Saturday, April 20, 2024

11 දෙනෙකු අතුරුදන් කරවීමේ නඩුවේ වින්දිතයින්ගේ නීතීඥවරිය අචලා සෙනවිරත්නට මරණ තර්ජන

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තම චරිතයට සහ ජීවිතයට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් නීතීඥ අචලා සෙනවිරත්න මෙනවිය විසින් ඊයේ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ

කප්පම් ගැනීම සඳහා නාවික හමුදා කල්ලියක් විසින් පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම පිළිබඳ නඩුවේ වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරිය වන්නේ අචලා සෙනවිරත්න මෙනවියයි

පසුගිය කාලයේදී රටේ ඇඳිරි නීතිය පනවලා තිබුණා. ඒ කාලය තුළ මගේ ඡායාරූප සහිතව, එම ඡායාරූප විකෘති කරලා, මගේ නීතීඥ ලෝගුව සහිත ඡායාරූප සමාජ මාධ්‍ය ජාල තුළ සැලසුම් සහගතව මගේ චරිතයට සහ මගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් භාවිතා කරමින් සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රචාරය කිරීමක් සිද්ධ කළා. විශේෂයෙන් පොලිස් මිතුරෝ කියන වෙබ් පිටුව හරහාත් ඒ ආකාරයෙන් ද්වේශ සහගත දැන්වීම් ප්‍රචාරය කිරීමක් කරනු ලැබුවා

මීට වසරකට කලින් මේ ආකාරයට පාස්කු ප්‍රහාරය සිද්ධ වුණු අවස්ථාවේත් රටේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මගේ ඡායාරූප භාවිතා කරමින් මගේ වෘත්තීයමය ජීවිතයට සහ මගේ ජීවිතයට හානි කරවන ආකාරයෙන් විවිධාකාර දැන්වීම් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වුණා සැලසුම් සහගතව. නමුත් වසරකට අධික කාලයක් වෙනවා ඒ ගැන පැමිණිල්ල මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිද්ධ කරලා, මේ වෙනතෙක් ඒ පැමිණිල්ලට අදාළව කිසිම දෙයක් මාහට දැනුම් දීලා නෑ

මම අද දිනයේ ඒ ගැනත් විමසීමක් කළා. ඉතාමත්ම ඛේදනීය තත්වයක් තමයි ඒ පූර්ව අවස්ථාවේදී මට සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පුද්ගලයා මේ වනතෙක් ඒ මුහුණ පොතේ ඒ ආකාරයෙන්ම සිටිමින් මට තර්ජනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කරනවා. මට ඒක පුදුම සහගතයි, මොකද මම පූර්ව අවස්ථාවේදී එම පුද්ගලයා සම්බන්ධ පැමිණිල්ලක් කරලා තියෙද්දී ඔහුට කොහොමද එම ආකාරයටම එම මුහුණු පොත හරහාම යළිත් තර්ජනය කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබුණේ රටේ නීතියට අනුව කියන එක

මුල් පැමිණිල්ල සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ඨ වුණේ නෑ. මම හිතනවා මේ පැමිණිල්ල සම්බන්ධයෙන් හෝ මට සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියලා. මොකද මම කරන්නෙ වෘත්තීයමය කාරණයක්. මිනිස්සුන්ට යම් අසාධාරණයක් වෙලා තියෙනවා නම්, අපගෙන් උපදෙස් ලබාගන්න එනවා නම් මම ඒකයි කරලා තියෙන්නෙ. ඒකෙන් යම් පුද්ගලයින්ට, යම් අපරාධ කණ්ඩායමකට රිදවීමක් වුණා නම් මට ඒ ගැන කරන්න දෙයක් නෑ, මොකද ඒක අපේ සමාජ වගකීමක්” යනුවෙනුයි නීතීඥවරිය සඳහන් කළේ

නීතීඥ අචලා සෙනවිරත්න මෙනවිය මේ බව පැවසුවේ ඊයේ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ColomboXNews

Archive

Latest news

Related news