Monday, May 20, 2024

ග්ලයිෆොසේට් භාවිතයට වන්දි වශයෙන් ඩොලර් බිලියන10.9ක් ගෙවීමට බේයර් සමාගම එකඟ වෙයි.

ජර්මානු කෘෂි රසායනික සමාගමක් වන බේයර් ග්ලයිෆොසේට් අඩංඟු වල්පැල නාශකයක් වූ රවුන්ඩ්අප් නම් කෘෂි රසායනය නිසා පිළිකා ඇතිවූ බවට ඇමෙරිකාවෙහිදී කරන ලද පැමිණිළි ගණනාවක් වෙනුවෙන් ඩොලර් බිලියන10.9 ක වන්දියක් ගෙවීමට එකඟ වී තිබේ.

එනමුත් තවමත් ඇමෙරිකාවෙහි රවුන්ඩ්අප් වල්පැල නාශකය භාවිත වන බව හියුමන් රයිට්ස් වොච් ප්‍රකාශ කරයි.

1990 ගණන්වල මැද භාගයේදී ග්ලයිෆොසේට් වලට ඔරොත්තු දීම සඳහා නිර්මාණය කරන ලද ජානමය වශයෙන් නවීකරණය කරන ලද බීජ හඳුන්වා දීමත් සමඟ රවුන්ඩ්අප් විශේෂයෙන් ජනප්‍රිය විය. මෙයින් ඇත්ත වශයෙන්ම සිදුවුයේ මිනිසුන්ට තම වගාවන්ට හානියක් නොවන පරිදි වල් පැලෑටි විනාශ කිරීම සඳහා ග්ලයිෆොසේට් අඩංඟු රවුන්ඩ්අප් නිෂ්පාදිතය අවිචාරවත් ලෙස යෙදීමට ඉඩ ලැබීමය. අද වන විට එක්සත් ජනපදයේ වගා කැරෙන ඉරිඟු සහ සෝයා බෝංචි ශාක වලින් අති බහුතරයක් රවුන්ඩ්අප්ප්‍රතිරෝධී වේ. එනම් රවුන්ඩ්අප් නිසා එම බෝග මිය යන්නේ නැත.

ග්ලයිෆොසේට්, ජර්මනිය, සවුදි අරාබිය සහ වියට්නාමය ඇතුළු අවම වශයෙන් අධිකරණ බල ප්‍රදේශ 10 ක් තුළ හෝ තහනම් කර ඇති අතර අවම වශයෙන් අතිරේක රටවල් 15 ක් වත් එහි භාවිතය සීමා කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර ආයතනය ග්ලයිෆොසේට් “පිළිකා කාරකයක්” ලෙස විධිමත් ලෙස වර්ගීකරණය කර ඇත.

ශ්‍රී ලංකාවේද ග්ලයිෆොසේට් 2015 ජූනි මාසයේදී භාවිතය තහනම් කරන ලද නමුත් පසුව මහාපරිමාන වගාකරුවන්ගේ විශේෂයෙන්ම තේ සමාගම්වල බලපෑම යටතේ එම තහනම ඉවත් කරන ලදී. ග්ලයිෆොසේට් රජරට පැතිර පවත්නා වකුගඩු රෝගයට හේතුවක් ලෙස ද දක්වන ලද නමුත් එය තහවුරු වී නැත. 

මෙම වන්දි ගෙවීම පිළිබදව ප්‍රකාශයක් කරන හියුමන් රයිට්ස් වොච් සමාගම ප්‍රකාශ කරන්නේ ඇමෙරිකාවෙහි ග්ලයිෆොසේට් භාවිතය සම්පූර්නයෙන්ම තහනම් කළ යුතු බවයි. 

 

Archive

Latest news

Related news