Monday, May 20, 2024

ඩොලර් 332,000ක් වංචා චෝදනාවෙන් ඥති සහෝදරයා ඇමෙරිකාවෙහිදී බේරා ගැනීමට රාජපක්ෂ ආණ්ඩුවේ තැත වරදී!

ඡායාරූපය: ජාලිය වික්‍රමසූරිය සහ මහින්ද රාජපක්ෂ ඥාති සහෝදයින්ය.

2013 වර්ශයේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා නව නිවසක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් 332,000 වංචා කළ බවට චෝදනා ලබා ඇති ජාලිය වික්‍රමසූරියට තානාපති මුක්තිය ලබා දී බේරා ගැනීමට රාජපක්ෂආණෟඩුව දරන ලද තැත ඇමෙරිකානු ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජාලිය වික්‍රමසූරිය යනු  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන අයගේ ඥාති සොහොයුරා. ඔහුගේ සහෝදරයා වන ප්‍රසන්න වික්‍රමසූරිය, මහින්ද රජපක්ෂ ජනාධිපති සමයෙහි ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා සභාපති ලෙස කටයුතු කළේය.

ඒ අනුව බලන විට ජාලිය වික්‍රමසූරිය යනු එසේ මෙසේ පුද්ගලයකු නොවේ. ජනාධිපති රාජපක්ෂ සමයෙහි ඇමෙරිකාවෙහි ශ්‍රී ලංකා තානාපති වූයේ  ඔහුය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා නව නිවසක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් 332,000 වංචා කරන ලදැයි ඔහුට චෝදනා එල්ල විය. එම චෝදනාවන්ට මුහුණ දීමට ලංකාවට නොපැමිණි ඔහු ඇමෙරිකානු පුරවැසිබාවය ලබා ගෙන එරට නතර විය. මෙම මිලදී ගැනීම සිදු වූයේ 2013 වර්ශයේදීය.

මෙම වංචාවට එරෙහිව නඩු පැවරීම පිනිස 2017 වර්ෂයේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජයේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඔහුගේ තානාපති මුක්තිය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ ඔහු ”මහජන මුදල් මහජන නිලධාරියෙක් විසින් අවභාවිතය, සොරකම, ලෙස වංචා කිරීම සහ ඊට අදාළ මහජන මුදල් විශුද්ධිකරණ වැරදි වලට” පරීක්ෂණයකට ලක්ව ඇති බව දන්වමිනි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැන්වූයේ වික්‍රමසූරිය  2013 වර්ෂයේ වොෂිංග්ටනයේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය මිලදී ගැනීමේ දී ව්‍යාජ ලෙස මිල පරිමානය ඇමරිකානු ඩොලර් 332,000 ක ප්‍රමාණයකින් ඉහළ දමා ඇති බව එරට බලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇති බවයි. එසේම ”එක්සත් ජනපද මුදල් විශුද්ධිකරණ සහ විදුලි සන්නිවේදන වංචා නීතිවලට පටහැනිව” එකී මුදල් කවච සමාගම් (shell companies) හරහා විශුද්ධිකරණයට ලක්කර ඇති බවත් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා සිටින ලදී.

ඒ අනුව එවකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් අනුව ඇමෙරිකාවෙහි ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් විසින් ඔහුගේ මුක්තිය ඉවත් කර ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්ථමේන්තුවට දන්වන ලදී.

ඒ අනුව ඔහුට විරුද්ධ නඩුව එරටදී ආරම්භ විය.

ජාලිය වික්‍රමසූරිය සිය මුක්තිය තබා ගැනීම මගින් මෙම වංචාව පිළිබද නඩු විභාගයට මුහුණ නොදීමට උත්සාහ කළේය. එසේ නමුත් ශ්‍රී ලංකාවේ අභියාචනා අධිරණය එම ඉල්ලීම ඉවත දැම්මේය. ප්‍රසාද් කාරියවසම් දිවුරුම් ප්‍රකාශයක් මගින් තමා  මුක්තිය ඉවත් කිරීමේ තීරණය දැනුම් දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් අනුව බවට අභියාචනාධිකරණය ඉදිරියේ කියා සිටියේය.

දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ “සැමට එක නීතියක්” ආණ්ඩුව සිය  ඥාති සහෝදරයා වංචා දූෂණ නඩුවකින් බේරා ගැනීම පිනිස උත්සාහ ගත් බව හෙළි වී තිබේ. ඒ සදහා වත්මන් ජනාධිපති ලේකම් වන පී.බී. ජයසුන්දර මහතාගේ ඉල්ලීමක් අනුව එවකට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා මේ පිළිබඳව මෙම වසරේ ජුලි මාසයේ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයට ලිපියක් යොමුකර තිබේ.

එම ලිපියෙන් දැන් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවන රවිනාථ ආරියසිංහ තර්ක කර ඇත්තේ ජාලිය වික්‍රමසූරියගේ මුක්තිය අහෝසි කිරීම කර ඇත්තේ ජනාධිපති සිරිසේන විසින් නොවන බැවින් එවකට තානාපති වූ ප්‍රසාද් කාරියවසම් විසින් කරන ලද ප්‍රකාශය දොස් සහිත බවයි. කෙටියෙන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කියා සිට ඇත්තේ ඉහත කී වංචාව සම්බන්ධයෙන් සිය ඥාති සහෝදරයා වන ජාලිය වික්‍රමසූරියට නඩු පැවැරීමට ඇමෙරිකානු ආණ්ඩුවට බලයක් නැති බවයි.

රවිනාථ ආරියසිංහගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් ඇමෙරිකානු දෙපාර්තමේන්තුව විසින් ද මෙම මුක්තිය උඩ තමා නිදහස් කරන ලෙස ජාලිය වික්‍රමසූරිය විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. වියානා සම්මුතිය උපුටා දක්වමින් එම ප්‍රතික්ෂේප කිරීමෙහි සඳහන් වන්නේ ”ඉවත් කිරීම ප්‍රකාශිත විය යුතුය, නමුත් ජාත්‍යන්තර නීතිය මෙවැනි මුක්තිය ඉවත් කිරීමක් අභ්‍යන්තර වශයෙන් සිදුකල යුතු ආකාරයක් හෝ එය රාජ්‍යයේ හෝ ආණ්ඩුවේ නායකයා විසින් සිදුකළ යුතු බව ප්‍රකාශ නොකරයි” යනුවෙනි.

2018 වර්ෂයේ මැයි මාසයේදී එරට ප්‍රධාන ජූරි සභාව විසින් විදුලි සන්නිවේදන වංචා චෝදනා දෙකකටත්, මුදල් විශුද්ධිකරණ චෝදනා දෙකකටත්, වීසා බලපත් වංචා එකකටත් අදාළව වික්‍රමසූරියට එරෙහිව අධිචෝදනා ගොනුකරන ලදි. මෙකී අපරාධ චෝදනාවලට උත්තර බැඳීම පිණිස ඔහුව 2019 ජනවාරි මස කොලොම්බියා දිස්ත්‍රික් උසාවිය ඉදිරියට පමුණුවන ලදුව මෙම වැරදිවලට තමා වැරදිකරු නොවන බව ප්‍රකාශ කළේය.

පසුව මෝසමක් මගින් ජාලිය වික්‍රමසූර්ය ඉල්ලා සිටියේ ඔහු හිමිකම් කියන තානාපති මුක්තිය හේතුවෙන් මෙකී අධිචෝදනා බැහැර කරන ලෙසයි.

ඇමෙරිකානු රජයේ නීතිඥ මයිකල් ආර්. ශර්වින් තානාපති සබඳතා පිළිබඳ වියානා සම්මුතිය සහ එක්සත් ජනපද තානාපති සබඳතා පනත උපුටා දක්වමින් එරට අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ ජාලිය වික්‍රමසූරිය ”වර්තමාන නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටි දේපළ මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් 332,000ක් අත්පත් කරගැනීමට උත්සාහ කිරීමේ වරදට කිසිදු  මුක්තියකට ඔහු හිමිකම් නොකියන බවයි”.

මුක්තිය හිමිවන්නේ රාජකාරිමය ක්‍රියාවකට වන නමුත් මොහුගේ මෙම ක්‍රියාව රාජකාරිමය නොවන බැවින් මුක්තිය හිමිනොවන බව” නීතිඥ ශර්වින් ප්‍රකාශ කර තිබේ.

මුක්තිය යළි ලබාදී සිය ඥාති සහෝදර ජාලිය වික්‍රමසූරිය බේරා ගැනීමට ඉන්පසුවද ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කටයුතු තර තිබේ. එනමුත් ඒ කිසිවක් සාර්ථක වී නැත.

චෝදනාවන්ට මුහුණ දී සිය නිර්දෝශී බව පෙන්වනු වෙනුවට මෙම රාජපක්ෂ සහෝදරයාත් රාජපක්ෂ ආණ්ඩුවත් කටයුතු කරන්නේ “සැමට එක නීතියක්” පවත්වාගෙන යන බවට ශපථ කරමිනි. පොල්ගෙඩි දෙකක් පොල් වත්තකින් ඇහිද ගත් දැරියකට දඩුවම් දෙන රටක කෝටි ප්‍රකෝටි ගණනින් වංචා කළ බවට චෝදනා ලැබ සිටින සිය ඥාති සහෝදරයා බේරා ගැනීමට රාජපක්ෂවරු දරණ තැත අතිශයන්ම ලැජ්ජා සහග බව විචාරකයෝ කියති.

 

Archive

Latest news

Related news