Monday, May 20, 2024

නඩු විභාග දෙකක චූදිත නියෝජ්‍ය පොලිස්පතිවරයකු සේවයේ පිහිටුවන ලෙස “පළිගැනීම් විමසන කොමිසම“ නිර්දේශ කරයි.

දැනට වැඩ තහනමට ලක්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යළි සේවයේ පිහිටුවන ලෙස නිර්දේශ කරන්නැයි පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව වැඩ බලන පොලිස්පතිෙවරයාට දන්වා තිබේ කර තිබේ.

යාපන මහාධිකරණය හමුවෙහි අධිචෝදානා ලබා සිටින  ඔහු ප්‍රේමලාල් ජයසේකර වරදකරු බවට පත් මිනීමැරුම් නඩුවට අදාල සාක්ෂි වසං කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබා සිටී.

යාපනයේ විද්‍යා දැරියගේ ඝාතන සිද්ධියට සම්බන්ධ මාලිංගම් ශෂිකුමාර්ට පළා යාමට ආධාර අනුබල ලබාදීම සම්බන්දයෙන් ලලිත් ජයසිහට විරුද්ධව යාපන මහාධිකරණයේ නඩු පැවරී තිබේ. ඊට අමතරව කහවත්ත ඝාතන සිද්ධියේ වරදකරු වූ ප්‍රේමලාල් ජයසේකරගේ නම ඉවත් කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කළැයි යන චෝදනා උඩ ද ඔහුට නඩු පැවරී තිබේ.

එම කරුණු උඩ වැඩ තහනමට ලක්ව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් සිදුකර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා එම පැමිණිල්ලට අදාළව සාක්ෂි විමසීම සඳහා කොමිසම හමුවට පසුගිය 07 දින කැඳවා තිබේ. එම අවස්ථාවෙහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ සේවය යළි පිහිටුවීම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නොමැති බවය.

හු සේවයේ නොපිහිටුවීම ඍජු ලෙසම දේශපාලන පළිගැනීම මත කළ ක්‍රියාවක් යැයි පෙනී යන බව සභාපති විනිසුරුවරයාද මෙහිදී ප්‍රකාශ කළ බව අද දෙරණ වාර්තා කර තිබේ.

ලලිත් ජයසිංහ මහතා සේවයේ පිහිටුවන්නැයි ඉදිරිපත් කළ අභියාචනා සැලකිල්ලට ගනිමින් ඔහු සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසූ බවත් ලලිත් ජයසිංහ මහතා යළි සේවයේ පිහිටුවීම සුදුසු නොවන බව ඊට පිළිතුරු ලිපියක් යොමු කරමින් නීතිපතිවරයා තමන්ට දැනුම් දුන් බවත් වැඩබලන පොලිස්පති වික්‍රමරත්න මහතා පවසා ඇත.

ආයතන සංග්‍රහයට අනුව පරිපාලනමය තීරණ ගැනීමේ මූලික වගකීම වැඩබලන පොලිස්පතිවරයා ලෙස තමන්ට තිබියදී නීතිපතිවරයාගේ මතය විමසුවේ ඇයි දැයි සභාපති විනිසුරු යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් වික්‍රමරත්න මහතා තමා යම් තීරණ ගැනීමේ දී නීතිපතිවරයාගෙන් උපදෙස් විමසන බව ප්‍රකාශ කර තිබේ.

තවද වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ලලිත් ජයසිංහ මහතා යළි සේවයේ පිහිටුවීම තුළින් ඔහුගේ නඩු විමර්ශනය කරන පොලිස් නිලධාරීන්ට ඒ තුළින් යම් කිසි බලපෑමක් එල්ල විය හැකි බැවින් ඔහු නැවත සේවයේ පිහිටු වීම පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් පවතින බවය.

මෙහිදී සභාපති විනිසුරුවරයා දැඩි ස්වරයෙන් ප්‍රශ්න කළේ මෙම නඩුවලට අදාළව අධිචෝදනා ගොනු කළ නීතිපති දෙපාර්තමේන්තුවෙන්ම ජයසිංහ මහතා යළි සේවයේ පිහිටුවීම පිළිබඳ මතය විමසීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්නොවේද යන්න බවද එම අද දෙරණ වාර්තාවේම සඳහන් වේ.

සාක්ෂි විමසීම අවසානයේ කොමිසම තීරණය කර ඇත්තේ අධිචොදනා ලබා සිටින නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා සේවය පිහිටුවීම සම්බන්ධයෙන් නිර්දේශ පොලිස් කොමිසමට ඉදිරිපත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාට යම්කිසි කාලයක් ලබාදීමට.

මේ පිළිබඳ ඊළඟ නඩු දිනය සැප්තැම්බර් 18ට නියම කරන ලදී.

(අද දෙරණ වාර්තාවද ඇසුරිණි)

Archive

Latest news

Related news