Friday, April 26, 2024

ශ්‍රේෂ්ඨාධිකරණයට අමාත්‍යාංශය පයින් ගහයි; ලංකා ගුරු සංගමය අධිකරණයට

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2016 වසරේ පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 35 කට සීමා කළ යුතු බවට 2011 වසරේ ලබා දී ඇති තීරණයට පටහැනිව පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ දැමීමට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණය හෙළා දකින ලංකා ගුරු සංගමය එම තීරණයට විරුද්ධව තමන් අධිකරණය හමුවට යන බව ප්‍රකාශ කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව කටයුතු කරන බවට ප්‍රකාශ කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය 2016 වසරේ ළමුන් 40 කින් ආරම්භ කොට වසරකට එක් සිසුවා බැගින් අඩු කොට 2021 වසරේ සිට ළමුන් 35 තීරණය කි‍්‍රයාවට නැගීමට අවශ්‍ය චක්‍රලේඛය නිකුත් කොට ඇතා බවත් එසේ තිබියදී එම තීරණය උල්ලංඝණය කරමින් අමාත්‍ය මණ්ඩලය විසින් ළමුන් 35 සීමාව 45 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවත් ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරයි.

එම නිවේදනය තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි.

අමාත්‍ය මණ්ඩල තිීරණය ප්‍රකාශයට පත් කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය 2020.10.07 නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ අත්‍යාවශ්‍ය වෘත්තික කණ්ඩායම් සහ විවිධ පදනම් මත පාසලට ඇතුළත් කිරීමේ දී ළමුන් 35 උපරිම සීමාව සමාජ ගැටලූවක් බවට පත් වී ඇති බවයි.

මේ අනුව පැහැදිලි වන්නේ තෝරා ගත් පිරිසකට වරප්‍රසාදයක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි. ලංකාවේ පාසල් 10174 ක් තුළ ජාතික පාසල් 378 ක් පැවතියද බරපතල තරගකාරීත්වයක් ඇත්තේ පාසල් 36 ක පමණි. මෙම ජනපි‍්‍රය සහ අධි ඉල්ලූමක් සහිත පාසල්වලට සමානව සිසුන් ඇතුළත් කිරීම වෙනුවට තෝරා ගත් පන්තියකට ඉඩ ලබාදීම වෙනුවෙන් මෙවැනි තීරණ ගැනීම සමාන සැලකීමේ මූලධර්මය උල්ලංඝණය කිරීමකි.

35 සීමාව තුළ ද මෙම කණ්ඩායම්වල දරුවන් ඇතුළත් කිරීමට ඉඩකඩ පවතින අතර, පන්ති කාමරය තුළ ප‍්‍රශස්ත අධ්‍යාපනයක් ලබාදීමට සහ සෑම දරුවෙක් සම්බන්ධයෙන් ම අවධානය යොමු කිරීමට 35 සීමාව පැවතීම අත්‍යාවශ්‍ය තත්වයකි. ශ්‍රේෂ්ඨාධිකරණය සියලූ පාර්ශවයන්ගේ කරුණු අවධාරණයට ලක් කොට එම තීරණය ගෙන ඇත.

සැබවින්ම පවතින සමාජ ගැටලූව වන්නේ සෑම පාසලක් ම සමානව දියණු කර සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අවස්ථා ලබාදීමට කටයුතු නොකිරීමයි. ඉහත තීරණය තුළ දේශපාලනඥයන් ඇතුළු විවිධ කණ්ඩායම්වලට තම ඕනෑ එපාකම් මත ජනපි‍්‍රය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ අවස්ථාව උදාකර ගැනීමේ කූට අරමුණු මේ තුළ පවතින බව අප ප‍්‍රකාශ කර සිටිමු. ජනපි‍්‍රය පාසල්වලට කෙසේ හෝ දරුවන් ඇතුළත් කිරීමට දෙමාපියන් උත්සාහ දැරූව ද අධ්‍යාපන බලධාරීන් කළ යුත්තේ ජනපි‍්‍රය පාසල්වල පන්තිකාමර අසීමිතව පිරවීමට කටයුතු කිරීම නොව සියලූ පාසල් සමානව සංවර්ධනය කිරීමයි. පන්ති කාමරයේ ළමුන් සංඛ්‍යා වැඩිකිරීම ගුරුවරුන්ට ඉගැන්වීමේ කටයුතු නිසි පරිදි සිදු කිරීමට බාධාවකි.

35 සීමාව උල්ලංඝණය කරමින් ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කොළඹ රාජකීය විද්‍යාලයීය සංගමය විසින් CA(WRT)358/2019 අංකයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇති අතර, එහිදී අතුරු නියෝගයක් ලබා දෙමින් අභියාචනාධිකරණය ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව ළමුන් ඇතුළත් කරන ලෙසයි.

සිසුන් වැඩි කිරීමේ තීරණය මගින් සෙසු පාසැල්වලට ළමුන් ඇතුළත්වීම අඩු වන අතර, මේ තුළින් පාසල් ක්‍රමානුකූලව කඩා වැටීම නොවැලැක්විය හැක.

ආණ්ඩුව ජනාධිපති කාර්ය සාධක බලකාය මෙන්ම විවිධ කොමිෂන් ද පත් කරමින් අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් සිදු කරන බවට ජනාතාව මත බලාපොරොත්තු ඇති කරමින් ඊට පටහැනිව තෝරාගත් පන්තියකට අධ්‍යාපනය සීමා කිරීමේ මෙවැනි තීරණ ගැනීම දෙබිඩි පිළිවෙතකි.”

Archive

Latest news

Related news