Saturday, April 27, 2024

ලංකාගම පාරේ හැංගූ ගිං-නිල්වලා වංගුව ! – ශාලික විමලසේන

ඡායාරූපය: ලංකාගමට ගිය ජනාධිපති රාජපක්ෂ.

ලංකාගම ජනතාවට ඒ පාර අත්‍යවශ්‍ය බවත්, විධිමත් පරිසර තක්සේරුවකින් තොරව කඩිමුඩියේ හමුදාව යොදවා එය ඉදි කරන්නේ ඇයි ද යන්නත් අපි පසුගිය සතියේ ලීවෙමු. මේ පාර කපන්නේ ඇත්තටම ජනතාව වෙනුවෙන් නොවන බවත්, එහි ප්‍රධාන අරමුණක් වන්නේ ගිං-නිල්වලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීම බව ද ලීවෙමු.

එය මෙතෙක් ආරම්භ කර නැතත්, පාර වැටී ඇත්තේ එතනට ය. අවශ්‍ය ම මොහොතේ අවශ්‍ය ම දේ නොකරන්නේ නම්, ඊට සුදුසු වෙලාවක් නැවත ලැබෙන්නේ නැත. ඊට හොඳම උදාහරණයකි, උමා ඔය ව්‍යාපෘතිය. උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ මෙමඟින් සිදු වන පරිසර හානි, ජලයට සිදු වන බලපෑම පිළිබඳව පැහැදිලි කරන්නට උත්සාහ කළ විට ලංකාගම වගේම එහි ජනතාව ද මෙසේ කීය.
“සංවර්ධනයට අකුල් හෙළන්න එපා. ගමේ වැඩක් කළා ම දවසට හම්බ වෙන්නෙ රුපියල් දාහයි. ඉරාන කොම්පැනියෙන් අපිට දෙදාහක් ගෙවනවා. අපි කාලා, ඇඳලා ඉන්නවට ඉරිසියා කරන්න එපා.”
ඉන් වසර ගණනාවකට පසු ඒ ජනතාව පෙර කී පීඩා අත්වින්දෝය. නිවෙස් ඇතුළත ආවාට ඇති විය. ළිං සිඳිණි. ඔයවල් පවා හිඳී ගියේය. එහෙත්, ඒ වන විට එය ආපසු හැරවිය නොහැකි තරමට ඉදිරියට ‌ගොස් අවසන් ය.
ඒ වෙලාවේ ජනතාව වැරදි නැත. අගහිඟකම්වලින් මිරිකී සිටි, තමන්ගේ එළවළුවලට නිශ්චිත මිලක් නැති ඔවුන්ට රුපියල් දෙදාහ වැදගත් ය. මේ වෙලාවේ ලංකාගමට පාර වැදගත් වන්නේත් හරියටම ඒ වගේ යැයි තවත් වසර ගණනාවකින් කියන්නට සිදුවන්නට ද ඉඩ තිබේ. එහෙම කියන්නේ මේ නිසා ය.

එම නිසා දැනට මෙසේ ලියා තබමු. පසුව ගුණ-දොස් කතා කරමු.

[title]අරමුණු සාර්ථක ද?[/title]

ගිං-නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියට අදාළ මූලික ශක්‍යතා අගැයීම් වාර්තා අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ ප්‍රධාන අරමුණු කිහිපයක් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ය. මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක දෙකේ ප්‍රදේශ රැසකට පානීය ජලය සැපයීම, හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ සහ වාණිජ කර්මන්ත කලාපයට ජලය සැපයීම සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 8,500ක වගා බිම්වලට ජලය සැපයීම, හම්බන්තොට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ඒ අතර වේ. තත්ත්වය මෙසේ වුව ද, ගිං-නිල්වලා ද්‍රෝණිවල ජීවත්වන ජනතාවට පවසා ඇත්තේ, වර්ෂා කාලයට ඇති වන ගංවතුර පාලනය කිරීම සඳහා එම කාලයේ දී මේ ගංගා දෙකේ අතිරික්ත ජලය හම්බන්තොටට යවන බව ය. එහෙත්, ඉහත අරමුණු දෙස බලන විට පෙනී යන්නේ මෙය වසර පුරාම ක්‍රියාත්මක වීමට නියමිත බව ය. එනම්, වර්තමානයේ දී ද වර්ෂාව නොමැති කාලයේ මෙම ගංගා ද්‍රෝණිවල ජනතාව දැඩි ජල හිඟයකට මුහුණ දෙන අතර, ඉදිරි කාලය ඔවුන්ට තවත් අමාරු වනු ඇත.

මෙය පැරණි සැලසුමකි. එය අදට ගැළපෙන්නේ ද යන්න ප්‍රශ්නයකි. 1936 වසරේ දී මුල්වරට අධ්‍යයනය කළ ගිං-නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය, වර්තමානයේ දී ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහය බරපතළ ගැටලු මතු කරන්නකි. මේ වන විට ගිං සහ නිල්වලා ගංගාවල ජල පෝෂක තෙත් වනාන්තර බොහොමයක් එළිපෙහෙළි කර පහතරට තේ වගා කර ඇත. මේ නිසා මෙම ගංගා ද්‍රෝණිවල ජලය විධිමත්ව පොළොවට උරා ගැනීමක් සිදු නොවේ. වර්ෂා කාලයේ දී මතුපිටින් ගලා යන ජලය ගංගාවලට එක් වී, තාවකාලික ගංවතුර තත්ත්වයන් ඇති කරයි. නියං කාලවල දී මතුපිට පසේ ඇති ජලය ශීඝ්‍රයෙන් වාෂ්ප වී, ජල හිඟයක් ඇති කරයි. මේ නිසා වර්ෂාව නොමැති කාලයේ දී පානීය ජල ප්‍රශ්නය, තේ වගාවට අවශ්‍ය ජලය නොමැති වීමෙන් අස්වැන්න අඩු වීම ආදී ගැටලු ඇති වේ. හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු වන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ ය.

[title]උමං සැලසුම්[/title]

මෙම ව්‍යාපෘතිය යටතේ මූලිකව සිදු කෙරෙන්නේ පිටදෙනිය-ලංකාගම, කොටපොළ සහ අම්පනාගල ඉදි කෙරෙන වේලි තුනක් මඟින් කුඩා ජලාශ තුනක් ඉදි කර, උමං කිහිපයක් ඔස්සේ මුරුතවෙල ජලාශය දක්වා ගිං-නිල්වලා ජලය රැගෙන යාම ය. ඉන් පසුව ඇළ මාර්ගයක් ඔස්සේ චන්ද්‍රිකා වැව දක්වා ජලය ගෙන යන අතර, එමඟින් උඩවලව ජලාශයට ජලය ගෙන යාමට සැලසුම් කර ඇත. එහි දී කිරිඉබ්බන් වැව සහ මවුආර පෝෂිත ඇළ දක්වා ජලය පොම්ප කර යැවීමට නියමිත ය.

මෙම ව්‍යාපෘතිය යටතේ සිංහරාජ රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව ඉදි කෙරෙන පිටදෙනිය – ලංකාගම ජලාශයේ ජල පැතිරුම් ප්‍රදේශය අක්කර 14ක් ලෙස සැලසුම්වල දැක්වේ. ගිං ගඟ හරහා මීටර් 93ක් දිග සහ මීටර් 4.5ක් උස වේල්ලක් ඉදි කර මෙම ජලාශය ඉදි කෙරේ. ජලාශයේ සිට කිලෝමීටර් 12.5ක් දිග සහ විෂ්කම්භය මීටර් 4.3ක් වන උමඟකින් දියදාව වන රක්ෂිතය හරහා ගල්දොළ දක්වා ජලය ගෙන යාමට නියමිත ය. මෙවැනි උමං මාර්ග තුනක් හරහා ව්‍යාපෘතියේ ජලය ගෙන යන බව සැලසුමේ සඳහන් ය.

ලංකාගම – මාදුගැට ප්‍රදේශයේ මෙහි මුල් උමඟ කැණීමට අදාළ සටහන් යොදා තිබේ. ආන්දෝලනයට තුඩු දී ඇති ලංකාගම පාර පුළුල් කිරීමේ මූලික අරමුණ මීට අදාළ දැවැන්ත යන්ත්‍රසූත්‍ර රැගෙන ඒම බවට තර්ක කළ හැකිය. දැනට නෙළුව හරහා ලංකාගමට හෝ දෙනියායේ සිට ලංකාගමට ඇති පාරෙන් ඒවා ගෙන එන්නට නොහැකි ය. ජනතාවට මේ තරම් පුළුල් පාරක් අවශ්‍ය වන්නේ ද නැත. ජනතාව මේ තරම් පුළුල් පාරක් ඉල්ලු‍වේ ද නැත. පරිසර තක්සේරුවකින් තොරව හමුදාව යොදවා ජනතාව වෙනුවෙන් මේ හදිස්සියේ පාර හදන්නේ වෙන කුමකට ද?

[title]චීනයටම දෙන්නේ ඇයි ?[/title]

මේ උමඟ ඉදි කිරීමට යෝජිත ප්‍රදේශය යනු පොළොව අභ්‍යන්තරයේ වැඩි පීඩනයක් සහිත ජල ගබඩා වැඩියෙන්ම ඇති ප්‍රදේශයකි. භූ විද්‍යාත්මක වචනයෙන් කියන්නේ නම්, එය සංවෘත ජලධරයන් ය. මීට අදාළ ශක්‍යතා අධ්‍යයනයක දී පොළොව විදීමෙන් පසු මතු වූ එවැනි ජල ධාරාවක් මීටර් තිහකට වැඩි උසකට විහිද ගිය බවට භූ විද්‍යා හා පතල් කාර්යාංශය සාක්ෂි දරයි. එනම් උමඟ කැණීමත් සමඟ මේ ජල ධාරා, ව්‍යාපෘතියට එක් වීම සිදු විය හැකි බව භූ විද්‍යාඥයන්ගේ අදහසයි. එයින් සිදු වන්නේ ලංකාගම සහ ඒ අවට ඇතුළු විශාල ප්‍රදේශයක අභ්‍යන්තර ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම බව ඔවුහු පෙන්වා දෙති. එනම් උමා ඔයේ කතාවට සමාන ය.
මෙවැනි ගංගා හරස් කිරීමේ අත්තනෝමතික ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව වැනි මූල්‍ය සහාය ලබා දෙන ආයතනවලින් සහාය ලබා ගත නොහැකි ය. ඔවුන් එහි දී ඉල්ලා සිටින පරිසර තක්සේරු ලබා දිය නොහැකි ය. එම නිසා ආණ්ඩු වෙනත් පාරක් බලා තිබේ. චීනය ඒවා සලකන්නේ නැත. ඔවුන්ට අදාළ වන්නේ තම බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් සකස් කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ය. චීනය මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී සහ ඒවාට අදාළ ණය මුදල් ලබා දීමේ දී ජනතාවගේ අයිතිවාසිකම්, පාරිසරික තත්ත්වයන් ගැන තැකීමක් නොකරයි. චීන
සමාගම්වල මෙම හැසිරීම හඳුනා ගැනීමට ඇති හොඳම උදාහරණයකි, රාජාංගනය ජල ව්‍යාපෘතිය. රාජාංගනය වැව යටතේ ගොවි පවුල් තිස්පන් දහසක්, අක්කර 22,500ක ගොවිබිම් වගා කරති. එම වැවෙන් ජලය ලබාගෙන සිදුකරන ව්‍යාපෘතියක් සඳහා චීන සංවර්ධන බැංකුවෙන් ණය ලබා දී තිබේ. එහි දී ජනතාවට සිදුවන හානිය සහ පරිසර හානි පිළිබඳව කිසිදු තක්සේරුවක් කර නොමැති බව පරිසරවේදීහු පෙන්වා දෙති. මෙම ඉදිකිරීමට මැදිහත් වී සිටින චීන සමාගම්වලට සහ ණය ලබාදෙන චීන සංවර්ධන බැංකුවට ඒ පිළිබඳව පැමිණිලි කර ඇතත්, ඔවුන් ආණ්ඩු වගේම ඒවා කනකට ගෙන නැත.

[title]ළැදියාවන් ගැන නොසැලකීම[/title]

එම නිසා ම ගිං-නිල්වලා ව්‍යාපෘතිය ද චීනයට ලබා දීම සිදු වී ඇත. ඉන් පසු 2009 වසරේ සිට 2014 වසර දක්වා මෙම ව්‍යාපෘතියට අදාළ භූ විමර්ශන සහ මිනුම් කටයුතු චීන සමාගමක් මඟින් සිදු කර ඇත. 2015 පත් වූ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට චීන සමාගමක් වෙත ලබා දී තිබේ.

පරිසරවේදීන් සහ නීතිවේදීන් පෙන්වා දෙන්නේ මෙය මුළුමනින්ම ළැදියාවන් පිළිබඳ ගැටලු මතු කරන්නක් බවයි. චීන සමාගම් ගණනාවක් මඟින් හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා අත්‍යවශ්‍ය යටිතල පහසුකමක් වන ජලය ලබා ගැනීම සඳහා වන ශක්‍යතා අගැයීම තවත් චීන සමාගමකට භාර දීම මෙහි ඇති ළැදියාවන් පිළිබඳ ගැටුමයි. එසේ ම මීට අදාළ ණය ලබා දෙන්නේ ද චීන බැංකුවක් මඟින් ය. එහි දී ඔවුන් මෙරට ජනතාවගේ අයිතිවාසිකම් සහ පරිසර විනාශය පිළිබඳ අතිශය වගකීමෙන් කටයුතු කරමින්, ඔවුන්ගේ ලාභය සහ අනෙකුත් වාසි අහිමි කර ගනිතැයි ඔබ සිතන්නේ ද? ණය ලබාදෙන බැංකුවලට අවශ්‍ය වන්නේ ණය මුදල ලබා දී, ඉන්පසු පොලිය සහ ණය මුදල නැවත අය කර ගැනීමට ය. විශේෂයෙන්ම මෙම චීන සමාගමට භාර දී ඇත්තේ, ව්‍යාපෘතිය පිළිබඳ භූ විමර්ශන, මිනුම් සහ සැලැසුම් ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට ය. සමාජ, ආර්ථික, පාරිසරික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන බවක් එහි සඳහන් නොවේ. 2009 සිට 2014 දක්වා සහ 2015 – 2019 දක්වා පැවැති ආණ්ඩුත්, කළ, 2019දී බලයට පත් වූ ආණ්ඩුවත් කරමින් සිටින ඒ වැඬේ සාර්ථකව ඉදිරියට යමින් තිබේ.

[title]හවුලේ මුදල් කොල්ලය[/title]

තව දුරටත් මේ කාරණය මෙසේ ද පැහැදිලි කර ගත හැකි ය. 2014 වසරේ දී ගිං-නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 696ක ඉංජිනේරු, ප්‍රසම්පාදන හා ඉදි කිරීම් කොන්ත්‍රාත්තුවක් චීන සමාගමකට භාර දී ඇත. නමුත්, මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ණය ගිවිසුම විධිමත් ලෙස චීන අපනයන සහ ආනයන බැංකුව සමඟ අත්සන් කර නැති බව මූල්‍ය වාර්තා මඟින හෙළි කෙරේ. එසේ තිබිය දී 2015දී මහා භාණ්ඩාගාරය මඟින් මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 3,549ක මුදලක් නිදහස් කර තිබේ. 2017 ජනවාරි 24 වැනි දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී, ව්‍යාපෘතියේ ඇති මූල්‍ය අවුල පිළිබඳ විමර්ශනයක් කිරීම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දී ඇත. එහෙත්, මේ වන තුරුත් ඒ පිළිබඳ කිසිදු විමර්ශන වාර්තාවක් එළියට ආවේ නැත.

[title]නීතියේ ආධිපත්‍යය නම් විහිළුව[/title]

මෙම ව්‍යාපෘතිය මඟින් නීතියේ ආධිපත්‍යයට එල්ල කරන බලපෑම ද සුළු කොට තැකිය නොහැකි ය. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දිනැති අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව ගංගා ද්‍රෝණි සංවර්ධන සහ වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර වෙනත් සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම, සියලු‍ම උමං කැණීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, වන සංරක්ෂණ ආඥා පනත සහ ජාතික උරුම වන භූමි පනත යටතේ ප්‍රකාශිත රක්ෂිතයක මායිම් හෝ මායිමේ සිට මීටර් 100ක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සහ පාංශු සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශිත යම් භූමි ප්‍රදේශයක් තුළ යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර පරිසර බලපෑම් අගැයීම් ක්‍රියාවලියට යටත්ව පාරිසරික අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය වේ. එපමණක් නොව 2005 අංක 12 දරන පනතින් සංශෝධිත 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනතට අනුව ප්‍රකාශිත 2000 ඔක්තෝබර් 04 දිනැති අංක 1152/14 දරන ගැසට් නිවේදනය අනුව ඉඩම් සහ තෙත් බිම් ජලයෙන් යට කිරීම සඳහා හෙක්ටයාර දෙක ඉක්මවන භූමි ප්‍රදේශ ලබා ගැනීමේ දී පුරාවිද්‍යාත්මක හානි අගැයීමක් සිදු කර ඊට පුරාවිද්‍යාත්මක අනුමැතිය ද ලබා ගත යුතු ය. මෙම සියලු‍ අණපනත් උල්ලංඝනය කරමින්, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු සිදු වෙමින් පවතී. ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ දැක්වෙන 12 (1) උප ව්‍යවස්ථාවේ සඳහන් ‘නීතිය පසිඳලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය සර්ව සාධාරණ විය යුතු ය’ යන්න අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

[title]ජනතාව දැනට සතුටින් ![/title]

මේ නිසා ලංකාගම පාර ඔබ දකින තරම් සුන්දර නැති බවත්, ජනතාවට යහපතක් නොකරන බවත් දැනට ලියා තැබිය යුතුය. ‘කොරහේ කිඹුලන් දකිනවා’ වැනි කතා ඔබට කිව හැකි ය. මහත්වරුනි, අප කියන්නේ, මේවා නොකරන ලෙස නොවේ. මේවා කරන්න, නීතියේ ආධිපත්‍යයට ගරු කරමින්, අදාළ ක්‍රමවේදවලට යටත්ව සිදු කරන්න. ගැටලුව වන්නේ ඒවා කිසිවක් මායිම් නොකරමින් මෙම කටයුතු සිදු කරන්නේ ඇයි ද යන්න ය. බලහත්කාරය යොදා ගන්නේ ඇයි ද යන්න ය. දැනට ජනතාවට සතුටු ය.

(ලංකා පුවත්පත – 2020. 09. 06)

Archive

Latest news

Related news