Tuesday, July 16, 2024

මිලිටරි කරණය දිගටම: තවත් රාජ්‍ය ආයතන ආරක්ෂක අමාත්‍යංශය යටතට – ප්‍රදීප් රාමනායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඉකුත් 22වනදාඅතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය ආයතන හයක පරිපාලනය ඇතුලු තවත් විෂය පථයන් කිහිපයක්ම ආරක්ෂක අමාත්‍යංශය යටතට ගෙන ඇත

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ පැවතිමුදල් අමාත්‍යංශයට අනුබද්ධිත ප්‍රධානතම පුහුනු ඇකඩමිය වන මිලෝදා ආයතනය, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරිය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනය ඒ අතරින් ප්‍රමුඛය.

මෙම පියවර වනාහි, කම්කරුවන් සහ අනෙකුත් පීඩිතයන් අතරින් පැන නගින පන්ති අරගල රුදුරු ලෙස මැඩීම සඳහා, ආඥාදායක පාලනයක් තහවුරු කර ගැනීමට ජනාධිපති රාජපක්ෂ යමින් සිටින වේගවත් ගමනේ අත්‍යන්ත කොටසකි

කොරෝනා වසංගතය දඩමීමා කර ගනිමින් පාලකයන් විසින් ගෙනයන දැවැන්ත රැකියා සහ වැටුප් කප්පාදුවට එරෙහිව කම්කරු පන්තිය දැනටමත් අරගලයට අවතීර්නවී සිටී. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයෙන් නුදුරේදී එල්ල කිරීමට නියමිත ප්‍රහාරයන් හමුවේ දැවැන්ත පන්ති අරගල පුපුරා යාමට නියමිතය

මෙම නව පවරා ගැනීම්වල අර්ථභාරය වටහාගත යුත්තේ එම සන්දර්භය තුලයි.

පසුගිය වසරේ දෙසැම්බරයේදී රාජපක්ෂ ආන්ඩුව බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය ගොඩනැගීමට තීන්දු කල අතර, අඩු ආදායම්ලාභි පවුල්වල රැකියා විරහිත හා නුපුහුනු තරුනයන් 100,000 ක් ඒ සඳහා බඳවා ගැනීමට නියමිත විය. විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාඅරච්චිගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වුනු මෙම බලකායට පුද්ගලයන් බඳවා ගැනුනු සම්මුඛ පරීක්ෂන සෘජුවම මිලිටරියෙන් අධීක්ෂනය විය

දිලිඳුකම සහ තරුන විරැකියාව” පිටුදැකීමේ ප්‍රකාශිත අරමුන යටතේ පිහිටවූ මෙම බලකාය, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන්ට සහ අවශේෂ පීඩිතයන්ට එරෙහිව මුගුරක් ලෙස යොදාගත හැකිවන පරිදි, රාජ්‍ය බුද්ධි අංශය ඇතුලු ආරක්ෂක ජාලය සමග සමීපව වැඩකටයුතු කරන සහායක බටකායක් ලෙස ගොඩනැගීම ආන්ඩුවේ මූලික එල්ලය විය

[title]පොලීසිය මිලිටරි පාලනයට[/title]

නීතිය හා සාමය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ පොලීසිය සහ ඊට සම්බන්ධ ක්‍රියාවලීන් මිලිටරියේ පාලනය යටතට ගැනීමද රාජපක්ෂගේ ආඥාදායක වැඩපිලිවෙලේ කොටසක් ලෙස පවතී

ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය බුද්ධි අංශය හමුදාවේ බ්‍රිගේඩියර්වරයෙක් යටතට පත්කිරීමත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය ඉවත්කර ආරක්ෂක අංශවල සියලු නිවේදන ලබාදීම සඳහා හමුදා මාධ්‍ය ප්‍රකාශකයෙකු පත්කිරීමත් ඒ යටතේ සිදුවිය. දැන් ජාතික පොලිස්  අභ්‍යාස ආයතනයද ආරක්ෂක අමාත්‍යංශය යටතට ගනිමින් රාජපක්ෂ ආන්ඩුව තම වැඩපිලිවෙල තවත් ඉදිරියට ගෙනගොස් ඇත.

ජනාධිපති රාජපක්ෂ තම අත්තනෝමතික පාලනය තහවුරු කර ගැනීම සඳහා තමා කේන්ද්‍ර කරගත් කල්ලියක් අත සියලු බලය ගොනුකර ගනිමින් සිටී. ආරක්ෂක ආමාත්‍යංශය මෙහෙයවන්නේ ඔහුට ඉතාම සමීප විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු වන කමල් ගුනරත්න විසිනි

පසුගිය වසරේ තමන් බලයට පත්වූ තැන් පටන් ආරක්ෂක අමාත්‍යංශයේ විෂය පථය පුලුල් කිරීම ඇරඹූ රාජපක්ෂ, විශ්‍රාමික හමුදා නිලධාරීන් තීරනාත්මක රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් බවට පත්කෙරුනේ අනියමින් එම ආයතනද ආරක්ෂක අමාත්‍යංශයේ ග්‍රහනයට නතුකරමිනි

රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වරාය අධිකාරයේ සභාපති, සිවිල් හා ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, විදුලි සංදේශ සහ නියාමන කොමිෂන් සභාවේ සභාපති, කෘෂිකර්ම සහ වාර්මාර්ග අමාත්‍යංශ ලේකම් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් යන ධුරයන් රාජපක්ෂ විසින් පවරන ලද්දේ විශ්‍රාමික හෝ සේවයේ නියුතු මේජර් ජෙනරාල්වරු පිරිසකටයි.

[title]මිලිටරිකරණය තව දුරටත්[/title]

කොරෝනා වසංගතය ගසා කමින්, සමස්ත සමාජයම මිලිටරියේ ආධිපත්‍යය යටතට ගෙනඒමේ වැඩ කටයුතු වේගවත් කිරීමට රාජපක්ෂ පියවර ගත්තේ ය. එහි කොටසක් ලෙස, කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කෙරුනේ, සෞඛ්‍යයද ඇතුලු රාජ්‍ය සේවයේ සියලු අංශයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔහුගේ අනසකට යටත් කරමිනි.  

ඉදිරියේදී තවත් බොහෝ තනතුරු හමුදා සේවයේ නිරත වූවන් විසින් දරනු ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ පසුගියදා පැවති යුද ජයග්‍රහන සැමරුම වෙනුවෙන් නිකුත්කල ප්‍රකාශයෙන් වඩාත් සෘජුව අඟවා සිටියේ ය. “අපේ ආන්ඩුව බලයේ සිටින විට ආරක්ෂක හමුදාවල හිටපු සාමාජිකයන් ආන්ඩුවේ විවිධ තනතුරු දරනු ඇතැ” යි ඔහු පැවසීය

ආරක්ෂක අමාත්‍යංශය යටතට ගෙන ඇති පොලිස් අභ්‍යාස ආයතනය සහ මෑතකදී පිහිටවූ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනය හරහා “පොලිස් නිලධාරීන්ගේ සහ වෙනත් නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරින්ගේ වෘත්තීමය දැනුම හා නිපුනතා දියුනු කිරීම මෙන්ම ත්‍රිවිධ හමුදා හා සිවිල් නිලධාරීන්ට ක්‍රමෝපායන් හා ක්‍රමවේදයන් පිලිබඳව අධ්‍යාපනයක් ලබා දීම” ආරක්ෂක අමාත්‍යංශයේ කාර්යභාරයක් ලෙස පැවරෙන බව ගැසට් පත්‍රයේ සඳහන් වී ඇත

රාජපක්ෂගේ මෙම ප්‍රවේශය, කම්කරු පන්තිය මත එල්ල කිරීමට යන රුදුරු ප්‍රහාරයේදී පොලිසිය ඇතුලු ආරක්ෂක අංශවල නව බලකායන් වඩා සංවිධානගත ආකාරයකින් පුහුනු කරගැනීම සඳහා ය.

විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා ආන්ඩුවට එල්ලවන විරෝධතා මර්දනය කිරීම සඳහා විශේෂ පොලිස්, හමුදා ඒකක පිහිටුවා ගනිමින් රාජපක්ෂ ආන්ඩුව දැනටමත් වැඩට බැසගෙන ඇත. එවැනි ඒකක වඩාත් තියුනු ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තාක්ෂනික හැකියාවන්ගෙන් ආරක්ෂක අංශ සන්නද්ධ කිරීමේ වැඩසටහන් ගැසට් නිවේදනයේ සඳහන් වන “වෘත්තීය දැනුම සහ නිපුනතා” තුලට අඩංගු කෙරී ඇති බවට සැකයක් නැත.

[title]මර්දනයක් දිගේලි කිරීම[/title]

ආර්ථික අර්බුදයේ පතුල දකිමින් සිටින ආන්ඩුව එයින් ගොඩ ඒමට සැරසෙන්නේ කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් වනසා දමමින් රුදුරුම අන්දමේ මර්දනයක් දිගේලි කිරීමෙනි

එහිදී සිවිල් පරිපාලනයක් යටතේ කම්කරුවන්ට හිමිවන අවම අයිතියක් හෝ ඉවසා දරා සිටීමට ආන්ඩුව සූදානම් නැත. හමුදා නිලධාරීන් ආයතන ප්‍රධානීන් ලෙස පත්කරමින් ක්‍රමානුකූලව රාජ්‍ය පරිපාලනය මිලිටරිය යටතට ගැනීම සඳහා ආන්ඩුව සැලසුම් කරන බව වඩවඩාත් පැහැදිලි වෙමින් පවතී.

ආන්ඩුව වසංගත අගුලුලෑම් ලිහිල් කර ඇත්තේ වඩාත් මර්දනකාරී නීති හඳුන්වා දෙමිනි. සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීමට වරදකරු වුවහොත් සය මසක සිර දඬුවමකට යටත් කෙරෙන බව ආන්ඩුව නිවේදනය කර ඇත

ආන්ඩුව සමාජ දුරස්ථභාවය අධීක්ෂනය කිරීමේ ව්‍යාජය යටතේ කොලඹ සහ තදාසන්න කාර්මික ප්‍රදේශවල දහස් ගනනින් හමුදා සෙබලුන් දිගේලි කොට ඇත. ජනාධිපති රාජපක්ෂ ඉහත ගැසට් පත්‍රය නිකුත්කල දිනයේම මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාවන් දිවයින පුරා යෙදවීම සම්බන්ධ ගැසට් පත්‍රය අලුත් කලේය. ඒ යටතේ කොලඹ සහ තදාසන්න ප්‍රදේශවල රථවාහන හැසිරවීමට පවා දැන් ත්‍රිවිධ හමුදා සෙබලු යෙදවෙති.

උපුටා ගන්නා ලද්දේ ලෝක සමාජවාදී වෙබ් අඩවියෙනි. සම්පූර්ණ ලිපිය  මෙතැනින් කියවන්න.

Archive

Latest news

Related news