Monday, May 20, 2024

රම්සි රසීක්ට ඇපදීමේ නඩු තීන්දුව: අත් අඩංඟුවට ගැනීමට පොලීසිය දැක්වූ කරුණු ගැටළු සහගතයි; විරෝධතා දැක්වීම අයිතියක් – විනිසුරු

ඡායාරූපය: රම්සි රසීක් සිය බිරිඳ සමඟ.

පසුගිය අප්‍රෙල් 03 දින අයිසීසීපීආර් පතන යටතේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මාස හයක් තරම් රඳවා තබාගෙන සිටි සමාජ ක්‍රියාකාරී රම්සි රසීක්ට ඇප නියම කරමින් කොලඹ මහාධිකරණ විනිසුරු ඒ.කේ.එම්. පටබැදිගේ විසින් දනෙ ලද නියෝගය කියා සිටින්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට විරෝධතා දැක්වීමේ අයිතියද ඇතුළත්වන බවයි.  ඔහු විසින් මහුණු පොතෙහි සදහන් කරන ලද ච්න්තන ජිහිදයක්ට සූදානම් වීම යන්න අත්අඩංගුවට ගැනීමට තරම් කරුණක් දැයි එම නියෝගය ප්‍රශ්ණ කරයි.

ඔහුට ඇප ලබාගත හැකි වූයේ පසුගිය සැප්තැම්බර් 17වනදාය. මෙයට පෙර පොලීසිය එම චෝදනා මතම අත්අඩංඟුවට ගත් ලේඛක සත්කුමාරට ඇප ගබා ගත හැකි වූයේද එවැනිම දිගු කාලයකට පසුය.

ඇප දීමේ නියෝගයේ තවදුරටත් මෙසේ සඳහන් වේ.

“මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද මුහුණු පොතේ සිංහල පරිවර්තනය පරිශීලනය කිරීමේදී මුස්ලිම් ජාතිකයකු වශයෙන් සැකකරු දරන මතය සහ හෝ විශ්වාස කරන ආකාරයට මුස්ලිම්වරුන්ට අගතියක් සිදුවන්නේය යන කරුණු සම්බන්ධයෙන් චින්තන ජිහාදයට එනම්, චින්තනමය අරගලයකට සූදානම් විය යුතු බවත් එහි අවි වශයෙන් පෑන සහ පරිගණක යතුරු පුවරුව භාවිතා කළ යුතු බවත් සඳහන් කර ඇත. එය යුද්ධයකට ආරාධනා කිරීමක් ලෙස සැලකිය හැකිද?

ඒ අනුව යම්කිසි පුද්ගලයෙකු තමා දරන මතවාදය වෙනුවෙන් පෑන සහ යතුරු පුවරුව භාවිතා කරමින් විරෝධය දැක්වීම මතම අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම පනතේ පරමාර්ථයට එකඟද යන්න ගැටළුවකි.

අප ඉතිහාසය පුරාම යම් යම් අය තමන් දරන මතය අනුව තම ආගම පවා විවේචනය කරන ලද අවස්ථා දක්නට ඇත. ඒ අනුව එකී විවේචනය කළ පමණින්ම එය ජාතීන් හා ආගමික ප්‍රජාවන් අතර වෛරී තත්වයන් ඇති වේ ද යන්න බැලූ බැල්මට තීරණය කළ නොහැකිය. අන්තර් ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත පාර්ලිමේන්තුව විසින් පනවා ඇත්තේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පරම චේතනාවෙන් බව එම පනතේ පූර්විකාව පරිශීලනය කිරීමේදී පෙනී යයි.”

නඩු තීන්දුව පහත දැක්වේ:

කොළඹ මහාධිකරණ අංක -06
කොලඹ මහාධිකරණ විනිසුරු ඒ.කේ.එම්. පටබැදිගේ මැතිතුමා ඉදිරිපිටදීය.
නඩු අංකය : එච්.සී.බී.ඒ.224/2020
දිනය 2020.09.17

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ එන.සුමන්තිරන් මහතා සමඟ නීතිඥ ඩිලන් ද සිල්වා පෙනී සිටී.
වගඋත්තරකරුවන් වෙනුවෙන් ජේෂ්ඨ රජයේ නීති නදී අපරිණා සුවන්දුරුගොඩ මහත්මිය පෙනී සිටී.

නියෝගය

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බලමි. විශේෂයෙන්ම මෙම නඩුවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන අවස්ථාවේදී එනම්, වර්ෂ 2020.04.03 දිනැති මුල් තොරතුරු වාර්තාවෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර ඇත්තේ 2020.03.02 දිනැතිව පැය 13.48ට “ලාංකික මුස්ලිම් සමාජය චින්තන යුද්ධයකට මුහුණ පා ඇත (Ideological War)” යනුවෙන් සඳහන් කර ඇත යනුවෙනි. මෙම ප්‍රවෘත්තිය සැකකරු විසින් පවත්වාගෙන යනු ලබන මුහුණු පොතේ පවත්වාගෙන ගොස් ඇති බවත් covid-19 වෛරසය මුස්ලිම්වරුන්ගේ මූලිකත්වයෙන් ප්‍රචාරණය කරන බවට සමාජය තුළ පවතින මතය දුරු කළ යුතු බවත්, ඒ සඳහා මුස්ලිම්වරු වහාම චින්තනයකට (අරගලයකට) සූදානම් විය යුතු බවයි. මේ ආකාරයෙන් මුස්ලිම් ජාතිකයන් තුළ යම් විප්ලවකාරී අදහස් හා ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා මෙම ජීව දත්ත පිටුව මගින් ප්‍රවෘත්ති පළ කර ඇති බවද නිරීක්ෂණය වේ යනු සඳහන් කර ඇත.

මේ හැර සැකකරු විසින් ජාතීන් අතර හෝ ආගමික කණ්ඩායම් අතර වෛරය ප්‍රකාශයක් කර ඇති බවට වෙනත් කිසිවක් සඳහන් කර නැත. යම්කිසි පුද්ගලයකු මතවාදී අරගලයක් හෝ යුද්ධයක් කළ යුතු යැයි පැවසූ පමණින්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ 3 වගන්තිය උල්ලංඝණය වනවා යැයි පැවසීමට හැකියාවක් නැත. ඒ අනුව මෙම කරුණු මත පමණක්ම සැකකරු අත්අඩංගුවට ගැනීමට ගත හැකි ද යන්න බරපතල ගැටළුවකි.

ඉන් පසු වැඩිදුර වාර්තා කිහිපයක් ගොනු කිරීමෙන් පසු 2020.04.30 වන දින සැකකරුගේ මුහුණු පොතේ පවත්වාගෙන ගිය අදහස් දැක්වීම් කිහිපයක්, 2019.12.17, 2019.12.03, 2019.11.30, 2019.11.25, 2020.01.11, 2020.01.30, 2020.02.03,2020.06, 2020.03.07. 2020.02.08 සහ 2020.02.09 ආදී වශයෙන් දෙමළ භාෂාවෙන් ප්‍රකාශයට පත්කරන ලද ආදී වශයෙන් දෙමළ භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශන කිහිපයක සිංහල පරිවර්තනද ඉදිරිපත් කර ඇත

උගත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා සැකකරුගේ රෝගී තත්ත්වයන් පිළිබඳව කරුණු දක්වමින් පැ.7 සහ පැ.8 දරණ වෛද්‍ය වාර්තා කෙරෙහි අවධානය යොමු කරන ලදී.

අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත පැන වීමට ප්‍රධාන හේතු වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවක ප්‍රතිඵලයක් වශයෙනි.

විශේෂයෙන්ම ලංකාව Dualism ප්‍රතිපත්තිය අනුගමනය කරන හෙයින්, අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත බලගැන්වීම සම්බන්ධයෙන් අපේ රට බැඳීමක් ඇති බව පවසා එම බැඳියාව ක්‍රියාත්මක කිරීම වස් එවකට සිටි රජය විසින් මෙම පනත ලංකාවේ පනවන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 3වන පරිච්චේදයේ 10වන වගන්තිය අනුව කිසියම් පුද්ගලයෙකුට මතයක් දැරීමට අයිතිවාසිකමක් ඇත.

එසේම අප ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විවිධ අවස්ථාවන්හිදී විශේෂයෙන්ම අමරතුංග එදිරිව සිරිමල් (1993) ISSLR 264 නඩුවේ දී තීරණය කර ඇත්තේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තුළ විරෝධතාවය දැක්වීමේ අයිතිය ද ඇතුළත් වන බවයි.

මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද මුහුණු පොතේ සිංහල පරිවර්තනය පරිශීලනය කිරීමේදී මුස්ලිම් ජාතිකයකු වශයෙන් සැකකරු දරන මතය සහ හෝ විශ්වාස කරන ආකාරයට මුස්ලිම්වරුන්ට අගතියක් සිදුවන්නේය යන කරුණු සම්බන්ධයෙන් චින්තන ජිහාදයට එනම්, චින්තනමය අරගලයකට සූදානම් විය යුතු බවත් එහි අවි වශයෙන් පෑන සහ පරිගණක යතුරු පුවරුව භාවිතා කළ යුතු බවත් සඳහන් කර ඇත. එය යුද්ධයකට ආරාධනා කිරීමක් ලෙස සැලකිය හැකිද?

ඒ අනුව යම්කිසි පුද්ගලයෙකු තමා දරන මතවාදය වෙනුවෙන් පෑන සහ යතුරු පුවරුව භාවිතා කරමින් විරෝධය දැක්වීම මතම අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම පනතේ පරමාර්ථයට එකඟද යන්න ගැටළුවකි.

විශේෂයෙන්ම 2019.12.17,2019.12.03, 2019.11.25 වන දින සැකකරු පළ කළ ප්‍රකාශ, ඔහුගේ මතය සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වා ඇති අතර එහිදී භාවිතා කර ඇති භාෂාව පිළිබඳ කෙනෙකුට විවිධ අර්ථකථන දිය හැකිය.

අප ඉතිහාසය පුරාම යම් යම් අය තමන් දරන මතය අනුව තම ආගම පවා විවේචනය කරන ලද අවස්ථා දක්නට ඇත. ඒ අනුව එකී විවේචනය කළ පමණින්ම එය ජාතීන් හා ආගමික ප්‍රජාවන් අතර වෛරී තත්වයන් ඇති වේ ද යන්න බැලූ බැල්මට තීරණය කළ නොහැකිය. අන්තර් ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත පාර්ලිමේන්තුව විසින් පනවා ඇත්තේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පරම චේතනාවෙන් බව එම පනතේ පූර්විකාව පරිශීලනය කිරීමේදී පෙනී යයි.

එබැවින් මෙම සියලුම කරුණු සලකා බැලීමේදී සැකකරු තවදුරටත් බන්ධනාගාරගතව සිටීම සුදුසු නොවන බව මම තීරණය කරමි. ඒ අනුව සැකකරු පහත සඳහන් කොන්දේසි මත ඇප මත මුදාහැරීමට තීරණය කරමි.

1.රුපියල් දස ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් ඉදිරිපත් කළ යුතුය.
2. ඇපකරුවන් උගත් මහේස්ත්‍රාත්තුමාට පිළිගත හැකි ඇපකරුවන් විය යුතු අතර ඔවුන්ගේ පදිංචි සහතික ඉදිරිපත් කළ යුතුය.

අද දින ඇප නියෝගයේ පිටපත් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙසත් අවශ්‍ය නම් පිටපතක් පෙත්සම්කරුට ලබා දෙන ලෙසත් රෙජිස්ට්‍රාර්වරයාට නියම කරමි.

එ.කේ.එම්.පටබැදිගේ
මහාධිකරණ විනිසුරු
මහාධිකරණය – අංක 06
කොළඹ
2020.09.17

Archive

Latest news

Related news