Tuesday, July 16, 2024

විනය ගරුක රටක් සෑදීමේ රාජපක්ෂ කාර්ය සාධක බලකාය රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට තර්ජනයක්.- වෘත්තීය සමිති

ඒකාබද්ධ ප්‍රකාශණයක් නිකුත් කරන  ලංකා ගුරු සංගමය,  ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය, සහ පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා සංගමය සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා යයි සඳහන් කරමින් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය  මගින් රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ලවීම වැලැක්වීමට කටයුතු යොදන ලෙසත් රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි.

එම ප්‍රකාශණය පහත පළවේ:

සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා ස්ථාපනය කර ඇති ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන් පමණක් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකාය රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට තර්ජනයක්.

2020 ජුනි 02 දිනැති අංක 2178/18 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් ජනාධිපතිවරයා විසින් සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා යයි සඳහන් කරමින් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ඇත. මෙම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් 13 ක් වන අතර ඒ සියලූම දෙනා ආරක්ෂක අංශ සාමාජිකයින් වන අතර කිසිදු සිවිල් නියෝජිතයෙකු පත්කොට නැත.

ඔවුන් විසින් කි‍්‍රයාත්මක කළ යුතු කාර්යයන් අතර පළමු කාර්ය වන්නේ ‘නිදහස් හා සාමකාමී සමාජ පැවැත්මට හානිකර අයුරින් මතුවෙමින් පවතින නීතිය උල්ලංඝණය කරමින් හැසිරෙන ‘‘සමාජ කණ්ඩායම්වල’’ නීති විරෝධී කි‍්‍රයා මැඩපැවැත්වීමට කඩිනම් පියවර ගැනීමය. මෙහිදී ‘‘සමාජ කණ්ඩායම්’’ ලෙස දක්වා ඇති කොටස් පිළිබඳ පැහැදිලි අර්ථ නිරූපණයක් දක්වා නොමැති අතර, ඒ හේතුවෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් ලෙස යම් යම් කාරණා සම්බන්ධයෙන් විරෝධය දක්වන කණ්ඩායම් ද අර්ථ දැක්විය හැකිය. එසේ වීම මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල කරන බලවත් ප‍්‍රහාරයකි. මේ වන විට මෙම කාර්ය සාධක බලකාය ආණ්ඩුව කෙරෙහි විවේචනාත්මකව කටයුතු කරන කණ්ඩායම් කෙරෙහි සෝදිසියෙන් සිටින බව ද ජනාමාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

උක්ත ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ ‘‘ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් උපදෙස් නිකුත් කරනු ලැබිය හැකි නැතහොත් සේවා සැපයීම පිණිස සහාය ඉල්ලා සිටිය හැකි සියලූම රජයේ නිලධරයන් හා එබඳු සෙසු තැනැත්තන් විසින් තත් කාර්යය සම්බන්ධයෙන් නිසි අයුරින් පිළිපැදිය හැකි එබඳු උපදෙස්වලට අනුකූලව කි‍්‍රයාකළ යුතු යැයි ද, ලබාදිය හැකි සියලූම සහාය සැලසිය යුතු යැයිද, සැපයිය හැකි සියලූම තොරතුරු ලබාදිය යුතු යැයි ද මම මෙයින් සියලූම රජයේ නිලධරයන්ට සහ සෙසු තැනැත්තන්ට නියම කොට විධානය කරමි.’’ යනුවෙනි. මේ තුළ රජයේ සේවය මුළුමනින්ම  මෙම කාර්ය සාධක බලකායට යටත් කොට ඇත.  උක්ත කාර්ය සාධක බලකාය විසින් ලබාදිය හැක්කේ කුමනාකාර උපදෙස් ද, ලබාදිය යුතු සහාය හා තොරතුරු කුමනාකාරද යන්න පැහැදිලි කොට නැත. ඒ නිසාම රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අභිමතානුසාරී බලයක් ආරෝපණය වීම නොවැලැක්විය හැකිය. රාජ්‍ය සේවය පාලනයට අදාළව බලධූරාවලියක්, නීති රීති, අණ පනත් හා චක‍්‍රලේඛ පවතින අතර, රාජ්‍ය සේවය කි‍්‍රයාත්මක වන්නේ ඒ අනුවය. ඊට පරිබාහිරව මුළුමනින්ම ආරක්ෂක අංශ සාමාජිකත්වයකින් යුත් උක්ත කාර්ය සාධක බලකායට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අසීමිත බලයක් ලබාදීම රාජ්‍ය සේවයේ ස්වාධීණත්වයට සිදුකරන බරපතල තර්ජනයකි.

මේ තත්වය තුළ උක්ත කාර්ය සාධක බලකායේ නියෝජනය පිළිබඳ අවධානය යොමු කරන ලෙසත්, එම කාර්ය සාධක බලකාය මගින් රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ලවීම වැලැක්වීමට කටයුතු යොදන ලෙසත් රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා සිටිමු.

මෙයට,

ජෝසප් ස්ටාලින් – ප්‍රධාන ලේකම් – ලංකා ගුරු සංගමය

චින්තක බණ්ඩාර – සභාපති – ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය

විජිත ප්‍රේමරත්න – ලේකම් – පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා සංගමය

Archive

Latest news

Related news