Monday, May 20, 2024

අටලුගමදී මාධ්‍යවේදියකුට තර්ජනය කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි

බාධා කිරීම් හා තර්ජනය කිරීම් මගින් ප්‍රාදේශිය මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් ගේ වෘත්තිය කාර්යය අවහිර කිරීම මාධ්‍ය නිදහස උදුරා ගැනීමක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.

හිරු,දෙරණ හා ස්වර්ණවාහීනි  රූපවාහිනී නාළිකාවල ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් මහතා 2020 මැයි 24 වැනිදා කොවිඩ් වසංගතය පැතිර යාම හේතුවෙන් ආන්දෝලනයට තුඩු දුන් අටලුගම ප්‍රදේශයේ ජනයා රාමසාන් උත්සවය සමරන ආකාරය වාර්තා කරන අවස්ථාවේ කිසියම් පිරිසක් ඔහු බිය වද්දමින් තර්ජනය කරන අන්දම ජනමාධ්‍ය ඔස්සේ වාර්තා විය.

එදින ඔහු සිය වාර්තාකරණ කාර්යයන්ට එහි ගොස් තිබුණේ ප්‍රදේශයේ දේවස්ථානයක පාලක මණ්ඩලය හා එහි සභාපතිවරයාගේ ඇරයුමෙන් බවද, එහි අරමුණ සති කිහිපයකට පෙර පූර්ණ වශයෙන් නිරෝධායනය කර තිබූ ප්‍රදේශයක ජනයා සිය ආගමික වතාවත් ඉටු කරන ආකාරය වාර්තා කිරීම බවද මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එහිදී බහුතර ජනයා ඔහු හා සුහදව කටයුතු කරද්දී කිසියම් කණ්ඩායමක් මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන්ගේ රථයටද හානි සිදු කරමින් පහර දෙන්නට තැත් කිරීම හා ඔහු පටිගත කළ දර්ශන රූපවාහිනී මාධ්‍යවල ප්‍රචාරය කළහොත් ඔහු ගැන බලා ගන්නවා යැයි කියමින් තර්ජනය කිරීමද කිසිසේත් සිදු නොවිය යුතු බරපතල තත්ත්වයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දකියි.

ඇතැම්විට පසුගිය සමයේ සමහර මාධ්‍ය වාර්තා මගින් අටලුගම ප්‍රදේශවාසීන් පිළිබඳව පුරවැසියා තුළ සැක සංකා ඇතිවන ආකාරයෙන් කළ වාර්තා කිරීම් නිසා මේ පිරිස මෙසේ හැසිරුණා වන්නට පුලුවන. එහෙත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දකින්නේ මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ වන එවැනි ගැටලු පුළුල් ප්‍රතිසංස්කරණ මගින් මිස තර්ජනය කිරීමෙන් හෝ අවහිර කිරීමෙන් විසඳා ගත නොහැකි බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේදී ජනමාධ්‍ය හා පුරවැසියා සිටිය යුත්තේ එකම වේදිකාවක වන අතර බලයේ සිටින පාර්ශව තර්ජනාත්මක ලෙස හැසිරීමේදී එය අතිශයින් වැදගත් වේ. එවැනි පසුබිමකදී මාධ්‍යවේදි බිමල් ශ්‍යාමන්ට මුහුණ දෙන්නට සිදු වූ තත්ත්වය කිසිසේත් සිදු නොවිය යුතු බව අදහස් කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිදුවීම හෙළා දකියි.

එබැවින් මේ සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන මෙන් අදාල පාර්ශවවලින් ඉල්ලා සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නේ වඩාත් වෘත්තීයමය පසුබිමක සිය වාර්තාකරණ කාර්යයන්හී නිරත වීමට ප්‍රාදේශීය මාධ්‍යවේදින් සවි බල ගන්වන ලෙසයි.

Archive

Latest news

Related news