Saturday, April 27, 2024

මාතර මාධ්‍යවේදියාට බාධා කිරීම අවිචාරවත් පොලිස් හැසිරීමට තවත් උදාහරණයක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාතර කිරින්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් අනතුරට පත් කරමින් රිය ධාවනය කළ සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එන අවස්ථාව වාර්තා කිරීමට 2020.07.15 දින අධිකරණය අසළ මාර්ගයේ රැඳී සිටි ජාතික රූපවාහිනී සංස්ථාවේ මාධ්‍යවේදී චමල් ප්‍රනාන්දු මහතාට පොලිස් නිලධාරීන්ගෙන් සිදුවූ බාධා කිරීම තවත් අවිචාරවත් ක්‍රියාවක් සේ සලකන  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් එය දැඩිසේ හෙළා දකී.

අධිකරණ රෙජිස්ටාර්වරයා සමග එහි පැමිණි පොලිස් නිලධාරිවරයෙකු මාධ්‍යවේදියා අධිකරණය තුළට ගෙන යෑමට උත්සාහ දරා ඇත. අනෙක් මාධ්‍යවේදීන් සිද්ධිය වන ස්ථානය වෙත එක්රොක් වන අවස්ථාවේදී තත්ත්වය සමහන් වී ඇති අතර, පසුව එහි පැමිණි රෙජිස්ටාර්වරයා පවසා ඇත්තේ උසාවි භූමියෙන් පිටත වාර්තා කිරීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට බාධා නොකරන ලෙස මහේස්ත්‍රාත්වරයා දැන්වූ බවයි.

මෙයින් පෙනී යන්නේ පොලිස් නිලධාරීන් ඇතුළු සමහර රාජ්‍ය නිලධාරීන් අධිකරණ කටයුතු වාර්තා කරන මාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය අයිතීන් උල්ලංඝනය කරමින් තර්ජනාත්මකව හැසිරීමට හා බලපෑම් කිරීමට කටයුතු කරන බවයි.දිගින් දිගටම සිදුවන මෙවැනි අවිචාරවත් ක්‍රියා හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒවා වැළැක්වීමට අදාළ පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Archive

Latest news

Related news