දීය අදානි සමාගමට විකිණීමට ආන්ඩුව තීරණය කර තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් කොළඹගේ මෙම ගනුදෙනුව ආන්ඩුව සිදු කරන බව ශපථ කර තිබේ. ඔහු කියන්නේ එවැනි තීරණ ගැනීම හෝ නොගැනීම වෘත්තීය සමිතිවල කාරියක් නොවන බවයි.

මේ අදානි සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාර හවුල්කරුවෙක් වන්නේ විල්මා ඉන්ටර්නැෂනල්ය.  අදානිවිල්මා යනුවෙන් වෙනම ඒකාබද්ධ සමාගමක් ඉන්දියාවෙහි ලියා පද්ංචි කර තිබේ. පැහැදිලිව සඳහන් වෙයි. අදානි සමාගමට වරාය ලබාදීමේ යන්නෙන් අදහස් වන්නේ විල්මා සමාගමට යලිත් හොද්ද බොරවීමය.

ගෝඨාභය රාජපක්‍ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහාය වූ සජාඩ් මවුසූන් අධ්‍යක්ෂවරයකු වන විල්මා ඉන්ටර්නැෂනල් දැන් රාජපක්ෂවරුන්ගේ එක් ප්‍රධාන ජාවාරම්කාර හවුල්කරුවෙකි.

විල්මාගේ කටේ සීනි බව අපි දනිමු. ඒ සමඟ සීනි කන අනෙකා කව්රුන් විය හැකිද?

(මෙම ලිපිය සඳහා තොරතුරු ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ් කතාවක් ඇසුරෙන්ද ලබා ගන්නා ලදී)

සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news