Monday, May 20, 2024

ආන්ඩුවේ මුල් ළමාවිය අධ්‍යාපන පිළිවෙත “හතේ අපේ පොත”ට විරුද්ධ වූ මැදගොඩ අභයතිස්ස හිමිගෙන්

සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පසුගිය රජය සමයේ පාසල් දරුවන් විවිධ ලිංගික අපයෝජනයන්ට ගොදුරු වීම වැලැක්වීම වෙනුවෙන් සකස් කරන ලද ‘හතේ අපේ පොත’ කෘතියට අසභ්‍ය කරුණු අඩංගු පොතක් වශයෙන් හංවඩු ගසමින් පදනම් විරහිතව කටයුතු කරනු ලැබූ  මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙගේ ප්‍රධානත්වයෙන් කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අමාත්‍යාංශය විසින් මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් එළි දක්වා තිබීම හාස්‍යට මෙන්ම පුදුුුුුමයට කරුණක් බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරයි.

පෙර පාසල් පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය සකස් කිරීමේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝණය කරමින් පළාත් සභා නොසලකා හැරේ යනුයෙන් ලංකා ගුරු සංගමය විසින් නිකුත් කරන ලද ප්‍රකාශය පහත දැක්වේ.

කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අමාත්‍යාංශය විසින් මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් එළි දක්වා ඇත. මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවකින් මෙම ප‍්‍රතිපත්තිය සකස් කොට ඇත. මෙම ප‍්‍රතිපත්ති සකස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් වගකිව යුතු ආයතන වන ජාතික අධ්‍යාපන කොමිසම, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් සභා නියෝජනය නොසලකා මෙම කටයුතු සිදුකර ඇත.

1939 අංක 31 දරණ අධ්‍යාපන ආඥා පනතට අනුව පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය සකස් කිරීමේ බලය අධ්‍යාපන අමාත්‍යාංශය සතුය. 2013 වසරේ දී එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති කාර්යාලයේ ද මග පෙන්වීම සහිතව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සමග පූර්ව ළමාවිය අධ්‍යාපනය පිළිබඳව ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශයට පවරන ලදී.

එසේ වුවද 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සසස පරිශිෂ්ඨයේ (ඇමුණුම 1) තුළ පෙර පාසල් අධීක්ෂණය කිරීමේ හා කළමනාකරණය කිරීමේ බලය පළාත් සභා සතුය. එසේ වුවද ප‍්‍රමිතිය පවත්වාගෙන යාම, කළමනාකරණය හා අධීක්ෂණයේ වගකීම රේඛීය අමාත්‍යාංශය යටතේ පවතී. එසේම 2015.09.21 දිනැති 1933/13 අති විශේෂ ගැසට් පත‍්‍රයෙන් පෙර පාසල් පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය සම්පාදනය කිරීම හා කි‍්‍රයාත්මක කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ඇත.

2014 වර්ෂයේ දී ජාතික අධ්‍යාපන කොමිසම විසින් පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් කෙටුම්පත් කර තිබුණි. විවිධ සාකච්ඡුාවලින් අනතුරුව අධ්‍යාපන ලේකම්ගේ අනුමැතිය ඇතිව සකස් කළ මෙම කෙටුම්පත මුල් ළමාවිය රැකවරණය පිළිබඳ ජාතික කමිටුවට ඉදිරිපත් කොට ඇති අතර, පෙර පාසල් පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය පිළිබඳව 2019.12.17 වන දින අංක 19/3465/219/015 අංකයෙන් යුත් අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාව ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සංශෝධනයට යටත්ව එයට අනුමැතිය ලබා දී ඇත.

මෙවැනි ඉතිහාසයක් පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය සතුව ඇති අතර, අදාළ ප‍්‍රතිපත්ති රාමුව තුළ විෂය මාලාව සකස් කිරීමේ වගකීම ජාතික අධ්‍යාපන ආයතනයට පවරා ඇත.

එහෙත් ඉදිරිපත් කර ඇති නව ප‍්‍රතිපත්තිය තුළ විෂය මාලා සකස් කිරීමේ වගකීම ජාතික ආධ්‍යාපන ආයතනයෙන් බැහැර කොට ඇත. එසේම මේ වන විට ඉදිරිපත් කර ඇති ජාතික ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් පළාත් සභාවලින් කිසිදු අදහස් වීමසීමක් සිදු කොට නැත. 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මෙය පළාත් සභා සතු විෂයකි. පළාත් සභා විසින් මෙම කටයුතු අධීක්ෂණය හා කළමනාකරණය කිරීම සිදුවන අතර පළාත් සභාවල අදහස් විමසීමෙන් තොරව හා පළාත් සභාවලට අවශ්‍ය බලය පැවරීමකින් තොරව ප‍්‍රතිපත්තියක් පැවතීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝණය කිරීමකි.

මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්ති සැකසීමේ කටයුත්තට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයට නෛතික බලයක් ඇති තත්වයක අදාළ කටයුත්ත අධ්‍යාපන අමාත්‍යාංශයට පරිබාහිරව සිදු කිරීම බරපතල ගැටලූකාරී තත්වයකි. කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අමාත්‍යාංශය මෙම කටයුත්ත මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවකට පවරා ඇත. මෙසේ අධ්‍යාපනඥයන් නොවන පිරිස් විසින් දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධන ප‍්‍රතිපත්තියක සැකසීම බරපතල ගැටලූකාරී තත්වයකි.

වඩාම සරදම්කාරී තත්වය වන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පසුගිය රජය සමයේ පාසල් දරුවන් විවිධ ලිංගික අපයෝජනයන්ට ගොදුරු වීම වැලැක්වීම වෙනුවෙන් සකස් කරන ලද ‘හතේ අපේ පොත’ කෘතියට අසභ්‍ය කරුණු අඩංගු පොතක් වශයෙන් හංවඩු ගසමින් පදනම් විරහිතව කටයුතු කරනු ලැබුවේ ද පූර්ව ළමාවිය සංවර්ධනය ප‍්‍රතිපත්ති සැකසීම භාරව සිටින මැදගොඩ අභයතිස්ස හිමියන් වීමය. අධ්‍යාපනඥයන් පසෙකට දමා මෙවැනි කණ්ඩායම් පූර්ව ළමා විය සංවර්ධන ප‍්‍රතිපත්ති සැකසීමෙන් සිදු වන්නේ රටේ ඉදිරි අධ්‍යාපනය ප‍්‍රගතිය කරා යාම නොව වැඩවසම්වාදී ලෙස ආපස්සට යාමය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝණය වන ආකාරයෙන් පළාත් සභා හා ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන කොමිසම ආදී අධ්‍යාපනය සම්බන්ධ ප‍්‍රතිපත්තිමය තීරණ ගන්නා ආයතන නොසලකා හැර මෙවැනි පාර්ශවයන්ට පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය සැකසීමේ කාර්යය නොපවරා දැනට පවතින නෛතික රාමුව තුළ සියලූ පාර්ශව සම්බන්ධ කරගෙන විධිමත් යාන්ත‍්‍රණයක් සහිතව මෙම ප‍්‍රතිපත්තිය සකස් කිරීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.

මෙයට,

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්

Archive

Latest news

Related news