ඡායාරුපය: කුඩත්තනෙයි හි මව උකුලේ හොවාගෙන අඬමින් සිටි කුඩා දැරියක්.
කොරෝනා වසංගතය මැඩීමේ නාමයෙන් මහජනතාව “විනයගත” කිරීම සඳහා දී ඇති බලතල යොදා ගනිමින්, පොලීසිය සහ හමුදාව, උතුරේ දුප්පත් දෙමල ජනතාවට එරෙහිව අමානුෂික ප්‍රහාර මාලාවක් දියත් කර ඇත.
මෙම ප්‍රහාර එල්ල කෙරෙන්නේ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව කොලඹ ආන්ඩුව විසින් ගෙන ගිය වාර්ගික යුද්ධය හමුවේ ජීවනෝපායන් අහිමිව සිය ආර්ථික තත්වය ගොඩනගාගැනීමට උත්සාහ දරමින් සිටින උතුරේ දෙමල ජනතාව මතටය. අගුලු දැමීම හේතුවෙන් ඔවුන්ට ලැබුනු සොච්චම් ආදායම ද අහිමිව ඇත.
කොරෝනා වසංගතයෙන් උග්‍රවන ආර්ථික අර්බුදය මධ්‍යයේ ආන්ඩුව විසින් ක්‍රියාවට නංවන කප්පාදු පියවරයන් මහජන විරෝධතාවන්ට තුඩු දෙන බවට සැලකිල්ලට ගෙන සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ පරිපාලනය මිලිටරීකරනය කරමින් සිටී. සිවිල් ජනතාවට එරෙහි මෙම ප්‍රහාර එල්ල වෙමින් පවතින්නේ එම තතු තුලයි. පසුගිය මාස දෙක තුල එවැනි සිදුවීම් ගනනාවක් සිදුව තිබේ. (බලන්න: උතුරු ශ්‍රී ලංකාවේ පොලීසිය සහ හමුදාව මිනිසුන්ට පහර දීමට ඇඳිරි නීතිය භාවිතා කරයි)
මැයි 09 වැනි සෙනසුරාදා දවල් යාපනයේ සන්ඩිලිපායි හි නිවසකට සිවිල් ඇඳුමින් කඩා පනින ලද මනිපායි පොලීසිය සහ හමුදාව එහි සිටි තරුනයින්ට පහර දී ඇත. ඔවුන් ගම්වැසියන්ගේ වැටවල් සහ තාප්ප ද කඩා දැමූහ. අනතුරුව තුවාල ලැබූවන් ගෙනයාමට පැමිනි ඇම්බියුලන්ස් රථය ආපසු හරවා යැවූ පොලීසිය තරුනයන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත්හ. ප්‍රේම සම්බන්ධයක් නවතන ලෙස තරුනයෙකුට බල කිරීමට පොලිසිය මෙලෙස මැදිහත් වූ බව වාර්තා වේ.
පසුගිය සිකුරාදා හමුදා භටයන් පිරිසක් නැගෙනහිර වඩමාරච්චි හි නාගර්කෝවිල් ගම්මානයේ නිවසකට ඇතුලු වී, එල්ටීටීඊයේ හිටපු සාමාජිකයෙකුගේ නමක් විමසමින් පහර දී තිබේ. එවැනි අයෙකු නොමැති බව පොලිසියම පවසයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ වයෝවෘද්ධ කාන්තාවක් රෝහලට ඇතුලත් කර තිබේ. සොල්දාදුවන් ගමේ තරුනයින්ට පහර දුන් විට ගම්වාසීන් එක් වී ඔවුන් පන්නා දැමූහ. ජනවාරියේ තායිපොංගල් දිනයේ ගැටුමක් ඇතිවීමෙන් පසු නාගර් කෝවිල් ගම්මානයට මෙවැනි හමුදා තර්ජන එල්ල වෙමින් පවති.
පසුගිය හය වනදා මුලතිවු හි මුල්ලිවයිකල් හි නිවෙස් වෙත බීමත් ව කඩා වැදුනු පොලිස් භටයෝ පුද්ගලයෙකු පොලිසියට භාර දෙන ලෙස ඉල්ලමින් තරුනයින් තිදෙනෙකුට පහර දුන්හ. පොලිසිය ඔවුන්ගේ පැමිනිල්ල සටහන් කිරීම ප්‍රතික්ෂේප කල අතර සුවය ලැබීමට පෙරම වින්දිතයන් ගෙදර යවන ලෙස රෝහල් කලමනාකාරිත්වයට බලපෑම් කලේය.
කුඩත්තනෙයි ගම්මානයට කඩාවැදි පේදුරු තුඩුවේ පොලිසිය සිදුකරන ලද කුරිරුකම් පිලිබඳ වීඩියෝ දර්ශන බොහෝ මාධ්‍යවල පල වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ කන්ඩායමක් සමග පොලිසිය කාන්තාවන්ට කුනු හරුපෙන් බැන වදිමින් බැටන් පොලු, තුවක්කු බඳ, විකට් පොලු හා පාද වලින් ම්ලේච්ඡ ලෙස පහර දී ඇත.
පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලබා ක්ලාන්ත වූ තම මව උකුලේ හොවාගෙන අඬමින් සිටි කුඩා දැරියක් තම මවගේ බඩට පා පහරක් එල්ල කල බවත් ඇගේ සහෝදරියට පොලුවලින් හා තුවක්කු වලින් පහර දුන් බවත් පවසා ඇත. තවත් කාන්තාවක් පැවසුවේ “ඔවුන් මගේ පිටට බැටන්පොලු වලින් පහර දි කොන්ඩෙන් ඇදගෙන ගිය” බවයි.
තුවාලකරුවන් ත්‍රීරෝද රථවලින් රෝහලට ගෙන යාමට පොලිසිය ඉඩ දී නැත. පොලිසිය ගිය පසුත් ගිලන් රථ පැමිනෙන තෙක් ඔවුන් සිටියහ. පොලිස් තර්ජනයන්ට බියෙන් ප්‍රතිකාර සඳහා රෝහලට නොයා තවත් බොහෝ වැසියෝ නිවෙස් වලට වී සිටියහ.
[alert type=”success or warning or info or danger”]මෙම ප්‍රහාර මාලාවේ වඩාත් ම්ලේච්ඡම සිද්ධිය වූයේ මැයි 1 වනදා පේදුරු තුඩුවෙහි කුඩත්තනෙයි හි මාලිගාතුඩයි ප්‍රදේශයේ ය. නිවෙස්වලට කඩා වැදුනු පොලිසිය සහ විශේෂ කාර්ය සාධක බලකාය ගම්වැසියන්ට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කර ඇත.[/alert]
අප්‍රේල් 30 වන දින, එම ගම්මානයට පැමිනි පොලිස් නිලධාරීන් පිරිසක් වැලි ප්‍රවාහනය සඳහා භාවිතා කර ඇති බව පවසමින් ප්‍රදේශයේ වාහනයක් රැගෙන යාමට උත්සාහ කර ඇත. පොලීසියේ චෝදනාවට සාක්ෂි නැතැයි පවසමින් ගම්වාසීන් වාහනය ගෙන යාමට විරුද්ධ වී ඇත.
සමහරු මෙම සිද්ධිය ජංගම දුරකථන වලින් රූගත කලහ. ඊලඟ දවසේ නැවත කඩා වැදුනු පොලීසිය එම වීඩියෝ පට ඉල්ලා ගම්මුන්ට පහර දී ඇත.
මෙම ප්‍රහාරය පොලීසීයේ ප්‍රචන්ඩත්වයට එරෙහි වන, පොලිසියේ හිංසාවන්ට අභියෝග කරන හෝ ඔවුන්ට එරෙහිව සාක්ෂි රැස් කිරීමට පෙලඹෙන මහජනතාව බිය ගැන්වීමේ අරමුනින් සිදු කරන ලද්දකි.
ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුනු අය බැලීමට පාස් එකත් සහිතව ආහාර ගෙන ගිය කාන්තාවන් සිව්දෙනෙකු පේදුරු තුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. රජයේ නිලධාරීන්ට බාධා කිරීම සහ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම යන චෝදනා මත මෙම කාන්තාවන් අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව උසාවියෙන් ඇප මත මුදා හැර තිබේ.
පේදුරු තුඩුව නගරයේ සිට කිලෝමීටර් 11 ක් දුරින් පිහිටි මෙම ගම්මානයේ පවුල් 90 කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වන අතර පවුල් වලින් සියයට 95 ක්ම කුලී වැඩ මත යැපේ. බොහෝ අය තම දෛනික අවශ්‍යයතා සඳහා ප්‍රමානවත් නොවන සොච්චම් වැටුපකට ගොවිබිම්වල සහ වැලි ට්‍රක් රථවල වැඩ කරති. එම රැකියාව දිනපතා කල නොහැක. දරිද්‍රතාවය හේතුවෙන් බොහෝ සිසුන් අ.පො.ස. සාමාන්‍ය පෙල හැදෑරීමට පෙරම පාසලෙන් ඉවත් වේ.
මෙහි සිදුවන අපරාධ කඩතුරාවක් ලෙස යොදාගෙන නිරන්තරයෙන් පොලිස් ප්‍රහාර සහ අත්අඩංගුවට ගැනීම් සිදුවන අතර බොහෝ දෙනෙකුගේ ජීවිත උසාවියට යෑමෙන් ම නාස්ති වේ. එවැනි ගම්මාන ගනනාවක්ම ප්‍රදේශයේ ඇත.
2017 දී කුට්ටතනයි අසල තුන්නාලයි ගම්මානයේ වැලි ලොරියක ගමන් කරමින් සිටි තරුනයෙකු මිල්ලිවැලි පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. එම ඝාතනයට විරෝධය දැක්වූ ගමේ සිය ගනනක් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන මාස ගනනාවක් රඳවා ගනු ලැබීය. ඔවුන්ට එරෙහි නඩු බොහෝකල් ඇදගෙන ගියේය.
යාපනයේ සමාජ විරෝධී ක්‍රියාකාරකම් සහ නීති විරෝධී වැලි කැනීම්වල යෙදෙන අයට පොලීසියේ සහ දේශපාලන ප්‍රභූවේ පිටුබලය ඇති බව ප්‍රසිද්ධ රහසකි. මෑත කාලයේ මහා පරිමාන පස් කැනීම්වලට සම්බන්ධ අයට එරෙහිව මහජන විරෝධතා පවා පැවතුනි. එසේ වුවද එය වැලැක්වීමට පොලිසිය හෝ රජය පියවර ගෙන නොමැත. ඒ වෙනුවට ඔවුහු කුඩා වෙලඳුන් හෝ කුලී කම්කරුවන් දඩයම් කරති..
යුද්ධ කාලය පුරාම දෙමල ජනයාගෙන් මුදල් ගසා කෑ බවට පොලිසියට චෝදනා එල්ල වී ඇති අතර, එය දිගින් දිගටම සිදු කරන බව පසුගිය සතියේ දික්කුරල් පුවත්පතේ පල වූ වාර්තාවක දැක්වේ. “මින්නල් (විදුලිය)” නම් කඩු සහිත කන්ඩායමක් තමන්ගේ පාලනය යටතේ තබාගනිමින් වඩමරාච්චි නෙල්ලියාඩි පොලිසිය එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ ධනවතුන් ගංජා වැනි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හිතාමතා හසු කිරීමෙන් ලක්ෂ ගනනාවක් අල්ලස් ලබාගත්බව මහජනයා පවසති.
දශක ගනනාවක යුද්ධයෙන් ජීවනෝපාය අහිමි වී මොනයම් හෝ ආකාරයකින් ආදායමක් අපේක්ෂා කරන තත්වයකට ඇද දමා ඇති මෙම ප්‍රදේශයේ ගම්වැසියන් අපරාධකරුවන් ලෙස සලකන දෙමල ජාතිකවාදී දේශපාලන පක්ෂ එම ජනතාව මත රාජ්‍ය මර්දනය මුදා හැරීම යුක්ති සහගත කරයි.
කුත්තනායි හි දී අත්අඩංගුවට ගත් කාන්තාවන් වෙනුවෙන් අධිකරනයේදි ඉදිරිපත් වූ දෙමල ජාතික ජනතා පෙරමුනේ නියෝජිතයෙකු වන කේ. සුහාශ් “වින්දිතයන් වන කාන්තාවන් හතර දෙනෙකුගේ නඩුව සඳහා අපි ආවේ. ඒ වුනාට සොබාදහමට එරෙහි ක්‍රියාකාරකම් සඳහා අපි සහාය දක්වන්නේ නෑ. පස් මාෆියාවට එරෙහි පියවරයන්ට අපි සහාය දෙනවා” යැයි පැවසීය.
එසේම තුන්නාලෙයි පොලිස් සංහාරය හෙලා දුටු දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) නායකයෙකු වන එම්.ඒ.සුමන්තිරන් නීතිය උල්ලංඝනය කිරීමට පොලිසියට අයිතියක් නැති බව ප්‍රකාශ කර එම හුස්මෙන්ම “යාපනයේ වැලි ව්‍යාපාරිකයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට හැකි”යැයි කීවේය.
කොරෝනා වසංගතය යොදාගනිමින් රාජපක්ෂ වේගවත් කර ඇති මිලිටරීකරනයට දෙමල ජාතික සන්ධානය සහාය දෙන අතර, අනෙක් දෙමල ජාතිකවාදී පක්ෂ නිහඬව සහාය දක්වන කොන්දේසි යටතේ මිලිටරිය සහ පොලීසිය වැඩි වැඩියෙන් බලය භාවිතා කරමින් සිටිති.
WSWS/15 මැයි 2020