Sunday, November 24, 2024

බන්ධනාගාර ඝාතන වසන් කිරීම සඳහා ශ්‍රී ලංකා ආන්ඩුව පචමෝල ක්‍රියාත්මක කරයි – ප්‍රදීප් රාමනායක

Imag courtesy of New York Post.

පසුගිය ඉරිදා මහර බන්ධනාගාරයේ රැඳවියන් අමු අමුවේ ඝාතනය කිරීම ගැන රට පුරා පලවූ මහජන කෝපයට රාජපක්ෂ ආන්ඩුව ප්‍රතිචාර දක්වා ඇත්තේ, ඝාතනය වසන් කිරීමට උත්සාහ කරනුවස් අමූලික බොරු ගොතමිනි. පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ (එස්ටීඑෆ්) නිලධාරීන්ගේ සහාය ඇතිව දැඩි ලෙස සන්නද්ධ බන්ධනාගාර නියාමකයෝ විරෝධතා දැක්වූ සිරකරුවන්ට වෙඩි තැබූහ. බන්ධනාගාර පද්ධතිය හරහා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වෙතින් ආරක්ෂාව ඔවුහු ඉල්ලා සිටියහ.

මියගිය සිරකරුවන්ගේ සංඛ්‍යාව ඉරිදා සිට තුනකින් ඉහල ගොස් ඇති අතර, නිල මරන සංඛ්‍යාව 11 දක්වා ඉහල නැඟ තිබේ. රෝහල් ආරංචි මාර්ග වලට අනුව, පුද්ගලයින් 117 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර, ගනනාවකගේ තත්ත්වය බරපතල ය.

මහර බන්ධනාගාර රැඳවියන්ට පහර දීමෙන් පසු මුර සංචාරයේ යෙදෙන එස්ටීඑෆ් කමාන්ඩෝ භටයින් (ඡායාරූපය: ෂෙහාන් ගුණසේකර)

බන්ධනාගාරය තුලත් ඉන් පිටතත් එස්ටීඑෆ් භටයන් 200 ක් සහ පොලිස් භටයන් 600 ක් යොදවා රාජපක්ෂ ආන්ඩුව සිය මර්දනය වේගවත් කර තිබේ. සඳුදා සවස තුවක්කුකරුවන් රැගත් හෙලිකොප්ටර් යානා දෙකක් සිරකරුවන් බිය ගැන්වීමේ උත්සාහයක යෙදෙමින්, බන්ධනාගාරය වටා ගමන් කල අතර, සිර ගෙය තුල ආතතීන් උත්සන්න වීමත් සමඟ බදාදා බන්ධනාගාර නියාමකයින් සහ එස්ටීඑෆ් නිලධාරීන් කඩා වැදුනි.

බන්ධනාගාර ප්‍රතිසංස්කරන ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දපුල්ලේ ආන්ඩුවේ පච මෝල පනගන්වමින්, පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ, “අදෘශ්‍යමාන හස්තයක් හදිසියේම ක්‍රියාත්මක වීම” නිසා මේ සිද්ධිය හටගත් බවයි. කලබලය වලක්වා ගැනීම සඳහා, වෙඩි තබනවා හැර ආරක්ෂකයින්ට වෙනත් විකල්පයක් නොතිබූ බව ඇය පැවසුවාය.

කර්මාන්ත ඇමති විමල් වීරවංශ කියා සිටියේ, මානසික රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන පෙති වර්ගයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සිරකරුවන්ට ලබා දී ඇති බවයි. සාමාන්‍ය මිනිසුන් ඒවා පාවිච්චි කල විට ප්‍රචන්ඩ ක්‍රියාවන්ට පෙලඹීම හා ලේ දැකීමේ ආශාව ඔවුන් තුල ඇතිවෙතැයි ඔහු තවදුරටත් පැවසීය.

නියෝජ්ය පොලිස්පති අජිත් රෝහන මාධ්‍ය හමුවකදී පැවසුවේ, මානසික රෝගීන්ට දෙන පෙති 21,000 ක් පමන මහර බන්ධනාගාරයේ බෙහෙත් ශාලාව තුල ගබඩා කර තිබූ බව ය. මෙතරම් විශාල ප්‍රමානයක් ඇනවුම් කර ඇත්තේ ඇයි දැයි පොලිසිය සොයා බලන බවත් හෙරොයින් වලට ඇබ්බැහි වූවන් විකල්පයක් ලෙස පෙති භාවිතා කර ඇති බවත් ඔහු කියා සිටියේය.

එලෙසම මාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල තර්ක කලේ, රැඳවියන් නම් නොකල මනෝචිකිත්සක පෙති වල බලපෑමට යටත්ව සිටිය හැකි බවයි. බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැලක්වීම සඳහා බුද්ධි අංශ ක්‍රියාකාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග මගහැරී ගොස් ඇති බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකා මනෝචිකිත්සක සංගමය (එස්එල්සීපී) විසින් දෙසැම්බර් 2 වන දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් මෙම ප්‍රකාශයන් නිෂ්ප්‍රභා කෙරින. “සිරකරුවන්ගේ ප්‍රචන්ඩකාරී හා ආක්‍රමනකාරී හැසිරීම හා මානසික රෝගීන්ට දෙන බෙහෙත් අවභාවිතා කර තිබීම ගැන කියන කතා වලට කුමන හෝ තාර්කික පදනමක් නැත. මෙම ඖෂධ කිසිවක්, ප්‍රචන්ඩ හෝ කලහකාරී ලෙස හැසිරීම සඳහා වගකිව යුතු නැත. ඇත්තටම මේ බොහෝ ඖෂධ සන්සුන්භාවය ප්‍රවර්ධනය කරයි. ”

ජනාධිපති රාජපක්ෂ අපකීර්තියට පත් කිරීම සඳහා බන්ධනාගාර උද්ඝෝෂනය සිදු කල බවට ද කර්මාන්ත අමාත්‍ය වීරවංශ චෝදනා නැඟීය. “ මෙය ඉතා පරිස්සමින් ක්‍රියාත්මක කරන ලද ව්‍යායාමයක් වන අතර ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටියදී මෙය සිදු වූ අතර දැන් ඔහු ජනාධිපති ව සිටින විටත් එයම සිදුවෙමින් පවතින අතර එය ජාත්‍යන්තරව ඔහු අපකීර්තියට පත් කිරීමේ උත්සාහයක්” යැයි ඔහු පැවසීය.

මෙම ප්‍රකාශ විසුලු සහගතය. ආරක්ෂක ලේකම් ලෙස රාජපක්ෂ සහ ඔහුගේ සහෝදර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට හා සිවිල් වැසියන්ට එරෙහිව සිදුකරන ලද යුද අපරාධ සහ පසුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කල ප්‍රහාර සම්බන්ධයෙන් කුප්‍රකට ය. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වලට අනුව, 2009 මැයි මාසයෙන් අවසන් වූ සිවිල් යුද්ධයේ අවසන් මාසවලදී දෙමල ජනයා 40,000 ක් මරා දමා තිබුනි.

දේශපාලන විරුද්ධවාදීන් සහ මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම මෙන්ම මෙවැනිම බන්ධනාගාර සංහාරයක් ඇතුලු පහත දැක්වෙන ඝාතන සිදුවන විට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් විය.

*2012 දෙසැම්බරයේ දී, එස්ටීඑෆ් නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කරන ලදී.*2011 මැයි මාසයේ දී, ආන්ඩුවේ විශ්‍රාම වැටුප් ක්‍රමයට එරෙහිව කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් විසින් පැවැත්වූ විරෝධතාවයකදී පොලීසිය කම්කරුවෙකු වෙඩි තබා මරා දැමීය.*ඉහල ඉන්ධන මිල ගනන් වලට විරෝධය දක්වමින් 2012 දී හලාවත පැවති උද්ඝෝෂනයකදී පොලීසිය ධීවරයෙකු ඝාතනය කලේය.*2013 දී ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනය කල අයට ආරක්ෂක අංශ කල වෙඩි තැබීමෙන් තිදෙනෙක් මිය ගියහ.

මහර රැඳවියන්, COVID-19 වසංගතයෙන් ආරක්ෂාව ඉල්ලා සිටියේය යන යතාර්ථය කනපිට හැරවීමේ උත්සාහයක් ලෙස මාධ්‍ය ඇමති රඹුක්වැල්ල කියා සිටියේ, COVID-19 ආරක්ෂක පියවර හිඟකම සම්බන්ධයෙන් රැඳවියන් උද්ඝෝෂනය කර ඇති ඉතාලිය වැනි රටවල බන්ධනාගාර කැරලි සමග මේවායේ කිසිදු සමානකමක් නොමැති බවයි.

සිටිය යුතු සිරකරුවන්ගේ සංඛ්‍යාව මෙන් තුන් ගුනයක් පමන රඳවා සිටින ශ්‍රී ලංකා බන්ධනාගාර, කොරොනා වෛරස් සඳහා තෝතැනි ය. බන්ධනාගාර පද්ධතියෙන් COVID-19 ආසාදන 1,100 කට වඩා වාර්තා වී ඇති අතර ඉන් 200 කට වැඩි ප්‍රමානයක් මහර බන්ධනාගාරයේය. ඉරිදා තුවාල ලැබූ 117 දෙනාගෙන් අඩකට වඩා ආසාදිත බව පරීක්ෂන වලින් සනාථ කර ඇත.

එස්ටීඑෆ් සොල්දාදුවන්ගෙන් තම පවුලේ සාමාජිකයන් පිලිබඳ තොරතුරු ඉල්ලා මහර බන්ධනාගාරය අසල උද්ඝෝෂනයේ නිරත රැඳවියන්ගේ ඥතීන් (අනුග්‍රහය: ෂෙහාන් ගුනසේකර)

සමාජ මාධ්‍ය සහ මානව හිමිකම් සංවිධාන බන්ධනාගාර ඝාතන ගැන කෝපය පල කර ඇත. ඔවුන් ආන්ඩුවේ ක්‍රියා හෙලා දකිමින් මාධ්‍ය හමුවක් පැවැත්විය. මරන සම්බන්ධයෙන් බලධාරීන්ට එරෙහිව නඩු පවරා තිබේ.

බන්ධනාගාර තත්වයන් පලදායී ලෙස විසඳීමට බලධාරීන් අපොහොසත් වීමේ ප්‍රතිපලයක් ලෙස මෙය සිදුවී ඇතැයි ජාත්‍යන්තර ජූරි සභිකයින්ගේ කොමිසම පැවසීය. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පැවසුවේ: ” COVID-19 අවධියේ සිරකරුවන් රඳවා ඇති කොන්දේසි වලට එරෙහිව ඔවුන් කැරලි ගසන විට ඒවා නීති විරෝධී ලෙස සහ අධික බලය යොදා අවසන් කිරීමට බන්ධනාගාර බලධාරීන් කටයුතු නොකල යුතු” බවයි.

රාජපක්ෂ ආන්ඩුව විරෝධතා මැඩපැවැත්වීමට උත්සාහ කරයි. සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුව විසින් සංවිධානය කරන ලදුව, වැලිකඩ බන්ධනාගාරයෙන් පිටත (මැගසින් බන්ධනාගාරය ලෙසද හැඳින්වෙන) පවත්වන ලද විරෝධතාවක් තහනම් කරමින් පොලීසිය අධිකරන නියෝගයක් ලබා ගත්තේය.

පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශන වලට මුවාවී ආන්ඩුව, රැඳවියන් සෝදිසි කිරීම් හා ප්‍රශ්න කිරීම්වලට යටත් කරයි.

ව්‍යාපාරික මාධ්‍ය ආයතන ආන්ඩුවේ මර්දනකාරී ප්‍රතිචාරය අනුමත කර ඇත. දක්ෂිනාංශික දිවයින පුවත්පතේ දෙසැම්බර් 1 වන දින කතුවැකිය මගින් ආන්ඩුවට අනතුරු අඟවා ඇත්තේ නොසන්සුන්තාව වෙනත් බන්ධනාගාරවලට ද පැතිරීම ගැන ය. “බොහෝ පිපිරීම්වල ආරම්භය මන්දගාමී විය හැකි නමුත් අවසාන ප්‍රතිඵලය විනාශකාරී විය හැකි බැවින් මෙම තත්වය පාලනය කිරීම සඳහා නිසි යාන්ත්‍රන සකස් කල යුතු” යැයි කතුවැකිය පවසයි.

බන්ධනාගාර සිද්ධිය විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පස් දෙනෙකුගේ මන්ඩලයක් අධිකරන අමාත්‍ය අලි සබ්රි විසින් පිහිටුවා තිබේ. එහෙත් ඓතිහාසික වාර්තාව පෙන්වාදෙන පරිදි, එවැනි සියලු නිල පරීක්ෂන, සිදුවීම් සඳහා සැබෑ හේතු වසන් කර, ආරක්ෂක හමුදාවල ප්‍රචන්ඩ ක්‍රියා යුක්ති සහගත කරයි.

සිරකරුවන් ආරක්ෂා කිරීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා ලෝසවෙඅ ට පැවසුවේ, සාක්ෂි ඉවත් කිරීමට සහ වෙඩික්කරුවන් ආරක්ෂා කිරීමට ආන්ඩුව දැනටමත් පියවර ගෙන ඇති බවයි.

මියගිය එකොලොස් දෙනාගෙන් නව දෙනෙකු ආදාහනය කිරීමට ආන්ඩුව උත්සාහ කරමින් සිටින බව පෙරේරා කියා සිටියේය. ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බව කියමින් COVID-19 රෙගුලාසි ක්‍රියාත්මක කරන අතර එවිට විමර්ශනය සඳහා කිසිදු සාක්ෂියක් නොමැති වනු ඇත. මූලික අපරාධ නීතිය උල්ලංඝනය කර ඇති බව පවසමින් කමිටුව, බලධාරීන්ට එරෙහිව පෙත්සමක් ගොනු කර තිබේ.

මහර බන්ධනාගාරය නැරඹීමට ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (එච්ආර්සීඑස්එල්) විසින් කරන ලද නිරීක්ෂන මගින් එහි ඇති සැබෑ තත්වය පිලිබඳව යම් අවබෝධයක් ලබා ගත හැකිය. මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස් රමනී මුත්තෙට්ටුවේගම බීබීසීයට කියා සිටියේ, සිය අදහස් කොමිසමට ඉදිරිපත් කිරීම පිනිස රිමාන්ඩ් සිරකරුවන්, 12 දෙනෙකු තෝරාගෙන සිටි බවයි.

රැඳවියන්ගේ විරෝධතාවට හේතුව COVID-19 ගැන ඇති බිය බව මුත්තේට්ටුවේගම පැවසුවාය. “ සලකා බැලූ සෑම දෙයක්ම අතරින් තදබදය විශාලතම ගැටලුවයි. මම එවැනි බොහෝ ස්ථානවලට ගොස් ඇති නමුත් එවැනි තදබදයක් මා කිසි තැනක දැක නැත … මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ ධාරිතාව 1,000 ක් වන නමුත් එහි 2500 ක් ඇත. ”

වසංගතයට ප්‍රතිචාර වශයෙන් හා මානව හිමිකම් කවුන්සිලයේ සහ විවිධ ක්‍රියාකාරීන්ගේ ඉල්ලීම් අනුව, අප්‍රේල් මාසය අවසන් වන විට බන්ධනාගාර ජනගහනය සියයට 30 කින් අඩු කිරීමට රාජපක්ෂ ආන්ඩුව යම් පියවර ගෙන තිබුන ද, එය සැප්තැම්බර් මාසයේ දී වෙනස් වූ බව මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස්වරිය පැවසුවා ය.

සිරකරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව ගැන බලධාරීන්ගේ නොසැලකිල්ල පිලිබඳ අවධානය යොමු කරමින් ඇය මෙසේ පැවසුවාය:        “බන්ධනාගාර බලධාරීන් කෙලින්ම සඳහන් කලේ, එහි සිටින අයට පීසීආර් [පරීක්ෂන] නැති බව සහ ඇතුලට එන අයට කිසිම පරීක්ෂනයක් නැති බවයි.”

පසුගිය ඉරිදා සිදුවීම ගැන සඳහන් කරමින් ඇය මෙසේ පැවසුවාය: “සමහර රැඳවියන් සඳහන් කලේ, රැඳවියන්ට ආරක්ෂක කුලුනු වල සිට වෙඩි තබා ඇති බවයි. එය සත්‍යයක් දැයි අපි තවමත් නොදනිමු. එබැවින් අපි පශ්චාත් මරන පරීක්ෂන වාර්තාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. ”

මෙම කොන්දේසි යටතේ මල සිරුරු ආදාහනය කිරීමට ආන්ඩුව ගත් උත්සාහය සාක්ෂි විනාශ කිරීමේ පියවරක් ලෙස සැක කෙරේ.

සියලුම බන්ධනාගාරවල මර්දනය දැඩි කිරීමේ තවත් ඇඟවුමක් වශයෙන් රාජපක්ෂ, දෙසැම්බර් 1 වන දින බන්ධනාගාර ප්‍රතිසංස්කරන ඇමති ධුරයෙන් ප්‍රනාන්දුපුල්ලේ ඉවත් කලේය. ඇය වෙනුවට පත් කල ලොහාන් රත්වත්තේ, 2001 මහ මැතිවරනයේදී දස දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ නමුත් අභියාචනයකින් නිදහස ලද අයෙකි.

කප්පාදු පියවර වලට හා වසංගතයෙන් තීව්‍ර වී ඇති සමාජ ව්‍යසනයට එරෙහිව කම්කරු පීඩිත ජනතාවගේ වැඩෙන විරෝධය මැඩපැවැත්වීම සඳහා රාජපක්ෂ ඒකාධිපති පාලන ක්‍රම වෙත ගෙන ඇති පියවර හමුවේ මහර වෙඩි තැබීම් සහ ඊට පලවන ආන්ඩුවේ ප්‍රතිචාරය වෙන් නොකල හැක.

WSWS

Archive

Latest news

Related news