ඡායාරූපය: සුදු ලේන්සු විරෝධතාවය මර්දනය කිරීම ආන්ඩුවේ බිය පෙන්වීමකි.
සොහොන් බිම වනාහී නිදහස් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී මානුශික සහ ඉදිරිගාමී සමාජයක භයංකාරත්වයේ සංකේතයක් නොවේ. අනුස්මරණයේ සන්සුන් නවාතැනකි. ජීවිතය මෙනෙහි කල හැකි නිසසල කෙම්බිමකි.
එහෙත් භීෂණය අරක්ගත් පසුගාමී සමාජයක සොහොන් බිම භයංකාරත්වයේද මර්දනයේද සංකේතයක් බවට පත්වෙයි.
පසුගිය සතියෙහි සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නිහඬ විරෝධයක් සේ කොළඹ කනත්තෙහි යකඩ ගරාදි වැටෙහි ගැට ගැසුණූ සුදු ලේන්සු පවා මර්දනයේ හස්තය මගින් සුනු විසුනු කරන්නට රාජපක්ෂවරුන්ට අවශ්‍ය විය. එසේ සුදු ලේන්සු ගැට ගැසීමට ගිය තරුණ තරුණියන් බිය ගන්වමින් රාජ්‍ය චරපුරුෂයෝ ප්‍රශ්ණ කරමින් වතගොත සටහන් කර ගත්හ.
මේ සුදු ලේන්සු විරෝධය පැන නැඟුණේ විසි දිනැති ශෙයික් නම් බිළිදා මාපිය අනවසරයෙන් එම බොරැල්ල කනත්තෙහි පුළුස්සා දැමීමට එරෙහිවය.
එවැනි විරෝධයකට ඉඩ නැති රටක් ගැන කුමන මිනිස්කමක්ද? මෙම මර්දනය ගැන රාජපක්ෂවරු කියන්නේ කුමක්ද? සුදු ලේන්සුවලටත් බිය වන තරමට රාජපක්ෂවරුන්ට සොහොන් ළකුණූ පහළ වී ඇත්ද? නොඑසේව රාජපක්ෂවරු බියවූයේ මෙම විරෝධය ලැව් ගින්නක් සේ සමාජය පුරා පැතිර යනු ඇතැයි බියටද?
වන්නාටය! දේශපාලන සොහාන් ළකුණූ මෙතරම් ඉක්මණින් රාජපක්ෂවරුන් හමුයේ පාදූර්භූත වනු ඇතැයි සිතුවේ කව්ද?
රාජපක්ෂවරුන්ගේ මහානර්ඝ ගැළවුම්කරුවකු ලෙසින් රාජපක්ෂ ජනමාධ්‍ය විසින් මහා ජනයා ඇස්බැන්දුමකට හසුකර ගැනීම පිනිස කිරුළු පළන්දවන ලද පැනි නිශ්පාදක ධනපාල මේසන් බාස්, අටමස්ථානාදිපති හමූයේ නැටූ නැටිල්ල, ගැමි වහරින් කියන්නේ නම් “නැටුම් තෙල්” බාගයක් අමුවෙන්ම ගහපු නැටිල්ලකි.
ධනපාලට අනුව හෙතෙමේ කාලිය. අටමස්ථානාධිපතිගේ අම්මාය.
මේ කාලි නැටුමට සමාජ මාධ්‍යකාරියක අපූරු සිතීමක් පළ කළේය. ඒ “මෙචචර කල් මං හිතන් හිටියේ කාලි කියන්නේ ගැල්ලමයෙක් කියල” ය.
අටමස්ථානාදිපති හමුයෙහි රාජපක්ෂවරුන්ගේ බාස්ට තද වූ තරම කොතෙක්ද යත්, එක් සමාජ මාධ්‍යකරුවකු ලියා තිබූ ලෙස “මම කාලි! හුටා, බයියන්ගේ රෙද්දෙම ගියා ඕයි! යන්න ඇත්තම ඇත්ත විය යුතුය. රෙද්දේම යන්නේ සොහොන් ළකුණූ පෙනෙන විටය.
තවත් පොස්ටුවක මෙසේ විය. “ ඔන්න කාලි, හිට් විකට්”. හිට් විකට් කතාව ආවේ පෙරදා ග්‍රීසියෙහි දිග් විජය නැංවූ ගැලැඩියේටරයා එදා ගාල්ලේ ක්‍රිකට් පිටියේදී ඇන ගෙන තිබූ නිසා විය හැක.
ශ්‍රී මහා බෝධිය වනාහී ලොව සුරැකී ඇති පැරණිතම ආගමික වෘක්ෂයකි. වෘක්ෂ රාජයෙකි. නැතිනම් රාජිනියකි. එවැනි වෘක්ෂයක මුලට සංඝටකයන් නොදන්නා උකුම උකු මිශ්‍රණයක් දැමීමට ඉඩ නොදීම, එහිමියන් විසින් ගන්නා ලද අගනා බුද්ධිමත් තීරණයකි. සාදූ,සාදූ!
බන්ධනාගාර කළමණාකරණය පිනිස රාජපක්ෂවරුන් විසින් පත් කරන ලද කුප්‍රසිද්ධ ලොහාන් රත්වත්තේ මහර ඝාතනයන් පිළබඳ පාර්ලිමේන්තුව හමුවෙහි පහරන ලද්දේ අසූචි පිඩකි. මරණ පරීක්ෂන වාර්තාවන්ට අනුව එම සිරකරුවන් මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් නෙව ඔවුන් අතර සිදුවූ කළහයක විපාක වශයෙන් බව ඔහු මුදාහළ ගන්දස්කාරය විය.
ඒ අදෘශමාන මරණ පරීක්ෂන වාර්තාව හැර තවත් මරණ පරීික්ෂණ වාර්තා තිබෙන බව දැන් අධිකරණය හමුවේ සනාථ වී තිබේ. පංච පුද්ගල වෛද්‍ය විශේඥ කමිටුවේ වාර්තාවට අනුව පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කල සිව් දෙනාම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙනි.
රෙද්දෙම යෑමකි. යළිත් වරක් සොහොන් ළකුණුය.
සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව ඝාතනය කරන ලද සිරකරුවන්ගේ සිරුරු අදාහනය කිරීමට එරෙහිව අධිකරණය හමුවෙහි මැදිහත් නොවී නම් ඇමැති ලොහාන් රත්වත්තේගේ අදෘශ්‍යමාන මරණ වාර්තාව උඩ එම සිරුරු අදාහනය වී ඝාතනයේ ඇත්ත කතාව ද ඒ සමඟම වැළලෙන්නට තිබුණි.
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක ළකුණ වන්නේ සුපිපෙන හිමිකම්ය. සෙහොන් ළකුණු අයත්වන්නේ මර්ධනකාරී ආන්ඩුවකටය.
පසුගිය මානව හිමිකම් දිනය වෙනුවෙන් ප්‍රකාශණයක් නිතුක් කළ ක්‍රිස්ත්‍රියානි ආගමික ලංකා සභාව ප්‍රකාශ කළේ මෙරට මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කනස්සල්ලට හේතුවන කාරණා ඇති බවයි. දැනට නඩු පවරන්නේද නැතිව ඇප නොදී අත්අඩංඟුවේ රඳවා ගෙන සිටින ශානි අබේසේකර සහ හෙජාස් හිස්බුල්ලා පිළිබඳවද එම ප්‍රකාශය සිය කණස්සල්ල පළ කළේය. තවද විසිවන සංසෝධනයෙන් පසු ස්වාධීන කොමිෂන් සභාවන්ට අත්විය හැකි ඉරණමද ලංකා සභාවෙහි සැළකිල්ලට ලක් වී තිබේ.
නීතිඥ සහාය නැතිව දින 250ක්
නීතිඥ හෙජාස් හිස්බුල්ලාට නිසි පරිදි නීතිඥයින් හමුවීමට අවසර ලබාදීමට නීතිපති දෙපාර්ථමේන්තුව දින 250කට වැඩි කාලයක් ගත්තේය. මේ වනාහී ආන්ඩුවකට සතුටු විය හැකි කාරණා නොවේ. ආන්ඩුවේ බිය පෙන්වන කාරනාය. බිය ඇති වන්නේ සෙහොන් ළකුණූ නිසාය.
පසුගිය 13දා රැස්වූ විසිපස්දෙනෙකු තරම් නායක හිමිවරුන්ගෙන් සුසැදි “සාධාරණ සමාජයක් සඳහා වන භික්ෂු සංසදය” විසින් ගන්නා ලද තීරණ විසින්ද පෙන්වන්නේ වසරක් ගතවෙත්දී රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි ලියලා එන කනස්සලු සහගත විරෝධයයි. එම භික්ෂු සංසදය විසින් ගන්නා ලද තීරණ අතර මෙම කරුණුද වෙයි.
20වන සංශෝධනය පිළිබඳව බලවත් විරෝධය පලකිරීම; ඒ තුලින් තහවුරු වන ව්‍යස්ථාපිත ඒකාධිපතිත්වය පරාජය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීම ; අද වන විට මේ රටේ භික්ෂූන් වහන්සේලාට නිදහසේ තම අදහස් පලකිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති බව පෙන්වා දී ආණ්ඩුවේ ඇතැම් තීරණ පිළිබඳව විවේචනය කරන භික්ෂූන් වහන්සේලා පසුපස රහස් පොලීසිය යොදවමින් සිටීම පිළිබඳව බලවත් අප්‍රසාදය කිරීම; මේ රටේ සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු බියකින් හා සැකයකින් තොරව නිදහසේ අදහස් පලකිරීමට ඇති අයිතිය භික්ෂූන් වහන්සේලාටද ඇති බව අවධාරණය කිරීම; රටේ විශිෂ්ඨ රහස් පරීක්ෂක නිලධාරියෙකු ලෙස ඇගයීමට ලක්ව සිටි ශානී අබේසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගණනාවකට එරෙහිව ක්‍රියාත්මක වන දේශපාලන පළිගැනීම් මහත් පිලිකුලක් දනවන බව ප්‍රකාශ කිරීම යනාදියයි.
පසුගිය 16වනදා මුස්ලිම් සමාජයේ පිරිසක්ද ජනාධිපති මන්දිරය ඉදිරිපිට මුස්ලිම් දේහයන් අදාහනය කිරීමට විරුද්ධව නිහඩ උද්ඝෝෂනයක් පැවැත්වීය. ආන්ඩුවේ මේ අඥාන තීරණය, දැන් ඉන්දියාවෙහි රාජපක්ෂවරුන්ගේ තානාපතිවන මිලින්ද මොරගොඩ විසින්ද වහෙන් ඔරෝ බාසාවෙන් හෙළා දැක තිබේ. ඔහු කියන්නේ මුස්ලිම් දේහයන් භූමිදානයට අවසර දිය යුතු බවයි. ඔහු මෙසේ කියයි:
“කොවිඞ් -19 වයිරසයට ආසාදනය වන අයවලූන්ගේ ශරිරයෙන් බැහැරවන දේ ජල මුලාශ‍්‍ර වලට එකතුවීමට ඉඩ ඇත. එය මළ සිරුරරක ක්‍රියාකාරීත්වයෙන් සිදුවිය හැකි හානියට වඩා බලවත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඉස්ලාම් ආගමිකයන්ගේ අවසන් කටයුතු වලට අවහිර නොකරන තීරණයක් ගෙන තිබෙන අතර අන්තවාදී මතයකින් බැහැර, බුද්මධිත්ව කටයුතු කරන වගකීමක් රටට තිබේ. අවස්ථාවාදී දේශපාලන විරෝධතා දුරු කළ යුතුය.”
ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයා වී අධිකරණ ඇමැතිකම ලත් අලි සබ්රි කියන්නේ කොවිඩ් අසාදිත මළසිරුරු භූමිදානයට ඉඩ නොදෙන්නේ චීනය සහ ශ්‍රී ලංකාව පමණක් බවයි! භුමිදානයට ඉඩ නොදෙන අදූරදර්ශි අතාර්කික පියවර නිසා මුස්ලිම් සමාජයෙහි දරුණු අන්තවාදයක් ඇතිවිය හැකි යයි ඔහු බිය පළ කරයි. ඔහු තර්ක කරන්නේ ද භූමිදානයට ඉඩ දියයුතු බවයි.
ඒ වෙනුවට රාජපක්ෂවරුන් කර ඇත්තේ රෙද්ද උස්සා මුහුණ වසා ගැනීමකි. එනම් මෙරට පුරවැසියන්ගේ මළසිරුරු මාලදිවයිනට ගෙන ගොස් භූමිදානය කරන ලෙස අයැදීමකි. මෙරට නුසුදුසු යැයි රාජපක්ෂවරුන් තීරණය කරන කොවිඩ් භූමිදානයන් මාලදිවයිනට යෝග්‍ය වන්නේ අවහල් තර්කයක් අනුවද? එක්කෝ සිය තර්කය පුස්සක් බව රාජපක්ෂවරුන් විසින් පිළි ගැනීමක්ද?
සෞඛ්‍ය හේතු මතයැයි කියා මෙරට භූමිදානය තහනම් කර තිබියදී මාලදිවයිනෙහී භූමිදානය කරන ලෙස රාජපක්ෂ විසින් කරන ලද ඉල්ලීම ආගමික විශම සැළකිමක් religious apartheid යැයි දයාන් ජයතිලක තර්ක කරයි.
‘ මාලදිවයිනේ පුලුවන් නම් ලංකාවේ බැරි ඇයි?”
අලි සබ්රි කෙලින්ම අසයි: ‘ මාලදිවයිනේ පුලුවන් නම් ලංකාවේ බැරි ඇයි?” මේ අදහස් දැක්වීමට අධිකරණ ඇමැති අලි සබ්රිට දැන් රාජ්‍ය ජනමාධ්‍ය නැත. ඔහු සිය කණස්සල්ල දිග හරින්නේ යූ ටියුබ් නාලිකාවකටය!
කෙසේ වෙතත් මෙරට මුස්ලිම් ජනයා සිය ඥාතීන්ගේ සිරුරු මාලදිවයිනට යැවීමට එකඟ වී නැත. මේ අතරවාරයේම රටවල් 51කින් යුතු ඉස්ලාමීය රටවල සංවිධානය ශ්‍රී ලංකාන්ඩුවේ මෙකී බලහත්කාර ආදාහන පිළිවෙත හෙළා දකිමින් තෙවන නිවේදනයද පසුදා ප්‍රසිද්ධ කරන ලදී.
බියට අවසානයක් නැත. දකුණේ නායක භික්ෂුන් පවා බිය ගැන්වීමට සිය චරපුරුෂයින් යවන රාජපක්ෂවරු, මඩකළපුවෙහිදී දෙමළ තරුණයින් 50-60ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් පරිදිම දැන් නැගෙනහිර කාත්තන්කුඩියේ තරුණ තරුණියන් විසි දෙනෙකු පමණ එම පනත යටතේම අත් අඩංඟුවට ගෙන තිබේ. කොළඹ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ නිවෙස්වලටද එවැනි චරපුරුෂයින් ගිය බව වාර්තා වෙයි.
එළෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ බියකරු පනත යටත් තරුණ තරුණියන් අත් අඩංගුවට ගැනෙද්දී, රාජපක්ෂ ඇමැතිවරු පාර්ලිමෙන්තුවට කියන්නේ 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ දුම්න්ද සිල්වා වැනි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට බවයි. ගිනි ගන්නා උපරිමාදිකරණය තුලින් සුදු හැදගත් දුමින්ද සිල්වා සිනහ වෙමින් මතුවනු සමාජ මාධ්‍ය පොස්ටුවක අපූරුවට දක්වා තිබුණි.
සිය මළවුන් සැමරීමට ඉඩ නොදී යුද සමයේ තමන් අත්විඳි මානව හිමිකම් කෙළෙසීම් ගැන, අතරුදහන් වූ සිය ඥාතීන් ගැන යුක්තිය ඉටු කිරීම වළකාලීම ගැනත්, දෙමළ ජන ප්‍රදේශයන්හි කැරෙන යුදකරණය සහ සිංහල ජනපදකරණය ගැනත් කණස්සල්ට පත් දෙමළ ජනයා අතරද අසංතෘෂ්ඨිය බෝවෙයි.
විසංවාදය යටපත් කළ හැකි වී නැත.
පළිගැනීම් කොමිසමේ සභාපති උපාලි අබේරත්න අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ලෙස පත් කිරීමට විරුද්ධව වින්දිත මාපියවරු සැර ලියුමක් ලියා ප්‍රසිද්ධ කළහ.
මේ අතරවාරයේ ජාතික ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර, අධිකරණය හමුවෙහි නඩු විමසා අවසන්වීමට පෙරම තෝරාගත් සැකකරුවන්ගේ ජායාරූප ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර අපහාසයට සහ උපහාසයට ලක්කරවන බවට තර්ජනය කරයි.
භයංකාර සොහොන් බිමක ළකුනු
යුද හමුදාපති කියන්නේ රාජ්‍ය නොවන සංවිධාන ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි. මහර ඝාතන නඩුවෙහි රජයේ නීතිඥවරිය වන නිශාරා ජයරත්න, ඝාතනය වූ සිරකරුවන් වෙන්වෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායම රජයේ නොවන සංවිධාන වලින් යැයි අධිකරණයට කියයි.
මේ සියල්ල යහපත් නැවුම් උදෑසනක නොව භයංකාර සොහොන් බිමක ළකුනුය.
රාජපක්ෂවරු මුහුණ දෙන මහම සොහොන් ළකුණ ඇත්තේ ආර්ථිකයෙහිය. ලෝකයේ සෑම ආර්ථික දත්ත සම්පාදක ආයතනයක්ම ශ්‍රී ලංකාවට ලබා දී ඇත්තේ අසමත් ළකුණුය. පේල් ළකුණූ එන්නම එන්නම ඉහළ යයි.
එය වෙනම කතා බහකට මැයකි.