Friday, April 26, 2024

සිවිල් සමාජයට අවදානමක් සහ ඉතාම සීමිත අවකාශයක් තිබෙන කාලයක් – අර්ජුන පරාක්‍රම

මේ මැතිවරණ ප්‍රතිඵලය මේ ආකාර වීම ගැන අපි පුදුම විය යුතු නැහැ. මොකද බිම් මට්ටමේ එහෙම නැත්නම් ඊටත් වඩා යටි ස්ථරයක විශ්වාස මාලාවක් මේ සමඟ ගැටගැසී තිබෙනවා. මෙතනදි අපිට මොන විදියේ දේශපාලනයක් ද කරන්න පුලු‍වන් සහ බැරි කියල තීරණය කෙරෙනවා. එතනදි එක්කෝ අන්ත ජාතිවාදී දේශපාලනයක් නැතිනම් ජාතිවාදී දේශපාලනයක් නැතිනම් ඊට මඳක් අඩු ජාතිවාදී දේශපාලනයක් පමණයි කළ හැක්කේ. ඊට මෙහා දේශපාලනයක් නැහැ කියන පදනමේ ඉඳලයි මේ ඡන්දය පැවැත්වුණේ. අපි දකිනව එවැනි අන්තවාදී දේශපාලනයක් කරන්න බැරි අය මැතිවරණය පවත්වන්න කලින්ම ඉවත් වෙනවා.

[title]හමුදාකරණය ප්‍රශ්ණ නොකිරීම[/title]

අපේ රටේ දේශපාලන කතිකාවේ පූර්ව කොන්දේසි තිබෙනවා. යම් පුද්ගලයෙක්, කණ්ඩායමක්, පක්ෂයක් ඒවා සපුරල තමයි දේශපාලනයට අවතීර්ණ විය යුතු. කලින් මේ කොන්දේසි විදියට තිබුණේ සිංහල බෞද්ධ වීම, ජාතික ආරක්ෂාව ප්‍රමුඛ වීම. නමුත් මේ කාරණා ඉක්මවලා දැන් හමුදාකරණය අපේ පරම පදනම වෙලා තිබෙනවා. හමුදාකරණය පිළිගන්නේ නැත්නම් දේශපාලන කරලියට එන්න බැහැ. අද ඉතාම පැහැදිලි ලෙස හමුදාකරණය බිම්මට්ටමේ තිබෙන අත්තිවාරම වෙලා. එය තවදුරටත් ජාතික ආරක්ෂාවට සම්බන්ධ නැහැ, අපේ රටේ, අපේ පොදු ජීවිතයේ, පෞද්ගලික ජීවිතයේ, දේශපාලන ජීවිතයේ පවා අනිවාර්ය කොටසක් වෙලා තිබෙන්නේ හමුදාකරණය. ඒක අපිට ප්‍රශ්න කරන්න බැරි වෙලා තිබෙනවා. මේ සියලු‍ දේවල් එක්ක මම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය දකින්නේ මේ කියන්නා වූ මූලික අත්තිවාරම, ඒ කියන්නේ හමුදාකරණයට පදනම දැමීමේ ප්‍රතිඵලයක් හැටියටයි. ඒ නිසා මේ ප්‍රතිඵලය දිහා නෙවෙයි අපි බැලිය යුත්තේ එය පදනම් වෙලා තියෙන හමුදාකරණය සුජාත වන, සිංහල බෞද්ධ ආධිපත්‍ය ප්‍රශ්න නොකෙරෙන වතාවරණය කෙරෙහියි. අද සුවිශේෂිම දේ සිංහල බෞද්ධ නොවන අය පවා මේ තත්ත්වය ප්‍රශ්න කරන බවක් පේන්න නැතිවීමෙයි.

[title]විශවාසයන්ගේ බලය[/title]

මිනිසුන්ගේ විශ්වාසයන් කියන දේ තර්ක කරලා පරාජය කරන්න බැහැ. බහුතරයක් ජනතාවට අනුව යුද්දේ දිනුවේ, කෝවිඩ් වසංගතය පාලනය කළේ හමුදාව. යුද්දෙ දිනුවද කියන කාරණය වෙනම කතා කළ යුතු දෙයක්. නමුත් ඒ කියන ආකාරයට යුද්ධය දිනුවා නම් දිනුවේ සෙබළු. දැන් කලා වැව හැදුවේ කවුද කියල ඇහුවොත් මිනිස්සු කියන්නේ ධාතුසේන කියල. ධාතුසේන එක ගඩොලක් තියන්නේ නැතුව ඇති වැව හදන්න. ඒක හැදුවේ ඒ හිටපු මිනිස්සු. නමුත් අපි මේවා තර්ක කරන්නේ නැතුව මේතාක් කාලයක් පිළිඅරන් තියෙනවා වගේ දීර්ඝ කාලයක් ගොඩනගපු විශ්වාසයක් බිඳ දමන්න පහසු නැහැ. ජනතාවට නිසි මඟපෙන්වීමක් නැහැ මේ සිදුවෙමින් තිබෙන දේ ප්‍රශ්න කරල පිළිගන්න. අපි ඉතාම උගත් යැයි හිතන, විද්වත්, තාර්කික අය, උතුරේ යුද්දෙදි පවා යම් සාධාරණ ආස්ථානයක හිටපු අය අද මුස්ලිම් විරෝධීන් වෙලා තියෙනවා. මොකද අනෙකා පිළිබඳ ප්‍රශ්නයක් අපිට තිබෙනවා. අපි අන්‍යයන්ව පිළිගන්නේ අපි වගේ නම් විතරයි. අනෙකා අපිට වෙනස් නම් අපිට ඒක තර්ජනයක්. මේ විරෝධය ජනමාධ්‍ය විසින් ඉතාම පැහැදිලිව මැතිවරණය තුළත් ප්‍රචලිත කළා. ජනමාධ්‍ය වැඩ කළේ එක් එක් පාර්ශ්වයන්ගේ හොරණෑ හැටියට. යම් ආකාරයකට හෝ ස්වාධීනව අදහසක් පළ කරන්නේ විකල්ප මාධ්‍ය පමණයි. නමුත් ඒවා විශාල වශයෙන් ජනතාව අතරට නොයෑම ගැටලු‍වක්. ඒ නිසා ප්‍රධාන ධාරවේ මාධ්‍ය සමස්ත ජනතාවට මේ වස විස තත්පරෙන් තත්පරයට පැයෙන් පැයට පොවනවා.

[title]දේශපාලන බිස්නස් එක[/title]

දේශපාලකයා පිළිබඳ නව විග්‍රහය තමයි, දේශපාලකයා කියන්නේ සමාජ, ආර්ථීක පන්තියක සමාජිකයෙක් කියන එක. එළැඹෙන සමාජ, ආර්ථීක පන්තියේ ප්‍රධාන අරමුණ තමයි තමන්ගේ පන්තිය ආරක්ෂා කිරීම. ඒ නිසා කිසිම දේශපාලකයෙක් විශාල පරිවර්තනයකට දායක වෙයි කියල හිතන්න බැහැ. ඒ පන්තියේ එකිනෙකා අතර කඹ ඇඳීම තිබුනත් අවසානයේ පන්තිය ආරක්ෂා කරන්න ඒ හැමෝම කටයුතු කරනවා. මිනිස්සු දේශපාලනය කරන්නේ බිස්නස් එකක් හැටියට. මොන පෙරමුණෙන්, මොන බලවේගයෙන්, උතුරෙන්, දකුණෙන් කළත් මේ කරන්නේ බිස්නස් එකක්. මෙතන තියෙන්නේ විකල්පයක් නැතිකමේ ප්‍රශ්නය.

අපි තමයි විකල්පෙ කියල කිව්වට ඒ කවුරුවත් විකල්පෙ නෙවෙයි. අර කලින් කිව්ව වගේ සමාජ අත්තිවාරමේ මූලික ආඛ්‍යානය ප්‍රශ්න කරන්න කවුරුත් නැහැ. ඉතින් මිනිස්සු ඡන්දෙ දෙන්නේ කාටද? මොකටද? මිනිස්සු දිනන පැත්ත බලලා ඡන්දෙ දෙන එකේ වැරැද්දක් මම දකින්නේ නැහැ. ගෙදරට එන පාර හදාගන්න, ලයිට් එක දාගන්න, දරුවට රස්සාවක් ගන්න ඡන්දෙ දෙන එක මෝඩකමක් නෙවෙයි. ඒක අපිට වඩා තියුණු විග්‍රහයක්. අපි හිතනවා සමාජ වෙනසකට අරයට දෙන්න ඕන මෙයාට දෙන්න ඕන කියල. නමුත් කවුද ඔය කියන වෙනස කළේ? ඒ නිසා ජනතාව වැරදියි කියල මම හිතන්නේ නැහැ.

මහත්මා ගාන්ධිගෙන් කෙනෙක් ඇහුවා බ්‍රිතාන්‍යය ශිෂ්ටාචාරය ගැන මොකක්ද හිතන්නේ කියල. ගාන්ධි මොකද කිව්වේිඑක් හොඳ අදහසක්’ කියල. ඒ කියන්නේ බ්‍රිතාන්‍යය ශිෂ්ටාචාරය කියල දෙයක් නැහැ අලු‍තින් ඒක හදන්න ඕන කියලයි කිව්වේ. ඒ වගේ මගෙන් ඇහුවොත් සිවිල් සමාජය ගැන මම කියන්නෙත් ඒක හොඳ අදහසක් කියල. මොකද සිවිල් සමාජ සංවිධාන තියෙනවා. ඒවා කිසියම් නිශ්චිත කාර්යක් සඳහා එකතුවෙන ඒවා. නමුත් සිවිල් සංවිධාන කියල මූව්මන්ට් (Movement) එකක් නැහැ. මේවායේ ව්‍යාතිරේක තියෙන බව මම පිළිගන්නවා. මේ තුළ ඉතා හොඳින් වැඩ කරන අය ඉන්නවා. හැබැයි අනිත් අයගේ ප්‍රොජෙක්ට් ඇතුලේ එයාලත් හිරවෙලා.

[title]සිවිල් සමාජයක් තියෙනවද?[/title]

දේශපාලන රැළිවලට බත් පැකට් ටික එනවා වගේ තමයි සිවිල් සමාජ වැඩවලත් ඒ ටික ඒ විදියටම එනවා. ඒ නිසා ඇත්තටම සිවිල් සමාජය කියල එකක් තියෙනවද කියල අපි හිතන්න ඕන. දැන් අපි ගත්තොත් නිදසුනකට මාර්තු 12 ව්‍යාපාරයට ඉන්න අයම තමයි අනිත් එකතුවලත් අඩු වැඩි වශයෙන් ඉන්නේ. සඳුදාට ස්ත්‍රීවාදී සටනට එන අයම තමයි අඟහරුවාදා ලිංගිකත්වය පිළිබඳ සටනට එන්නෙත්. මේ සිවිල් සමාජයට ගැඹුරක් නැහැ.

ඒ වගේම අද සිවිල් සමාජය අමාරු ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ නැහැ. ඒ කියන්නේ ජාතික ප්‍රශ්නය, ජාතිවාදය, බහුතර ආධිපත්‍ය, හමුදාකරණය වගේ කාරණාවලට සිවිල් සමාජය විරුද්ධ වෙනවා පේන්න නැහැ. එහෙම නැත්නම් ඇයි මිනිස්සු ඒ වටා එකතු වෙන්නේ? යුද සමයේ ඒ පිළිබඳ සිවිල් සමාජයට තිබුන ගැඹුරු විග්‍රහය, අද මේ බරපතළ ප්‍රශ්න සම්බන්ධයෙන් නැහැ. සිවිල් ව්‍යාපාර තිබුනට මුව්මන්ට (Movement) නැහැ. මේ ව්‍යාපාර කියන්නේ වෙළෙඳ ව්‍යාපාරවලට මිසක් මූව්මන්ට්වලට නෙවෙයි. ඒ නිසා අපිට ඇත්ත සිවිල් මූව්මන්ට් අවශ්‍ය වෙලා තිබෙනවා.

මේක සිවිල් සමාජයට අවදානම හා අවකාශය තිබෙන වතාවරණයක්. නමුත් අවකාශය ඉතාම සීමිත බවයි මගේ හැඟීම.

[title]පරම්පරාගත සිවිල් නායකත්වය[/title]

සිවිල් සමාජයට ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි සැබෑ කාර්ය බාරයක් තිබෙනවා. නමුත් ඒක කරන්න සුදුසු මමත් ඇතුළුව මේ ඉන්න අයද කියන එක මට ප්‍රශ්නයක්. සිවිල් සමාජයට නව නායකත්වයක් අවශ්‍ය වෙලා තිබෙනවා. අවුරුදු 25ක් හෝ ඊට වැඩි කාලයක් ඇතැම් පිරිස් සිවිල් සමාජයේ නායකත්වයේ රැඳී ඉන්නවා. මේක ඇතුළේ පරම්පරා හදාගෙන මුල් බැහැගෙන ඉන්නවා. මොකද දැන් නායකත්වය අගනුවර හා ප්‍රධාන නගරවලින් බාහිරව නැහැ. ඒ වගේම එහි පරණ නායකත්වයේ සුජාතභාවය සහ ක්‍රියාත්මක වීමේ හැකියාව අතින් ගත්තාම විශාල ගැටලු‍වක් තිබෙනවා.

සිවිල් සමාජයේ වැඩසටහන් නගර කේන්ද්‍රීයවයි සිදුවෙන්නේ. විශේෂයෙන්ම තීරණ ගැනීම් ඇතුළත් න්‍යාය පත්‍රය නගරයෙන් පිට සකස් වෙන්නේ නැහැ. ඒවා ආගමික, වාර්ගික, භාෂා බෙදීම් තරණය කරන්න සමත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සිවිල් සමාජය කතා කරන සංහිඳියාව වගේ කාරණාවල තිබෙන ප්‍රෝඩාව අයින් වෙන්න ඕන. කිසියම් ධුරාවලියක් හරහා කතා කරන සංහිඳියාවක්, සහජීවනයක් අපි දකින්නේ. ඒ තුළ සත්‍ය පැවතිය යුතුයි. සිවිල් සමාජ නායකත්වයේ මතවාදය තවමත් ඉතාම ගැඹුරට තිබෙනවා. එහි කිසිදු සෙලවීමක් වෙලා නැහැ.

සිවිල් සමාජ නායකයන් තමන්ගේ ජනවර්ගය, ආගම, ප්‍රදේශය, භාෂාව තවම නියෝජනය කරනවා. ඊට වඩා පුළුල් ගැඹුරු නායකත්වයක් අපිට නැහැ. මේ ඉන්න නායකයන්ගේ අතීතයේ වර්තමානයේ ක්‍රියාකාරීත්වයන් ප්‍රශ්නකාරීයි. ඒ නිසා අපිට අවශ්‍ය වෙනස් විදියේ මැදිහත්වීමක්. මම කියන්නේ යම් පහර කෑමකින් පසුව එයට ප්‍රතික්‍රියා දක්වනවට වඩා අපි කළ යුතු දැන්ම සිට පුළුල්ව මේ සාකච්ඡාව ඉදිරියට අරගෙන ගැටලු‍ නිරාකරණය කර ගැනීම. එවැනි එක් කාරණයක් තමයි හමුදාකරණය. ඒ පිළිබඳ අපේ මත විවිධයි. දකුණේ බොහෝ දෙනෙකුට ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් සුළුතර කොටස්වලට හමුදාකරණය කියන්නේ, තමන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයීතීන්, මානව අයිතිීන්, ශරීර සෞඛ්‍ය, ජිවිතයට පවා තර්ජන එල්ලවන දෙයක්. නමුත් අපි ඒ ගැන සංවේදී නැහැ.

[title]සිවිල් සමාජයේ දුබලතා[/title]

අනික සිවිල් සමාජය ආර්ථීකය, පන්ති ප්‍රශ්නය පිළිබඳ කතා කරන්නෙම නැහැ. කිහිප දෙනෙක් ඇරෙන්නට ශ්‍රම සුරා කෑම, සාධාරණය, විරැකියාව, සාධාරණය ගැන කතා කරන්නේ නැහැ. දකුණේ කෘෂි සංවිධාන ගත්තත් ඒවා සමස්ත ගැටලු‍ව නියෝජනය කරන්න සමත් වෙලා නැහැ. සිවිල් සමාජය යට වෙලා ඉන්නේ මේ මතවාදයට.

අපි සිවිල් සමාජයට තහංචි දානවට, පාලනය කරන්න හදනවට විරුද්ධයි. ඒ වෙනුවෙන් අපි ඔක්කොමලා එකතුවෙනවා. නමුත් සිංහල බෞද්ධකරණයට, බහුතරවාදයට, නව ලිබරල්වාදී සූරාකෑමට, ප්‍රාදේශියවාදයට අපි විරුද්ධ නැහැ.

අපි එකතු වෙන්න ඕන අවස්ථාවාදි මතුපිට ප්‍රශ්න වෙනුවෙන් නෙවෙයි, මූලධර්ම මත, ප්‍රතිපත්ති මතයි අපි එකතු විය යුත්තේ. ඒ සාකච්ඡාව ඇති වෙන්න ඕන බිම්මට්මේ මිසක් කොළඹ නෙවෙයි.

( සමබිම පුවත්පතිනි)

Archive

Latest news

Related news