Friday, March 29, 2024

ශ්‍රී ලංකාව විසි දිනැති බිළිදකු මාපිය අනවසරයෙන් පුළුස්සා දැමූ රටක්! 

ඡායාරූපය: අනවසරයෙන් පුළුස්සා දමන ලද ඒ ලළදරුව සිහිකරමින් හිමිකම් ක්‍රියාකාරිනයක බොරුල්ල කනත්තේ වැටෙහි සුද රෙදි ගැට ගසයි. ( ටුවීට ජායාරූපයකි)

ඒ බිළිදා ෂෙයික් නම් විය.

දින 20ක් වූ බිළිදු ෂෙයික් කොළඹ ළමා රෝහලට රෝහලට ඇතුළත් කල අවස්ථාවෙහි කරන ලද ප්‍රතිදේහජනක (ඇන්ටිජන්) පරීක්ෂණයකින් එම බිළිදාට කොවිඩ් 19 ධනාත්මක යැයි තීරණය කරන ලදී.

ඒ මේ ළදරුවා රෝහලට ඇතුළත් කළ දෙසැම්බර් 07 දාය.

එනමුත් දෙමව්පියන් දෙදෙනාටම කොව්ඩ් අසාදනය වී නොතිබුණ බව පීසීආර් පරීක්ෂන වලින් තහවුරු විය. එබැවින් සිය දරුවාටද පීසීආර් පරීක්ෂනයක් කරන සේ මාපියන් විසින් රෝහලින් ඇයද සිටියේය. ඔවුන් එසේ ඉල්ලා සිටියේ ප්‍රතිදේහ පරීක්ෂනය සමහර විට වැරදි ප්‍රතිපල ලබා දෙන බව ඔවුන් අසා තිබූ නිසාය.

විසි දිනැති ළදරුවාට පීසීආර් පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය නම් එය මුදල් ගෙවා කළ යුුතු බව රෝහල් වෛද්‍යවරයා දෙමාපියන්ට දැන්වීය.

ළදරුවාගේ පියා වන ෆාහිම් ත්‍රිීරෝද රථ රියදුරකු වන අතරම ඔවුන් ජීවත් වන ප්‍රදේශය කොවිඩ් වසංගතය නිසා මාසයක් පුරා වසා දමා තිබූ බැවින් පීසීආර් පරීක්ෂණයක් කිරීම සඳහා දීමට මුදල් ඔවුනට තිබුණේ නැත.

කෙසේ හෝ දරුවාගේ පියා වූ ෆාහිම් පරිත්‍යාගශීලීන් හමුවී පීසිආර් පරීක්ෂනයකට අවශ්‍ය මුදල් සොයා ගත්තේය. ඊළඟ බාධකය වූයේ එම පරීක්ෂනය කිරීම සඳහා පුද්ගලික රෝහලක් සොයා ගැනීමයි.

මේ අතර වාරයේ රෝහල් බලධාරීන් බිළිදු ෂෙයික්ගේ මාපියන්ට රෝහලින් පිටව නිවසට යන ලෙස දැන්වූහ. අකමැත්තෙන්වුව සිය බිළිදා තනිකර නිවසට යාමට ඔවුනට සිදුවිය.

පීසීආර් පරීක්ෂනය සදහා බාහිර ක්‍රමයක් සොයා ගැනීමට ෆාහීම් අසමත් විය. ඔහු පසුදින එනම් 08වනදා රැයෙහි දුරකථනයෙන් රෝහලින් තොරතුරු විමසිමින් සිටියේය. 09දා අළුයම 3.00ට පමණ බිළිදු ෂෙයික් දැඩි සත්කාර ඒකකයට මාරු කරන ලද බව ඔහුට දැන ගන්නට ලැබුණි. දුක්මුසු ආරංචිය ඔහුට ලැබුණේ අළුයම 5.30ටය. බිළිදු ෂෙයික් මිය ගොස් තිබුණි.

ෆාහිම් වහාම රෝහලට ගිය අතර එහිදී වෛද්‍යවරයා ඔහු ලියකියවිලි කිහිපයකට අත්සන් කළ යුතු බව කීවේය. ෆාහිම් පැවසුවේ තමා අත්සන් කරන්නේ තම දරුවා භූමදාන කළ හැකි නම් සහ පීසීආර් පරීක්ෂණයක් කළහොත් පමණක් බවයි.

දරුවාගේ දේහය භූමදානය සඳහා මුදා හැරීම  ප්‍රතික්ෂේප කළ බලදාරීහු ෆාහිම් එම ලියකියවිලි වලට අත්සන් කළ යුතුම යැයි බල කරන ලදී. ෆාහිම් එය ප්‍රතික්ෂේප කළ විට බලධාරියා කියා සිටියේ ඔහු අත්සන් නොකරන්නේ නම් රෝහලින් පිටව යා යුතු බවයි. ඔහුට වෙනත් විකල්පයක් නොතිබුණි.

කලබලයට හා ශෝකයට පත් ෆාහිම් සිය විසිදිනැති  බිළිදු සිය පුතාගේ දේහය රෝහලේ තිබියදීම පිටව යාමට තීරණය කළේය. අනතුරුව රෝහලට පැමිණ ලියකියවිලි අත්සන් කරන ලෙස දන්වමින් දහවල් ඔහුට රෝහලෙන් ඇමතුම් කිහිපයක්ම ලැබුණි.

ශෝකයෙන් වෙලී සිටි ඔහු බලධාරීන් සමඟ කතා කිරීමට උත්සාහ කිරීම වෙනුවට විසදුමක් ලබා ගැනීම පිනිස තම මස්සිනා වන රිෆ්කාන් රෝහලට යැවීය. බලධාරීන් රිෆ්කාන් සමඟ කියා සිටියේද එම කතාවමය. තමාට ආදාහන ලිපියකට අත්සන් කළ නොහැකි බව පවසමින් රිෆ්කාන් ද රෝහලින් පිටව ගියේය. රෝහල වටා මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු කරකැවෙමින් සිටි බව ඔහුට දක්නට ලැබුණි.

සවස 3.00 බිළිදු ෂෙයික් බොරුල්ල කනත්තේ ආදාහනාගාරයෙහි පුලුස්සන බව රෝහල් බලධාරීහු ෆාහිම්ට දැන්වුහ. “එනවා නම් එන්න” යැයි ඔහුට නොක්කාඩුවට මෙන් කියන ලදී.

ෆාහිම් මිතුරන් කිහිප දෙනෙකු සමඟ ආදාහනාගාරයට ගිය නමුත් ඔහුගේ දරුවා පුළුස්සා දමනු දැකීමට අකමැති වූ නිසා  ඇතුළට ගියේ නැත. එහි දී පවා, මාධ්‍යය සමස්ත සිදුවීමම පටිගත කරමින් සිටියේය. තම බිළිදු පුතා පුළුස්සා දැමීම පවා මාධය ආකර්ශනයක් බවට පත්ව තිබූ ආකාරය ඔහු කම්පාවට පත් කළේය.

ඔහුගේ මිතුරන් අවසන් වරට බලධාරීන් සමඟ කතා කිරීමට උත්සාහ කළේය. නමුත් ඔවුහු බිළිදා භූමිදානය සඳහා ලබාදීම ප්‍රතික්ෂේප කර ෂෙයික් ආදාහනය කළහ.

ශෝකයට පත් ෆාහිම්  වේදනාවට පත්ව සිටි පත්ව සිටි සිය බිරිඳ සහ 6 හැවිරිදි දියණිය සමඟ ආපසු ගෙදර ගියේය.

තමා යාච්ඥා කරන්නේ මෙය කිසි විටෙකත් කිසිවකුගේ දරුවන්ට සිදු නොවන ලෙස බව ෆාහීම් කී බව අලි සහීර් මවුලානා සඳහන් කරයි.

ෆහීම්ට අනුව, ඔවුහු වසර 6 ක් තිස්සේ තවත් දරුවෙකු ලබා ගැනීමට උත්සාහ කළ අතර එබැවින්ම ෂෙයික්ගේ උපත ආශීර්වාදයක් ලෙස සැලකූහ.

නමුත් අසාධාරණයක මහත, රෝහල, බිළිදු ෂෙයික්ට පීසීආර් පරීක්ෂනයක් කිරීම ප්‍රතික්ෂේප කළේය. දෙමාපියන්ගේ කිසිදු කැමැත්තකින් තොරව ඔවුන්ගේ ඇදහිලි සහ විශ්වාසයන්ට පටහැනිව විසි දිනැති බිළිදා පුළුස්සා දැමූහ.

ෂෙයික්ට එවැනි ඉරණමක් අත්වූයේ හුදෙක් ඔවුන් මුස්ලිම් වූ නිසාම නොවේ. ඔවුන් සමාජයේ දුගී තීරුවටද අයත් වූ නිසාය.

ලෝකයේ රටවල් 194ක කොවිඩ් අසාදිත මලසිරුරු භූමිදානය සඳහා අවසර දී තිබියදීත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයද මෙරට මානව හිමිකම් කොමිසමද මළසිරුරු භූමිදානය සදහා අවසර දිය යුතු බව නිර්දේශ කර තිබියදීත් රාජපක්ෂ ආණ්ඩුව ෂෙයික් වැනි බිළිදකුට පවා එම අයිතිය ලබා දුන්නේ නැත.

මේ වනාහී වත්මන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ලබා ඇති අදුරු දසාවේ තවත් එක් අතිශය ඛේදජනක උදාහරණයකි.

(හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුස්ලිම් අයිතිවාසිකම් ක්‍රියාකාරියකු වන අලි සහීර් මවුලානා, ට්වීට් මාලාවක්, මගින් බිළිදු ෂෙයික් ගේ පියා සමඟ කතාකර එළිදක්වන ලද කරුණුද මෙම වාර්තාව සඳහා උපයෝගී කර ගන්නා ලදී.)

කනත්තේ යකඩ වැටෙහි සුද රෙදි කඩක් ගැට ගසන අලි සහීර් මවුලානා.

Archive

Latest news

Related news