Monday, May 20, 2024

දරීශා බැස්ටියන්ස් මාධ්‍යවේදිනියට පීඩා කිරීම අවසන් කරන්න – අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන

මාධ්‍යවේදීනියක සහ මානව හිමිකම් ආරක්ෂිකාවක වන ර්ෂා බැස්ටියන්ස් සහ ඇගේ පවුලේ අය ඉලක්ක කිරීම, බිය ගැන්වීම සහ හිරිහැර කිරීම ශ්‍රී ලංකා බලධාරීන් විසින් නතර කළ යුතු යැයි අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන පහක් ඒ්කාබද්ධව ඉල්ලා සිට තිබේ.

ඒ්කාබද්ධ ප්‍රකාශණයක් නිකුත් කරන The Committee to Protect Journalists, Reporters Without Borders, Amnesty International, Human Rights Watch, and Front Line Defenders යන සංවිධාන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ මාධ්‍ය නිදහසට එරෙහි මෙම ප්‍රහාරයන් හෙළා දකිමින්, මෙම හිරිහැර කිරීම වහාම නතර කර බැස්ටියන්ස්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ශ්‍රී ලංකා පොලීසියෙන් ඉල්ලා සිට තිබේ.

ඒම නිවේදනය මෙසේද සඳහන් කරයි.

දරීශා බැස්ටියන්ස්

“ශ්‍රී ලංකා රජය විසින් අසත්‍යක් යැයි කියනු ලබන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවකාවක පැහැරගෙන යාමේ සිදුවීම පිළිබඳව විමර්ශනය කිරීමේදී අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) විසින් බැස්ටියන්ස් ඉලක්ක කර තිබේ . ස්විට්සර්ලන්ත බලධාරීන් කියා සිටින්නේ  සිදුවීම ඇත්තක් ඇති බවයි. 2019 දෙසැම්බරයේ සිට, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලීය සේවිකාව විසින් කරන ලදැයි  රජය කියන බොරු චෝදනාව පිළිබඳ පරීක්ෂණයකට බැස්ටියන්ස් සහ තවත් කිහිප දෙනෙකු සම්බන්ධ කිරීමට රහස් පොලිසිය උත්සාහ කර තිබේ. එය යම්කිසි කුමන්ත්‍රණයක් යැයි ඔප්පු කිරීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබේ. රාජ්‍ය හිතවාදී මාධ්‍ය විසින් සමාජ මාධ්‍යවලට ප්‍රහාරයන්ද උදව් කර ගනිමින් ඇය ද්‍රෝහියෙකු සහ අපරාධකරුවෙකු ලෙස හංවඩු ගැසීමේ ප්‍රචාරයක්, බැස්ටියන්ස් සහගේ පවුලේ අයට විරුද්ධ  පවත්වා ගෙන ගොස් තිබේ.

බැස්ටියන්ස් යනු සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ හිටපු කතුවරියයි. ඇය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ද ලිපි සපයයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, හමුදාකරණය, දූෂණය, ආගමික නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව බැස්ටියන්ස් පුළුල් ලෙස ලිපි ලියා ඇත. ඇයගේ ලිපි මගින් අනුප්‍රාප්තික රජයන් විසින් ඉලක්ක කරන ලද ජනතාවගේ අරගලයන්, විශේෂයෙන් ආගමික හා ජනවාර්ගික සුළුතරයන්ගේ අරගලයන් නිරන්තරයෙන් ඉස්මතු කර දක්වා තිබේ.

ඇයගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් බැස්ටියන්ස් සහ ඇගේ පවුලේ අය ඉලක්ක කරගත් පළමු අවස්ථාව මෙය නොවේ. ඇය ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් සහ සත්‍යය සහ වගවීම සඳහා වූ අරගලය ගැන ලියා තිබේ. 2008 දී නාවික හමුදාව විසින් තරුණයන් 11 දෙනෙකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඇති බවට චෝදනා එල්ල වූ “නාවික හමුදා පැහැරගැනීම් නඩුව” බැස්ටියන්ස් විසින් ආවරණය කරන ලදී. මෙම නඩුව ඉහළ පෙළේ නාවික නිලධාරීන් සම්බන්ධ. 2018 ජුලි මාසයේ දී දකුණු ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය පිළිබඳව සහ චීන ආයෝජකයින් විසින් හිටපු ජනාධිපති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ අරමුදලට කරන ලද ගෙවීම් කිරීම පිළිබඳ ලිපියකට දායකවීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇය හෙළා දකිමින් ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කළෝය.

වරෙන්තුවක් නොමැතිව ඇයගේ පුද්ගලික ලැප්ටොප් පරිගණකය අත් අඩංඟුවට ගැනීමට දෙවරක් උත්සාහ කිරීමෙන් පසුව, රහස් පොලීසියේ නිලධාරීන් වරෙන්තුවක් රැගෙන 2020 ජුනි 9 වන දින කොළඹ පිහිටි බැස්ටියන්ස්ගේ නිවසට ඇතුළු වී, නිවස සහ ඇගේ පෞද්ගලික බඩු බාහිරාදිය පරීක්ෂා කර පරිගණකය අත් අඩංඟවට ගත්හ.”

සිය දුරකථන ඇමතුම් වාර්තා “අධිකරණ නියෝගයකින් තොරව” ලබා ගෙන ඇති බව ජුනි 15 දා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බැස්ටියන්ස් කියා සිටියේ . එමගින් ඇයගේ මූලාශ්‍ර සහ සම්බන්ධතා බරපතල ලෙස අනතුරට ලක් කළ හැකි යැයි ද ඇය ඒම පණිවිඩයෙන් කියා සිටියාය.

ශ්‍රී ලංකාවේ නීති නිලධාරීන් විසින් ඇයගේ සගයන්, ආශ්‍රිතයන් සහ පවුලේ සාමාජිකයන් නැවත නැවතත් ඉලක්ක කර තිබේ.

බැස්ටියන්ස් ඉලක්ක කර ඇත්තේ වෘත්තීමය මාධ්‍යවේදිනියක සහ මානව හිමිකම් ආරක්ෂා කරන්නියක ලෙස ඇය කළ සේවය හේතුවෙන් යැයි සදහන් කරන ඒ්කාබද්ධ නිවේදනයට අත්සන් තැබූ සංවිධාන, ශ්‍රී ලංකා රජය විසින් දරීශා බැස්ටියන්ස් ඉලක්ක කිරීම, බිය ගැන්වීම සහ හිරිහැර කිරීම දැඩි ලෙස හෙළා දකින බව ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ බලධාරීන්, ඇගේ සමීපතමයින්ට, සගයන් සහ පවුලේ අයට ප්‍රහාර එල්ල කිරීම, බිය ගැන්වීම සහ හිරිහැර කිරීම වහාම නතර කර ඔවුන්ගේ ආරක්ෂාව සහ ආරක්ෂාව සහතික කළ යුතු යැයි ද ඒම ප්‍රකාශණය කියා සිටී.

Archive

Latest news

Related news