Tuesday, November 26, 2024

වෙළදාම ඒක පාර්ශවික මාවතක් නොවේ; ශ්‍රී ලංකාවේ ආනයන සීමා සහ එජා යෝජනාවන්ගෙන් ඉවත්වීම ගැන යුරෝපා සංගමයේ කණස්සල්ල

වෙළදාම යනු ඒකපාර්ශවික මාවතක් නොවන බවත් ශ්‍රී ලංකාව විසින් පනවා ඇති ආනයන සීමා විසින් යුරෝපා සංගමයේ ව්‍යපාරවලට මෙන්ම ඍජු විදේශ ආයෝජනයන්ටත් නිශේධාත්මක බලපෑමක් ඇතිව කිබෙන බව පෙන්වා දෙමින් යුරෝපා සංගමය නිවේදනයක් නිතුක් කර තිබේ. එය පෙන්වා දෙන්නේ ජීඑස්පී සහනය නිසා ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම වෙළද පොළ බවට යුරෝපා සංගමය පත්ව ඇති බවත් එමගින් වසරකට රුපියල් බිලයන 220කට වැඩි ධනාත්මක වෙළද ශේෂයක් ශ්‍රී ලංකාව හිමි කරගෙන ඇති බවත් එම නිවේදනය සඳහන් කරයි.

එමගින් එය නොකියා කියන්නේ ශ්‍රී ලංකාව ආනයන සීමා දිගටම පවත්වා ගන්නේ නම් ඒ පිළිබඳව පියවරක් ගැනීමට සිදුවිය හැකි බව යැයි විචාරකයෝ පෙන්වා දෙති.

තවද එම නිවේදනය ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවන්ගෙන් ඉවත්වීම ගැන කණස්සල්ල පළ කරමින් කියා සිටින්නේ ජනවාර්ග අතර සංහිදියාව වෙනුවෙන් කටයුතු කරන බවට ශ්‍රී ලංකාව දී ඇති පොරෙන්දු ඉටු කරන්නට යුරෝපා සංගමය සහාය දීමට සූදානම් බවයි.

එනමුත් ජනාධිපති රාජපක්ෂ පසුගිය බදාදා කළ කතාවෙහිදී ජනවාර්ගික සංහිදියාව හෝ මානව හිමිකම් ගැන වචනයක්වත් කීවේ නැත.

යුරෝපා සංගමයේ නිවේදනය පහත පළවේ.

මෙය ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලය කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියානු තානාපති කාර්යාල සමඟ එක්ව කරනු ලැබූ නිවේදනයකි.

පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ ඇති අභියෝග ගණනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින්, යුරෝපා සංගමය හා එහි සාමාජික රටවල් නියෝජනය කරන තානාපතිවරුන් අංශ අවස්ථා ගණනාවනක දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඉහළ පෙළේ පාර්ශිව රැසක් හමුවිය. යුරෝපා සංගමය, දිගු ලාකයක් පුරා ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මිතුරෙකු බවත් ගෙවුණු වසර 25ක කාලය පුරාවට යුරෝ බිලියනයකට වැඩි ආධාර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පුදානය කර ඇති බවත් එහිදී අවධාරණය කෙරිණි. ඊට අමතරව යුරෝපා සංගමයේ සාමාජික රටවල් ද්විපාර්ශ්වික මට්ටමින් ද ශ්‍රී ලංකාවට විවිධ ආධාර ලබා දී තිබේ.

එම සැලකිය යුතු සංවර්ධන සහයෝගයට අමතව ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා ද සුවිශේෂී සහයෝගයක් ලබාදීමට යුරෝපා සංගමය ක්‍රියාකාර ඇත. ප්‍රධාන වශයෙන් GSP plus පහසුකම හේතුකොටගෙන තීරු බදු සහ කෝටා ගාස්තු නොමැතිව යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ. මෙය ශ්‍රී ලංකාව මානව හිමිකම්, ශ්‍රමය, පරිසරය, දේශගුණ විපර්යාස හා යමපාලනය සම්බන්ධයෙන් අන්තර්ජාතික සම්මුතීන් 27ක් අඛණ්ඩව පවත්වාගෙන යෑම පාදක කරගැනීමෙන් අත්කරගත් පහසුකමකි. මෙවැනි ඒකපාර්ශවික වෙළෙඳ වාසි නිසා ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජාත්‍යන්තර අපනයන වෙලෙඳපොළ බවට ද යුරෝපා සංගමය පත්ව සිටී. 2018 සහ 2019 යන වර්ෂ දෙකෙහිදීම යුරෝපය හා ගනුදෙනු කිරීමෙන් යුරෝ බිලියනයකට (රු. බිලියන 220කට) වැඩි ධනාත්මක වෙළෙඳ ශේෂයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවීම ඒ බව මැනවින් තහවුරු කරයි.

කෙසේ නමුත් වෙළෙඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවේ. වර්තමානයේ දී පවතින ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ හා යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම සෘජු විදේශ ආයෝජනය වෙත ද සෘණාත්මක බලපෑමක් සිදුව තිබේ. කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අරමුණු සාක්ෂාත් කරගැනීමට ද එය බාධාවකි. එමෙන්ම අමුද්‍රව්‍ය හා යන්ත්‍රසූත්‍ර ආනයනයට බාධා මතුවීම තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට ද අහිතකර බලපෑමක් එල්ල වේ. තවද දිගින් දිගටම ආනයන සීමා පැනවීම, ලෝක වෙළෙඳ සංවිධානයේ නියාමනයන්ට අනුකූල නොවන බව ද මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමු.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට සහාය දැක්වීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය ද අවධානයට යොමුව තිබේ. ශ්‍රී ලංකාවේ විවිධ ජනවර්ග අගර සංහිඳියාව, සාධාරණත්වය හා සාමකාමී පැවැත්ම උදෙසා අඛණ්ඩව කැපවෙන බවට ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබේ. ඒ බව යුරෝපා සංගමය වෙත ද ශ්‍රී ලංකාව තහවුරු කර ඇත. රජය ඒ වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමට ද යුරෝපා සංගමය නිරතුරුව සූදානමින් සිටී. විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍ය හා ක්‍රියාශීලී සිවිල් සමාජයක් පවත්වා ගැනීම එහිලා අත්‍යාවශ්‍ය වේ.

අවසාන වශයෙන්, තවදුරටත් ජාත්‍යන්තර බැඳියාවන් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් ශක්තිමත් සබඳතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව අපි මෙසේ නිවේදනය කරන්නෙමු.

 

Archive

Latest news

Related news