Thursday, April 18, 2024

ප්‍රකාශ දීමට පෙර ළමුන්ට හිජාස් හිස්බුල්ලාගේ ජායාරූප පෙන්වීමට උත්සාහ කළ රහස් පොලීසිය අධිකරණයෙන් පිටමං කරයි!

රහස් පොලීසිය විසින් අත් අඩංඟුවට ගෙන ජනාධිපති රාජපක්ෂගේ නියෝගයකින් රදවා ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් ලාබාල ළමුන් දෙදෙනෙකුගේ ප්‍රකාශ පටිගත කිරීමට පෙර අපරාධ විමර්ශන දෙපාර්මේථන්තුවේ නිලධාරීන් විසින් හිජාස් හිස්බුල්ලාගේ ජායාරූප එම ළමයින්ට පෙන්වීමට රහස් පොලිස් නිලධාරීන් උත්සාහ කළ බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක පසුගිය 24දා විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කර තිබේ.

මට මෙය හෙළි කිරීමට අවශ්‍යයි. රහස් පොලිසියේ නිලධාරීන් පින්තූර පෙන්වීමට උත්සාහ කළා. මට ඔවුන්ට අධිකරණ කාමරයෙන් පිටවන ලෙස කීමට සිදු වුණා. ” යැයි මහේස්ත්‍රාත් රංග දිසානායක ප්‍රකාශ කළේය.

රහස් පොලීසියේ ඉල්ලීම පරිදි හිජාස් හිස්බුල්ලා  හඳුනාගැනීමේ පෙරට්ටුවක් 24 දා පැවැත්වීමට නියමිතව තිබූ අතර හිස්බුල්ලා හඳුනා ගැනීම සඳහා ළමුන් 10 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස කැඳවනු ලැබ තිබුණි.

හිස්බුල්ලා හඳුනා ගැනීම සඳහා ළමයින්ට රහස් පොලිසියේ නිලධාරීන් විසින් බල කර ඇති බවත්, පෙරට්ටුව “නීති විරෝධී ක්‍රියාවලියක් නීත්‍යානුකූල කිරීම” සඳහා කරන ව්‍යාජ ව්‍යායාමයක් බවත් හිස්බුල්ලා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම අධිකරණයට පැවසූහ.

ඔවුන් කියා සිටියේ, හිස්බුල්ලාගේ පින්තූර මාධ්‍යය පුරා දිගින් දිගටම පෙන්වා ඇති බවත් මෙම තත්වයන් යටතේ හදුණා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීම නීති විරෝධී බවත්ය.

වධහිංසා පැමිණවීම සහ බලහත්කාරයන් කිරීම යන චෝදනා මත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් අයදුම්පත් ගොනු කළ ළමුන් තිදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ කියා සිටියේ හැඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට රහස් පොලිසිය උත්සාහ කරන්නේ එය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රයෝජනයට ගැනීමට බවයි.

මෙම පෙරට්ටුව සඳහා රහස් පොලීසිය ඉල්ලීමක් කරන ලද්දේ දින 60ක් ගතවීමෙන් පසුත් මේ තාක් අධිකරණය හමුවේ ඉදිරිපත්කර නැති හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කළ යුතුද නැත්ද යන්න සම්බන්ධයෙන් ජූලි 01 දින තීරණයක් ප්‍රකාශ කරන බව අධිකරණය දැනුම් දීමෙන් පසුය. හදිසියේ මෙවැනි අයදුම්පතක් ඉදිරිපත් කිරීමට රහස් පොලිසිය තීරණය කිරීම නිසා ද්වේෂ සහගත බව නීතිඥ බෝපගේ පැවසීය.

පෙරට්ටුවට මෙතරම් දැඩි ලෙස විරුද්ධ වන්නේ මන්දැයි නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් හිස්බුල්ලා වෙනුවෙන් නීතිවරයාගෙන් විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥ නවරත්න බන්ඩාර අධිකරණයට කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 18 වන වගන්තිය යටතේ හරස් ප්‍රශ්ණ ඇසීමකින් තොරව හදුණාගැනීමේ පෙරට්ටුවක් සාක්ෂි ලෙස පිළිගත හැකි විධිවිධානයක් ඇති බවත්, රහස් පොලීසිය පෙරට්ටුවක් පැවැත්වීමට බලකිරීමට හේතුව එම ප්‍රතිපාදන භාවිතා කිරීමට බවත්ය.

රහස් පොලිසිය වරදකරු කිරීම සඳහා “සංවිධානාත්මක කල්ලියක” බල කිරීම මත වධහිංසා පැමිණවීමේ චෝදනාව මත ළමුන් විසින් මූලික අයිතිවාසිකම් අයදුම්පත් ගොනු කර ඇතැයි නීතිපති දෙපාර්ථමේන්තුවේ නීතිඥ දිලීප පීරිස් අධිකරණයට පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ බෝපගේ කියා සිටියේ රහස් පොලිසියේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ උපදෙස් ලැබීමෙන් පසු ළමා නිවාසයට ගියේ තමා බවය.

මම පෞද්ගලිකවම එහි ගියා. ඔවුන් දිවුරුම් ප්‍රකාශවලට අත්සන් කර පැමිණිලි කරන විට මා එහි සිටියා. මේ ආකාරයේ බොරු රජයක් විසින් තහවුරු නොකළ යුතුයි” යැයි ඔහු කීය.

පැය දෙකකට වැඩි කාලයක්  කරුණු විමසූ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සිය නියෝගය අවලංගු කර හදුණා ගැනීමේ පැවැත්වීම අවලංගු කළේය.

( ඩේලි එෆ් ටී පුවත් පතෙහි ජූනි 26 දින පළ වූ වාර්තාවක් ඇසුරිණි)

Archive

Latest news

Related news