Saturday, April 27, 2024

“තොරතුරු ඉල්ලන මාධ්‍යවේදීන් පසු පස දැන් පොලීසිය හඹා එනවා” – තොරතුරු දින හෙළිදරව්වක්

තොරතුරු දැනගැනීමේ පනත ජයග්‍රහණ සහ අභියෝග” මැයෙන් ඉකුත් සදුදා (28) කොළඹදී පැවැති විවෘත සංවාදයට සහභාගි වූ ජවමාධ්‍යවේදීන් ගණනාවක්ම තොරතුරු කොමිසමෙන් තොරතුරු ඉල්ලා සිටීමේදී මර්ධනකාරී ප්‍රවණතාවයක් ඇති වෙමින් තිබෙන බව පෙන්වා දුන්හ.  නාරාහේන්පිට බර්නාඞ් සොයිසා මාවතේ අංක 96 දරණ ස්ථානයෙහි පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැති මෙම සංවාදය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කොට තිබුණේ එදිනට යෙදී තිබූ අන්තර්ජාතික තොරතුරු දිනය නිමිත්තෙනි.

[title]තොරතුරු ඉල්ලූ නිසා පොලිස් විමර්ශණයක්[/title]

විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 18ක සේවා කාලයක් සපුරා ඇති මාධ්‍යවේදී රාහුල් සමන්ත එහිදී පැවසුවේ තොරතුරු පනත යටතේ තොරතුරු අයදුම් කරන මාධ්‍යවේදීන් අපරාධකරුවන් සේ සළකා පොලිස් විමර්ශනයන්ට ලක් කෙරෙන ප්‍රවණතාවයක් මේ වන විට රට තුළ උද්ගතව ඇති බවය. පසුගියදා වවුනියාව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයෙන් තමන් යම් තොරතුරක් ඉල්ලා සිටි බවද, ඊට ප්‍රතිචාර වශයෙන් මේ වන විට වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් තමන් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බවද ඔහු පැවසීය. ගතවූ වසර දෙක තුළ තමන් පොදු අධිකාරින් 1150කට ආසන්න සංඛ්‍යාවකින් තොරතුරු ඉල්ලා අයදුම්පත් යොමු කොට තිබුණද අයදුම්පත ලැබුණ බව දන්වා එවා තිබුණේ ඒ අතරින් 174ක් පමණක් බවද ඔහු සඳහන් කළේය. තොරතුරු ලබා නොදීමට එරෙහිව තමන් අභියාචනා 150ක් පමණ තොරතුරු කොමිසම වෙත යොමු කොට ඇති බවත්, ඇතැම් ඒවා තවමත් විභාග වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

[title]ජනපති කාර්යාලයත් බිය ගැන්වීමක[/title]

වීරකේසරී පුවත්පතේ සහකාර කර්තෘ එස්. සිවකුමරන් සිය අත්දැකීම් අනාවරණය කරමින් පැවසුවේ 2010 වසරේ සිට අලුත් අවුරුදු දිනයදා ජනාධිපතිවරයාගෙන් පුරවැසියන්ට ලැබෙන දුරකථන කෙටි පණිවුඩ සුබ පැතුම සඳහා ඒ ඒ දුරකථන සමාගම් වෙත ගාස්තු ගෙවීම් කරන්නේ කවුරුන් විසින්ද යන්න දැනගැනීමට තමන් විදුලි සංදේශන නියාමන කොමිසමට තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කළ බවය. එහිදී පෞද්ගලික තොරතුරක් වන සිය දුරකථන අංකය තමන්ගේ අවසරයකින් තොරව ජනාධිපතිවරයාට ලබාදෙන්නේ කවුරුන්ද යන්න තමන් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් විමසා සිටි බවද ඔහු පැවසීය. ඊට අදාළ තොරතුරු ලබාදෙනවා වෙනුවට වහාම ලැබුණු ප්‍රතිචාරය වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් තම කර්තෘවරයාට දුරකථනයෙන් අමතා තමන් ගැන විස්තර විමසා තිබීම බවද සිවකුමරන් අනාවරණය කළේය.

තොරතුරු කොමිසමෙහි සාධනීය භූමිකාව පිළිබඳව සම්මන්ත්‍රනයේ ප්‍රධාන දේශනය පැවැත් වූ තාක්ෂණය, මාධ්‍යය සහ විකාශන සන්නිවේදනයට අදාළ ඉන්දියානු නීතිවේදිනියක වන අශ්විනි නටේසන් වීරබාහු තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව විවිධ අයදුම්කරුවන් තොරතුරු ලබාගැනීමට යාමේදී මුහුණ පාන දුෂ්කරතා සහ ගැටළු සම්බන්ධයෙන්, තොරතුරු කොමිසන් සභාව වෙත 2017-2019 කාලය තුළ වැඩිම අභියාචනා ප්‍රමාණයක් යොමුව ඇත්තේ ‘ආයතනික විනිවිදභාවයට’ අදාළව අයදුම් කළ තොරතුරු විෂයෙහි බවත්, එම අභියාචනා සංඛ්‍යාව 571ක් බවත්, තොරතුරු කොමිසමේ තීරණ සම්බන්ධයෙන් කළ අධ්‍යනයක ප්‍රථිඵල විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් පැවසීය.

දෙවනුවට වැඩිම අභියාචනා ප්‍රමාණයක් යොමුව ඇත්තේ රැකියා සහ කම්කරු විෂයට අදාළව බවත්, එම සංඛ්‍යාව 373ක් බවත් පෙන්වා දුන් ඇය, සියලු අභියාචනාවලට පදනම් වී තිබුණේ අදාළ අධිකාරින් මගින් නියමිත කාලය තුළ නිසි පරිදි අයදුම්කරුවන්ට තොරතුරු ලබා නොදීම සහ තොරතුරු දීම ප්‍රතික්ෂේප කිරීම් බවද ඇය ප්‍රකාශ කළාය.

තවදුරටත් අදහස් දැක්වූ අශ්විනි නටේසන් මෙසේද ප්‍රකාශ කළේය.  “මධ්‍යම රජයේ පොදු අධිකාරින්ට එරෙහි අභියාචනා 783ක් කොමිසමට ඉදිරිපත් වෙලා තියනවා. පළාත් මට්ටමෙන් 259ක් ඉදිරිපත් වෙලා තියනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් 142ක් ඉදිරිපත් වෙලා තියනවා. මේවායින් දින 14ක් ඇතුළත ප්‍රතිචාර ලබාදී ඇති ප්‍රතිශතය 31%-34% අතර ප්‍රමාණයකයි පවතින්නේ. දින 28ක් අතර ප්‍රතිචාර දැක්වීම් ප්‍රතිශතය 18%-27% අතර ප්‍රමාණයක ව්‍යාප්තව පවතිනවාකොමිසන් සභාවේදි තොරතුරු නිකුත් කළ අභියාචනා ප්‍රමාණය 87%ක ප්‍රතිශතයක් දරනවා. 16%ක අභියාචනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.”

රාවය පුවත්පතේ මාධ්‍යවේදීනි ඉඳුනිල් උස්ගොඩආරච්චි සංවාද සභාව හමුවේ අදහස් දක්වමින් පැවසුවේ දුම්රියේ හැපී සිදුවන අලි මරණ දිනෙන් දින ඉහළ යාමෙන් පසුව ඒ පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කරන ලද තොරතුරු විමසීමකදී, දැනට ධාවනයෙහි යෙදෙන දුම්රිය එන්ජින් 40කම වේග මාපක (ස්පීඩෝ මීටර්) නොමැති බව අනාවරණය කරගැනීමට තමන්ට හැකි වූ බවය. ආනයනික කිරි පිටිවල අධි අවදානම් රසායනික ඇති බවට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙක් සිදුකළ ප්‍රකාශයකට අදාළව තමන් සිදු කළ ගවේෂණයකදී අනාවරණය වූයේ සැක සහිත කිරිපිටි සාම්පල ජර්මනියට යවා සිදුකළ පර්යේෂණවලදී එවැනි අවදානම් රසායනික කිසිවක් එම කිරිපිටිවල අඩංගු නොවන බව පර්යේෂණායතනය වාර්තා කොට තිබුණු බවය. එහෙත් ජනමාධ්‍ය එම පුවත වාර්තා නොකළ බවද ඇය පෙන්වා දුන්නාය

මෙම කරුණු ඇතුලත් වන්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කාරිනිය වන සීතා රංජනී විසින් නිකුත් කරන ලද වාර්තාවකය.

 

 

Archive

Latest news

Related news