Monday, May 20, 2024

‍කොරෝනා වසංගතය වැලැක්වූ හොඳම රටවල් 05 අතර ලංකාව නැහැ!

ඡායාරූපය: රෝගීන් 420ක් සහ මරණ සංඛ්‍යාව 0ක් ලෙස වාර්තා වූ වියට්නාමය ද රටවල් පහ අතර සිටී.

කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා මහා පරිමාණයෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ රටවල් පහකට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රශංසා කර තිබේ.

Covid-19 පැතිරීම ඵලදායී ලෙස නැවැත්වීම සඳහා සමාජ දුරස්ථ උපදෙස් අනුගමනය කළ රටවල් පහක් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් සඳුදා පැවති මාධ්‍ය හමුවක දී අනාවරණය කළේය.

ආචාර්ය ටෙඩ්‍රොස් පැවසුවේ කොරෝනා වෛරස් රෝගීන් මිලියන 16කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 640,000ක් වාර්තා වී ඇති බවයි.

[title]වසංගතය අඛණ්ඩව වේගවත්ව පැතිරේ [/title]

පසු ගිය සති හය තුළ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වී ඇති බව පෙන්වා දෙමින් ඔහු “වසංගතය අඛණ්ඩව වේගවත්ව පැතිරේ” යයි අනතුරු ඇඟවීමක් කළේය. “බෝ වීම මැඩ පැවැත්වීමට සහ ජීවිත බේරා ගැනීමට ගත යුතු අවශ්‍ය මූලික ක්‍රියා මාර්ග” වෙනස් වී නැති බව ඔහු පැවසීය.

“රෝගීන් සොයා ගන්න, හුදකලා කරන්න, පරීක්ෂා කර රැකබලා ගන්න; එමෙන්ම ඔවුන්ගේ සම්බන්ධතා සොයා ගෙන නිරෝධායනය කරන්න,” යයි ඔහු පැවසීය. “අන් අයගෙන් ඈත්ව සිටින්න, ඔබේ දෑත් පිරිසිදු කරන්න, ජනාකීර්ණ හා සංවෘත ප්‍රදේශ මග හරින්න, නිර්දේශිත මුහුණු ආවරණයක් පැළඳ ගන්න. මෙම පිළිවෙත් අනුගමනය කරන විට රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වේ. එසේ නොකරන විට රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි.”

මහා පරිමාණයෙන් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා “එම උපදෙස් පරෙස්සමින් හා ස්ථාවරව අනුගමනය කළ” රටවල් පහකට ඔහු ප්‍රශංසා කළේය.

[title]කාම්බෝජය[/title]

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, කාම්බෝජයේ කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 225කි; මරණ සංඛ්‍යාව 0කි.

වාර්තා වී ඇති මරණ අනුපාතය පිළිබඳව සමහර සෞඛ්‍ය විශේෂඥයින් විසින් ප්‍රශ්න කරනු ලැබ ඇතත්, කොරෝනා වෛරසය වළක්වා ගැනීම සඳහා සාධක ගණනාවක් කාම්බෝජයට උපකාරී වී ඇත. පළමුවෙන්ම, කොරෝනා වෛරස් ගෝලීය වසංගතයට පෙර සිටම පටන් ගෙන මේ වන තෙක්ම කාම්බෝජයේ බොහෝ අය මුහුණු ආවරණ පළඳින අතර, අතට අත දීමේ සිරිත එරට තුළ අසාමාන්‍ය දෙයකි.

අසල්වැසි වියට්නාමය හා තායිලන්තය විසින් කල්තබාම සිදු කළ වසා දැමීම්වලින් කාම්බෝජයටද ප්‍රතිලාභ ලැබී තිබේ. කාම්බෝජය මාර්තු මැද වන තෙක් පාසල් හා රාත්‍රී සමාජ ශාලා වැසීම වැනි තදබල සීමා පැනවීම් ක්‍රියාත්මක කළේ නැත. එනමුත් මැලේරියාව වැනි රෝග සමග සටන් කිරීමෙන් ලබා තිබූ අත්දැකීම් එරටට ශක්තියක් විය.

[title]නවසීලන්තය[/title]

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, නවසීලන්තයෙන් වාර්තා වූ රෝගීන් ගණන 1,556කි; මරණ 22කි.

Covid-19 සඳහා දැක්වූ ප්‍රතිචාරය නිසා ප්‍රශංසාවට ලක් වූ එරට මාර්තු 19 වන දින අනේවාසිකයින් සඳහා දේශ සීමා වසා දැමීය. අප්‍රේල් 10 වන දින සිට, විදෙස් රටවලින් ආපසු පැමිණි සියලුම නවසීලන්ත පුරවැසියන්ට සති දෙකක කාලයක් මනාව කළමනාකරණය කළ හුදකලා කිරීමකට මුහුණ දීමට සිදුවිය.

දේශ සීමා පාලනය හැර, ජුනි 8 වෙනි දින ඉතිරි සීමා කිරීම් ලිහිල් කරන තෙක්ම, මාර්තු 25 වන දින සිට මුළු රටම වසා දමනු ලැබිණ.

කොරෝනා වෛරස් පැතිරීම මැඩ පැවැත්වීම සඳහා සන්සුන්ව කටයුතු කිරීම ගැන අගමැතිනි ජසින්ඩා ආඩර්න් බොහෝ සෙයින් පැසසුමට ලක් විය. එරට අගුළු දැමීම් ලිහිල් වූ දා සිට රෝගීන් පොකුරු ගණනාවක් දක්නට ලැබුණ ද, නවසීලන්තය ලෝකයේ කොරෝනා වෛරසය සාර්ථකව ජය ගත් රටක් ලෙස ප්‍රශංසාවට ලක් වේ.

[title]රුවන්ඩාව[/title]

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, රුවන්ඩාවෙන් රෝගීන් 1,821ක් සහ මරණ 5ක් වාර්තා වී තිබේ.

එරට වෛරස මර්ධන කටයුතු සම්බන්ධයෙන් රුවන්ඩාව බොහෝ සෙයින් ප්‍රශංසාවට ලක්ව ඇත. පාරේ ඇවිදින විට ද මිනිසුන් අහඹු ලෙස පරීක්‍ෂා කරන ලද අතර, ‘පොසිටිව්’ වූ ඕනෑම අයෙකු වහාම Covid-19 සායනයක නිරෝධායනයට යොමු කෙරිණ. එක වරකට පුද්ගලයන් 20 සිට 25 දක්වා ගණනකගේ නාසයෙන් සාම්පල ලබා ගෙන “සමූහ පරීක්ෂා” සිදු කරන ලද අතර, එක් ‘පොසිටිව්’ වීමක් හෝ හසු වූයේ නම්, ආසාදිතයා හඳුනා ගැනීම සඳහා සියල්ලන්ම නැවත පරීක්ෂා කෙරිණ.

රුවන්ඩාවේ අගුළු දැමීම් මාර්තු 21 වන දින නිවේදනය කරන ලද අතර කම්කරුවන් ගෙදර යවා දේශ සීමා වසා දමන ලදී. කොරෝනා වයිරස් පැතිරීම පාලනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව එරට පොලිස් බලකාය ඩ්‍රෝන් යානා මගින් මිනිසුන්ට පණිවිඩ ලබා දුන්නේය.

[title]තායිලන්තය[/title]

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව තායිලන්තයෙන් රෝගීන් 3,295ක් සහ මරණ 58ක් වාර්තා වී තිබේ.

ජනවාරි 13 වන දින Covid-19 පිළිබඳ පළමු වරට එරටින් වාර්තා වූ අතර, චීනය හැරුණු විට කොරෝනා වෛරසයේ පැතිරීම සනාථ කළ පළමු රට බවට තායිලන්තය පත්විය.

මාර්තු 26 දින තායිලන්තය විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ අතර අපේ‍්‍රල් 3 වන දින ඇඳිරි නීතිය පනවන ලදී. සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අප්‍රේල් 4 වන දින සිට අත්හිටුවා ඇත.

අළුත් රෝගීන්ගේ අනුපාතය අපේ‍්‍රල් මාසය පුරාම පහත වැටී මැයි මස මැද භාගයේ දී එය ශුන්‍යයට ආසන්න විය. ඒ අනුව පනවා තිබූ සීමා ලිහිල් කිරීමට ඉඩ සැලසිණ. එහෙත් දෙවන රැල්ලකට ඇති බිය නිසා දේශ සීමා පාලනය දැඩි කර ඇත.

ලබන වසර අවසන් වන විට සැපයිය හැකි Covid-19 එන්නතක් සඳහා මිනිස් අත්හදා බැලීම් නොවැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට තායිලන්තය සැලසුම් කරමින් සිටී.

[title]වියට්නාමය[/title]

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, වියට්නාමයේ රෝගීන් 420ක් සහ මරණ සංඛ්‍යාව 0ක් ලෙස වාර්තා වී තිබේ.

කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් වියට්නාමය බොහෝ සෙයින් පැසසුමට ලක් විය. ජනවාරි අග සිට පාසල් වැසීමට පටන් ගත් අතර පුළුල් හා තිරසාර රෝග පරීක්ෂණ වැඩසටහනක් හඳුන්වා දුන්නේය. මාර්තු 22 වන දින සිට සියළුම විදේශිකයන් තම දේශ සීමාවෙන් රටට ඇතුළු වීම අත්හිටුවා තිබේ.

ස්කොට්ලන්ත ගුවන් නියමුවෙකු වූ ස්ටීවන් කැමරන් වියට්නාම රෝහලක වෙන්ටිලේටරයක මාස දෙකකට වැඩි කාලයක් ගත කළ අතර, ඔහු එරට ‘ලොකුම’ කොරෝනා රෝගියා ලෙස ප්‍රසිද්ධ විය. ඔහු මේ වන විට ග්ලාස්ගෝ අසල විෂෝ විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබයි.

Covid-19 සඳහා ‘පොසිටිව්’ වූ, 57 හැවිරිදි රෝගියා සෙනසුරාදා (18) වියට්නාමයෙන් හමු වන තෙක් නව දේශීය ආසාදනයක් නොමැතිව එක දිගට දින 99ක් ගත විය. වියට්නාමය සඳුදා (20) නිවේදනය කළේ ඩා නාන් නගරයේ වැසියන් 11 දෙනෙකු කොරෝනා වෛරසයට ‘පොසිටිව්’ වීම නිසා 80,000ක් දෙනා නගරයෙන් ඉවත් කරන බවයි෴

– 2020 ජුලි 27 වන දින Yahoo News UK වෙබ් අඩවියේ පළ වූ, Ross McGuinness ලියූ ‘Five countries that prevented large-scale coronavirus outbreaks, according to WHO’ නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට පරිවර්තනය කළේ ආනන්ද. ( Lankaenews)

Archive

Latest news

Related news