Sunday, November 24, 2024

හිටපු මිලිටරි නිලධාරීන්ට එරෙහි නඩුවල වින්දිතයන්ගේ නීතීඥවරියට අනවරත ජීවිත තර්ජන

සංජය ජයසේකර.

වර්ගවාදී යුද්ධයේ අවසන් සමයේ තරුනයන් එකලොස් දෙනෙකු අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් මිලිටරියේ ඉහලම නිලධාරීන්ට විරුද්ධව පනවා ඇති අපරාධ නඩුව ඇතුලු එවන් නඩු කිහිපයක වින්දිතයන් වෙනුවෙන් පෙනීසිටින නීතීඥ අචලා සෙනෙවිරත්නට එල්ල කෙරෙන ජීවිත තර්ජන හා සෝදිසි කිරීම් අඛන්ඩව තීව්‍ර කරමින් පවතී. රාජ්‍ය අනුග්‍රහය හා මිලිටරියේ මෙහෙයවීම මත කෙරෙන මෙම බියගැන්වීම්වල මූලික අරමුන මිලිටරියට එරෙහි අපරාධ නඩුවල වින්දිතයන්, සාක්ෂිකරුවන් හා නීතීඥයන් නිහඬ කොට එම අපරාධ යටගසා දැමීම යි.

කප්පම් ගැනීම සඳහා දෙමල ජාතික තරුනයන් එකොලහක් කොලඹ දී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගෙඩ, රියර් අදමිරාල් ඩී.කේ.පී. දසනායක, ලුතිනන් කොමදෝරු සම්පත් නිලන්ත මුනසිංහ හා ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් ඇතුලු 13 දෙනෙකුට එරෙහිව කොලඹ ත්‍රි පුද්ගල ස්ථිර මහාධිකරනයේ නඩුවක් විභාග වෙමින් පවතී. නඩුවේ විත්තිකරුවන්ට අධිචෝදනා ගොනුකර ඇති මුත් කරන්නාගොඩ සිතාසි භාර නොගෙන අධිකරනය මඟහරිමින් සිටියේ ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙම අපරාධ සම්බන්ධ පරීක්ෂන කල් මැරුනු අතර, අවසානයේදී නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කලේ දස වසරකට පසු ය.

එකී නඩුවේ වින්දිතයන්ට අමතරව, සෙනෙවිරත්න පෙනී සිටින වෙනත් ප්‍රධාන නඩු අතරට, යුද සමයේම කොටහේන ප්‍රදේශයේ දමිල තරුනයන් දෙදෙනෙකු අතුරුදහන් කිරීම පිලිබඳ නාවික හමුදා නිලධාරීන්ටම එරෙහි නඩුව සහ තරුනයන් එකොලොස් දෙනා අතුරුදහන් කිරීමේ නඩුවේ ප්‍රධාන චුදිතයෙක් වන නේවි සම්පත් සඟවා තබා ගැනීම සම්බන්ධව ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුනරත්නට එරෙහි නඩුව වෙයි. විජේගුනරත්නට එරෙහි ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේට නාවික හමුදා මූලස්ථානයේදීම මරනීය තර්ජනය කර පහරදී තිබිනි.

මීතොටමුල්ල තරුනයෙකු අතුරුදහන් කිරීමට අදාලව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇතුලු අයට එරෙහි නඩුවේ ද සෙනෙවිරත්න වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටී. දමිල තරුනයන් එකොලහ අතුරුදහන් කිරීමේ නඩුවේ සාක්ෂිකරුවන්ට, වින්දිතයන්ට හා පොලිස් පරීක්ෂන වලට බලපෑම් වන පරිදි මාධ්‍ය සාකච්චා පවත්වමින් හැසිරුනු උග්‍ර සිංහල වර්ගවාදියෙකු වන හිටපු මේජර් අජිත් ප්‍රසන්නට එරෙහිව අධිකරනයට අපහාස කිරීම යටතේ සෙනෙවිරත්න සිදුකල පැමිනිල්ල මත ඔහු සිරභාරයට ගැනුනි.

මේ සෑම නඩුවකම සැකකරුවන් හෝ විත්තිකරුවන් රාජ්‍ය ආරක්ෂක අංශවලට සම්බන්ධ නිලධාරීන් ය. නීතීඥවරියට එරෙහි අනවරත අඩන්තේට්ටම් පසුබිමෙහි පවතින්නේ මෙම නඩු කටයුතු ය.

පසුගිය වසරේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අතර තුර, නීතීඥවරියගේ ජායාරූප යොදා ගනිමින්, ඇය එන්ජීඕ (රාජ්‍ය නොවන සිවිල් සංවිධාන) වලින් මුදල් ලබා ගෙන “රන විරුවන්” ට එරෙහිව නඩුවල පෙනී සිටින බවට බැන වදිමින්, ඇයට එරෙහිව වෛරී සහගත ප්‍රචාරනයක් සමාජ මාධ්‍ය තුල සංවිධානාත්මක ලෙස ගෙන යන ලද බව සෙනෙවිරත්න ලෝක සමාජවාදී වෙබ් අඩවියට(ලෝසවෙඅ) ප්‍රකාශ කලාය. මේ සම්බන්ධව ඇය එකල පොලිස් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට කරන ලද පැමිනිල්ල මත මේ දක්වා ක්‍රියාත්මක නොවුනු පොලීසිය, සමාජ මාධ්‍ය තුල එම වෛරී ප්‍රචාරයන් හා තර්ජනයන් අඛන්ඩව ගෙන යාමට ඉඩ සලසා ඇත.

ව්‍යාජ සමාජමාධ්‍ය ගිනුම් හරහා නිරන්තරයෙන් ඇයට මරන තර්ජන එල්ල කෙරෙමින් පැවති බව අධිකරනයට ද දන්වා ඇති බව ඇය කියා සිටී. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පනවනු ලැබූ ඇඳිරිනීතිය මධ්‍යයේ ඇයගේ නීති ලෝගුවද සහිත ජායාරූප විකෘති කර සමාජ මාධ්‍ය තුල පල කරමින් ඇයගේ ජීවිතයට තර්ජනයක් වන පරිදි උසිගැන්වීම් සඳහා සංවිධානාත්මක කන්ඩායම් ක්‍රියාත්මක වූ බව ද ඇය ප්‍රකාශ කරන්නී ය. “පොලිස් මිතුරෝ” යන වෙබ් පිටුවේ ද මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශයන් පලකර තිබී ඇත. මැයි මස අගදී ඇය නැවත වරක් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට ලිඛිතව මේ පිලිබඳව පැමිනිලි කර තිබේ.

කලක සිට ඇයගේ නිවස අසල ⁣ගැවසෙන නන්නාඳුනන වාහන, හමුදා මෝටර් සයිකල් හා පුද්ගලයන් ඇය පිලිබඳව ඔත්තු බැලීම හා බිය වැද්දීම සඳහා කටයුතු කරමින් සිටින බවත් තම ආශ්‍රිතයන් හරහා තමා පිලිබඳ වක්‍ර ආකාර සොයාබැලීම් සිදුකෙරෙමින් පවතින බවද සෙනෙවිරත්න කියා සිටී.

මේ සියල්ල, නිශ්චිතවම, ආන්ඩුවේ හා මිලිටරියේ අනුදැනුම සහිතව සැලසුම් සහගතව සිදුකරනු ලබන බව ඇය පවසයි.

නීතීඥවරුන්ට, අපරාධ වින්දිතයන්ට මෙන්ම සාක්ෂිකරුවන්ට එරෙහි අඩංතේට්ටම් කිරීම මගින් කෲර අපරාධ යට ගැසීම පිලිබඳ ලංකාවේ අනුප්‍රාප්තික ධනපති ආන්ඩුවලට ඇත්තේ කුප්‍රකට ඉතිහාසය කි. 1988-1989 දකුනේ භීෂන සමයේ රජයේ හමුදාව විසින් ඝාතනය කල 60,000කට අධික පිරිසක් සම්බන්ධයෙන් ද, උතුරේ යුද්ධය අවසාන භාගයේ ඝාතනය කල 40,000 කට වැඩි සිවිල් වැසියන් සම්බන්ධයෙන් ද, අතුරුදහන් වූ දසදහස් සංඛ්‍යාවක් පිලිබඳව ද රට පුරා අධිකරනවල පවරා ඇති නඩු සංඛ්‍යාව දුසිම් කිහිපයකට සීමාවීම පමනක්ම සනාථ කරන්නේ රාජ්‍ය හා මිලිටරි දඩයම් කිරීම් හරහා එම අපරාධ හා වින්දිතයන් යට කොට තැබීමේ ලේ වැකි වාර්තාවයි.

1998 දී මිලිටරි අත්අඩංගුවේ සිටි දෙමල තරුනයන් 24 දෙනෙකු අතුරුදහන් කිරීම සම්බන්ධ හෙබයාස් කෝපුස් නඩුව ඇතුලු මිලිටරි අපරාධ සහ යුද්ධයේ දී මිය ගිය තම ඥාතීන් සැමරීමට දෙමල ජනයාට තංහචි පැනවීම වැනි කොලඹ තන්ත්‍රයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන්ට එරෙහි නඩු කීපයකම වින්දිතයන්ගේ නීතීඥයෙකු ලෙස පෙනී සිටින විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු වූ කුමාර වඩිවේල් ගුරුපරන්, එම නඩු වලින් ඉවත්කර තැබීම සඳහා මිලිටරිය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (විප්‍රකොස) එක්ව කටයුතු කලහ. (කියවන්න:කුමාර වඩිවේල් ගුරුපරන්ට එරෙහි දඩයම නතර කරනු! -ලෝසවෙඅ)

ගිය වසරේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මුස්ලිම්වරුන්ට එරෙහිව උත්සන්න කෙරුනු වර්ගවාදී ප්‍රහාරය මධ්‍යයේ බොරු චෝදනා මත අත්අඩංගුවට ගැනුනු වෛද්‍ය ෂාෆි සහ අනෙකුත් මුස්ලිම් වාර්ගිකයන් වෙනුවෙන්ද, වසංගතයෙන් මියගිය මුස්ලිම්වරුන් ආදාහනය කිරීමට එරෙහි නඩුව වෙනුවෙන්ද, ආන්ඩුවට විරුද්ධව පෙනී සිටි නීතීඥ හෙජාස් හිස්බුල්ලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා නගමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තවම රඳවා සිටී.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්, විවේචකයන්, මාධ්‍යවේදීන් හා දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරමින් ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රිය අයිතීන් මඩිමින් රාජපක්ෂ ආන්ඩුව උත්සන්න කල ප්‍රහාර මාලාව යටතේ, තවත් මානව හිමිකම් පිලිබඳ ක්‍රියාකාරී නීතීඥයන් ගනනාවක් පොලිස් ප්‍රශ්න කිරීම් වලට යටත් කෙරිනි.

[alert type=”success or warning or info or danger”]අන් සෑම ප්‍රජාතන්ත්‍ර විරෝධි ප්‍රහාරයකදී මෙන්ම මෙම අවස්ථාවන්හිදී ද නීතීඥවරුන්ගේ සංගමය තම ආන්ඩු ගැති නිහැඬියාව ප්‍රදර්ශනය කර තිබේ.[/alert]

මිලිටරියට සම්බන්ධ කන්ඩායම් හරහා පුද්ගලික මරන වරෙන්තු නිකුත් කරමින් ද, සිංහල අන්තවාදී කොටස් වින්දිතයන්ට හා නීතීඥවරුන්ට එරෙහිව පිහිටුවාලීම සඳහා ද්වේශසහගත ප්‍රචාරයන් ගෙන යමින් ද සිටින අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව යුද අපරාධකාර මිලිටරි නිලධාරීන්ට මුක්තිය හිමිකර දීම සඳහා දේශපාලන බලය හා නීතිමය පරිපාටිය අවභාවිතා කරමින් සිටී.

වසර මුලදීම “දේශපාලන පලිගැනීම් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම” නමින් ව්‍යවස්ථා විරෝධී කොමිෂමක් පත්කල රාජපක්ෂ මහාධිකරනය මගහරිමින් සිටි කරන්නාගොඩ ඇතුලු නිලධාරීන් අධිකරන ක්‍රියාදාමයෙන් මුක්ත කිරීමේ විධික්‍රමයක් ස්ථාපිත කලේය. කරන්නාගෙඩට එල්ලකර ඇති අධිචෝදනා වලට එරෙහිව ඔහු ඉදිරිපත් කල රිට් පෙත්සම සලකාබලා අවසන් වන තුරු මහාධිකරන නඩුව කල් තබා ඇත.

“රන විරුවන්” රකින බවට ජනාධිපතිවරනයේදී සිංහල වර්ගවාදීන්ට හා මිලිටරියට දුන් පොරොන්දු ඉටු කරමින්, යුද සමයේ උතුරේ මිරිසුවිල්හිදී දරුවන් තිදෙනෙකු ඇතුලු අට දෙනෙකු බෙලි කපා සමූල ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරනයෙන් වරදකරු කරනු ලැබූ හිටපු හමුදා නිලධාරියෙකූ වන සැරයන් සුනිල් රත්නායක ජනාධිපති රාජපක්ෂ විසින් මාර්තු අග නිදහස් කෙරුනි.

යුද අපරාධ විමර්ශනය කිරීමේ හා දඬුවම් ලබාදීමේ යාන්ත්‍රනයක් නොවුන නමුත්, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ සමඅනුග්‍රහයෙන් 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල සම්මත කරගත් 30/1 යෝජනාවෙන් පෙබරවාරි අග ලංකාව ඉවත්කර ගැනීමට රාජපක්ෂ කටයුතු කලේ මිලිටරිය පදනම් වන සිංහල ස්වෝත්තමවාදය උත්කර්ෂයට නංවමිනි.

අධික නය බරින් හා වසංගතයෙන් උග්‍ර කෙරුනු ආර්ථික අර්බුදයක ගිලී ඇති රාජපක්ෂ, රටේ ව්‍යවස්ථාවම නැවත ලියා ගනිමින් කම්කරු ජනතාවට එරෙහි “ආර්ථික යුද්ධය” දිගේලි කිරීම සඳහා ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීම පිනිස වඩ වඩාත් මිලිටරිය මත වාරු වෙමින් සිටී. ආන්ඩුවේ දැවැන්ත කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව වර්ධනය වෙමින් පවත්නා පන්ති අරගල මර්දනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිත මිලිටරියට සහ පොලිසියට තම අපරාධ වලට වගවීමෙන් නිදහස ලැබීමේ වරප්‍රසාදය තහවුරුකිරීමේ පසුබිමක මෙලෙස මහජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට කෙටීම සිදුවෙමින් පවතී.

නීතීඥයන්ට, මානව හිමිකම් ක්‍රියාධරයන්ට හා මාධ්‍යවේදීන්ට එල්ල කෙරෙන රාජ්‍ය මර්නදය නවතන ලෙස බලකරමින් ජුලි මස අග ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හා හියුමන් රයිට්ස් වොච් ඇතුලු සංවිධාන දහයක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කලේ ය. ප්‍රකාශයේ මෙ⁣සේ සඳහන් ය: “ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ඉලක්ක කිරීම සහ මර්දනය කිරීම මෙම පුද්ගලයන්ගේ අයිතිවාසිකම්වලට පහරදීමක් පමනක් නොව, සියලු ශ්‍රී ලාංකිකයින් ආරක්ෂා කිරීම සඳහා වන මානව හිමිකම් මූලධර්ම හා නීතියේ ආධිපත්‍යයට පහරදීමකි”.

උපුටා ගැනීම ලෝක සමාජවාදී වෙබ් අඩවියෙනි.

සම්පූර්ණ ලිපිය සඳහා මෙහිි  පිවිසෙන්න

Archive

Latest news

Related news