Friday, July 19, 2024

අධිකරණ  පරිශ්‍රය තුළ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව‌ගේ හැසිරීම හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය 

කොළඹ අංක 1 මහාධිකරණ පරිශ්‍රයේදී වෘත්තීය ඡායාරූප මාධ්‍යවේදියෙකු වන අකිල ජයවර්ධන මහතාගේ වෘත්තීය කටයුතු වලට බාධා කරමින්, පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා  විසින් කරන ලද බාධාවන්  සහ තර්ජනය කිරීම්  නිදහස් මාධ්‍ය ව්‍යාපාර විසින් තරයේ හෙළා දකියි.

ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ හිටපු පොලිස් ස්ථනාධිපති, වැලිකඩ බන්ධනාගාර ඝාතන නඩුවේ පළමුවන සැකකරු වන පොලිස් පරික්ෂක නියෝමාල්  රංගජිව මහතා එම නඩුවට පෙනි සිටීම සඳහා, අධිකරණ පරිශ්‍රයට ඇතුල් වන විට ඔහුගේ  ඡායාරූප කිහිපයක් ගත් අවස්ථාවේදි තමාට තර්ජනය කළ බවත්, එවිට තම වෘත්තීය මාධ්‍ය හැඳුනුම් පත පෙන්වු නමුත්, එය  නොසලකා තමාව බලහත්කාරයෙන් අධිකරණ භූමියේ පිහිටි පොලිස් ස්ථානයට රැගෙන ගිය බවත්, එහිදි රංගජීව මහතා විසින් තම කැමරාවේ ‘මෙමරි කාඩ්’ පතද  ගලවා ඉවත් කොට ගත් බවත් අකිල ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

සමාජ ප්‍රශ්න පිළිබඳව පුරවැසියන්ට දැනුවත් වීමට සහ සංවාදයට ලක් කිරීමට ඇති අයිතිය  ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණ කරන අයිතිවාසිකමකි. මෙම අයිතිවාසිකම පුරවැසියන්ට භූක්ති විදීමට හැකි වන්නේ වෘත්තීය මාධ්‍යවේදීන් විසින් තොරතුරු වාර්තා කිරීම තුළිනි. නමුත් පසුගිය කාලය තුළ දිගින් දිගටම මාධ්‍යවේදීන්ගේ  රාජකාරි කටයුතු වලට, විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍ය සුරකින අධිකරණ පරිශ්‍රය තුළදීම අවහිර කිරීම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම්  අභියෝගයට ලක් කිරීමකි. මෙම අභියෝගය රාජ්‍ය නිලධාරින් තුළින් මතුවිම ගැටලුවක් මෙන්ම, භායනක ප්‍රවණතාවයක් ලෙසද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි.

දැනටමත් තමාට විරුද්ධව අධිකරණයේ විභාග වන නඩුවකට පෙනි සිටිමට පැමිණෙමින් සිටි පොලිස් පරික්ෂක නියෝමාල් රංගජිව මහතා ගේ හැසිරීම තරයේ හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වහාම මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා පුවත් දැන ගැනීමට පුරවැසියන්ට තිබෙන අයිතියට ගරු කරන  මෙන් බලධාරීන් ගෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටි.

 

 

Archive

Latest news

Related news