Monday, May 20, 2024

යාපන සරසවි නීති පීඨාධිපති ආචාර්ය කේ. ගුරුපරන්ට එල්ල වූ බලපෑම් ගැන ලංකා ගුරු සංගමයේ කණස්සල්ල

අතුරුදහන් වූවන් පිළිබඳ නඩු කටයුතුවලට සහභාගි වූ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය කුමාරවඩිවේල් ගුරුබරන් මහතාට විවිධ බලපෑම්.

යාපනය විශ්වවිද්‍යාලයේ නීතිපීඨාධිපති ප්‍රධානී තනතුරේ සිටින ආචාර්ය කුමාරවඩිවේල් ගුරුබරන් මහතාට අධිකරණ කටයුතුවල මැදිහත්වීම මත විවිධ බලපෑම් සිදුවෙමින් තිබේ. විශ්වවිද්‍යාල වෘත්තිකයකු ලෙස කටයුතු කරමින් සිටියදී බාහිර අධිකරණමය කටයුතුවලට මැදිහත්වීම හේතු කොටගෙන මෙම බලපෑම් සිදුවෙමින් තිබේ. යාපනය විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් ආචාර්ය ගුරුබරන් මහතාට 2011 වසරේ සිටම බාහිර අධිකරණ කටයුතුවලට මැදිහත්වී සඳහා නීත්‍යානුකූල අවසර ලබාදී ඇති පසුබිමක මේ ආකාරයෙන් කටයුතු සිදුවීම කනගාටුදායක තත්වයකි.

වෘත්තීය සංවර්ධනය මෙන්ම නව දැනුම අත්පත් කර ගැනීම සහ ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබා ගැනීම වෙනුවෙන් විශ්වවිද්‍යාල වෘත්තිකයින් ඔවුන්ගේ වෘත්තියට අදාළ කටයුතුවල නිරතවීම සාමාන්‍ය තත්වයකි. විවිධ විශ්වවිද්‍යාල වෘත්තිකයින් මේ ආකාර කටයුතුවල නිරතවීම දක්නට ලැබේ.

උතුරේ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් බරපතල උද්ඝෝෂණ යුද්ධයෙන් පසු සමාජය තුළ පවතී. අතුරුදහන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටුකරවා ගැනීම උතුරේ ජනතාවගේ ප‍්‍රබල සමාජ ඉල්ලීමකි. නීති වෘත්තිකයෙකු සහ විද්වතෙක් ලෙස ආචාර්ය කුමාරවඩිවේල් ගුරුබරන් මහතා අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් වන නඩු කටයුතු කිහිපයකට අධිකරණයේ පෙනී සිටීම පිළිගැනීමකට ලක්විය යුතු කටයුත්තකි. එසේ අධිකරණ කටයුතුවලට ඉදිරිපත්වීම පිළිබඳව කිසිදු බාධාවක් යාපනය විශ්වවිද්‍යාලයෙන් ඔහුට ඇති වී නැත. විශ්වවිද්‍යාල ස්වාධීන ආයතන වන හෙයින්ම යාපනය විශ්වවිද්‍යාල පාලක සභාව විසින් වෘත්තීය කටයුතු සඳහා පෙනී සිටීම 2011 වසරේ සිට  පිළිගෙන ඇති තත්වයකි.

යාපනය විශ්වවිද්‍යාල පරිපාලනයට පරිබාහිරව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා ඔහු අධිකරණ කටයුතුවලට පෙනී සිටීම සම්බන්ධයෙන් ගැටලූ මතුකර සිදුකළ බලපෑම් හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව දැනගන්නට ඇත.

ගුරුබරන් මහතා නීති අධ්‍යාපනය සම්බන්ධයෙන් අත්දැකීම් බහුල විද්වතෙකි. එවැනි පුද්ගලයෙක් යාපනය විශ්වවිද්‍යාල කි‍්‍රයාවලියෙන් ඈත්වීමට පසුබිම සැකසීම බරපතල පාඩුවකි. එම නිසා මේ සම්බන්ධයෙන් පුළුල් සොයා බැලීමක් සිදුකොට ඔහුගේ සේවය තවදුරටත් යාපනය විශ්වවිද්‍යාලයට ලබාගැනීමට අවශ්‍ය පසුබිම සලසන ලෙස ලංකා ගුරු සංගමය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කර ඇත.

මෙයට,

ජෝසප් ස්ටාලින්
ප්‍රධාන ලේකම්

Archive

Latest news

Related news