Thursday, July 18, 2024

සාමකාමී විරෝධතාවයක යෙදුණු පෙ.ස.ප. පිරිසක් අත්අඩංගුවට ගැනීම ගැන වෘත්තීය සමිති  හා සිවිල් සංවිධාන විරෝධය දක්වයි

ඡායාරූපය ලංකා විව්ස් වෙතිනි.

කලු ඇමෙරිකානුවෙකු වන ජෝජ් ෆ්ලොයිඩ් ඇමරිකානු පොලීසිය විසින් ඝාතනය කිරීමට එරෙහිව ලොව පුරා පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයට සමගාමීව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (2020.06.09) දහවල් කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි. කොළඹ නගර සභාව අසල ලිප්ටන් වටරවුමේදී පැවැති එම විරෝධතාව නිරෝධායන රීතීන්ට අනුව සමාජ දුරස්ථබව රැකගෙන කළ විරෝධතාවක් වුවද පොලිස් බලඇණි එම ස්ථානයට පැමිණ සමාජ දුරස්ථබව පසෙකලා උද්ඝෝෂකයන්ට පහර දෙමින් විශාල පිරිසක් පොලිස් වාහනයක නංවාගෙන ගියහ.

සාමකාමීව පැවැත්වූ එම විරෝධතාවට පොලීසිය පහරදීම සහ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම පැහැදිලිවම  මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වන අතර, මෙවැනි විරෝධතා සංවිධානය කරන පිරිස් බිය ගැන්වීමට රජය ලබාදුන් තර්ජනාත්මක පණිවුඩයක් බව අපගේ අදහසයි.

මෙම පිරිසට අමතරව කොල්ලුපිටිය ලිබර්ටි සිනමාහල අසලදී තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පිරිස අතර නීතීඥවරු දෙදෙනෙක්ද සිටිති. එක් නීතීඥවරියක අත්අඩංගුවට ගෙන තිබුණේ සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට හේතුව විමසීමේදීය. ‍

පසුගිය වකවානුවේ ආණ්ඩුවේ ආධාරකරුවන් අවස්ථා ගණනාවකදී නිරෝධායන රීති කඩ කරමින් හැසිරුණද ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොකළ පොලීසිය නිරෝධායන රීතීන්ට අනුව උද්ඝෝෂණය කළ පිරිසකට පහර දී අත්අඩංගුවට ගැනීමෙන් පැහැදිලි වන්නේ රටේ ව්‍යවස්ථාපිත අයිතීන් ආණ්ඩුවේ දේශපාලන ඕනෑ එපාකම්වලට අනුව උල්ලංඝණය කිරීමට පොලීසියේ ඇති සූදානමයි.

කොරෝනා වසංගතයෙන් බරපතල ලෙස  ජීවිත හානි වාර්තා වූ ඇමරිකාව, යුරෝපය, ලතින් ඇමරිකානු හා ආසියාතික රටවල් ගණනාවක ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය හේතු කරගනිමින් ජාතිවාදයට එරෙහිව දස දහස් සංඛ්‍යාත ජනයාගේ සහභාගීත්වයෙන් අති දැවැන්ත විරෝධතා පැවැත්විණ.  එවැනි කිසිදු විරෝධතාවයක් මේසා විවෘත හා ප්‍රචණ්ඩ පොලිස් බලයක් මගින් මර්දනය කිරීමට එකී බොහෝ රටවල් පියවර නොගත්හ.

අද පැවති මෙම විරෝධතාවට තිබූ සහභාගීත්වය හා සැසදීමේ දී ඊට අසමානුපාතික ප්‍රචණ්ඩ පොලිස් බලයක් යොදවා මර්දනය කිරීම, එළඹෙන කාලය පිළිබඳව බරපතල ඇඟවුම් අනාවරණය කිරීමකි.

කොරෝනා වසංගතයට මුවාවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය හෙළා දකින අතර, එය පරාජය කිරීම සඳහා වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ඒකාබද්ධව කටයුතු කිරීමට අපි සූදානමින් සිටිමු.

මෙයට,

x  ලංකා ගුරු සංගමය

x  ලංකා වෙළද කාර්මික හා පොදු සේවක සංගමය

x  ශී‍්‍ර ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය

x  සමස්ථ ලංකා රාජ්‍ය කලමනාකරණ නිළධාරීන්ගේ සංගමය

x  වාරිමාර්ග පොදු සේවක සංගමය

x  ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය

x  පළාත් රාජ්‍ය කළමණාකරණ සේවා නිළධාරින්ගේ සංගමය

x  ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය

x  මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

x  වානිජ හා කාර්මික සේවක සංගමය

x දුම්රිය සේවක සංගමය

x  එක්සත් කම්කරු සම්මේලනය

x  ටෙලිකොම් සියලූ සේවක සංගමය

x  තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය

x  රජයේ කර්මාන්ත ශාලා සේවක සංගමය

x  එක්සත් ජාතික තැපැල් සේවක සංගමය

x  එක්සත් තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය

x  ලංකා වෘත්තීය සමිති සම්මේලනය

x  එක්සත් පොදු සේවක සංගමය

x  ශී‍්‍ර ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

x  අන්තර්ජාල මාධ්‍ය කි‍්‍රයාකාරීත්වය (IMA)

x  ශී‍්‍ර ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

x  ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

x  ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය

x නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Archive

Latest news

Related news