Tuesday, July 16, 2024

මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය 2020: අත්අඩංගුවට ගෙන සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන්න – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මෙම ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේදිමාධ්‍යවේදීන්ට හා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට බියෙන් හා පක්ෂ පාතිත්වයෙන් තොරව ක්‍රියා කර පවතින දැඩි වසංගත තත්ත්වයෙන් සමාජය මුදවා ගැනීම සඳහා දායක වීමට අවස්ථාව සලසා දෙන ලෙසත්, විවේචනාත්මක වාර්තාකරණයන් නිසා මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයේ සියලු වගකිවයුතු පාර්ශ්වවලින් ඉල්ලා සිටිමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහත දැක්වේ:

පවතින වසංගත තත්ත්වය තුළ ජනමාධ්‍ය සතු සමාජ වගකීම සියලු බලධාරීන් වටහා ගත යුතුයිනිදහස් මාධ්‍ය ව්‍යාපාරය.

කොවිඩ්19 වසංගත තත්ත්වය උග්‍ර වීමත් බියෙන් හා පක්ෂ පාතිත්වයෙන් තොර සමාජ වගකීමක් සහිත මාධ්‍ය භාවිතයක අවශ්‍යතාවය කැපී පෙනෙන තත්ත්වයකට පත්ව ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.

කොවිඩ්19 ලොව පුරා ව්‍යාප්ත වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අධිකාරිවාදය විසින් ලෝක ප්‍රජාව ගෙන් බහුතරයක් යට කරගෙන ඇති දේශපාලන සන්දර්භයක් තුළය. මෙම හදිසි තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම පිණිස බොහෝ ආණ්ඩු ක්‍රියා කරන්නේ ආණ්ඩුවල ප්‍රජාතන්ත්‍රික ව්‍යුහයන් සහ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම්වලට ගරු කරන ක්‍රියා මාර්ග වෙනුවට අධිකාරිවාදී ක්‍රියාමාර්ග ඔස්සේ බව පෙනී යයි. මෙම ප්‍රවණතාවය විසින් අභියෝගයට ලක් කර ඇති ක්ෂේත්‍ර අතර මාධ්‍ය ක්ෂේත්‍රය ප්‍රමුඛ ස්ථානයක් ගනී. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද එය එසේම අදාළ වන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිරීක්ෂණය කරයි.

ශ්‍රී ලංකාව තුළද ලොව අන් රටවල දක්නට ලැබෙන ආකාරයට ම ‘දැඩි වසංගත රෝග තත්ත්වය මැඩලීමේ දී සෞඛ්‍ය අංශයේ කාර්යභාරයේ සිට පුරවැසියන්ගේ පොදු යහපත සහතික කිරීම පිණිස ආණ්ඩුව විසින් ගන්නා විවිධ පියවරයන්’ දක්වා ඉතා පුළුල් පරාසරයක පැතිරුණ සංවාදයක් වර්ධනය වෙමින් පවති. මෙවැනි සංවාදයන්ට හිතකර ප්‍රජාතන්ත්‍රවාදි වටපිටාවක් නිර්මාණය කරනු වෙනුවට ආණ්ඩුව ගන්නා ඇතැම් තීරණ එවැනි සංවාද අධෛර්යමත් කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වාදෙයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින්ද එවැනි තීරණ කෙරෙහි වැඩ බලන පොලිස්පතිවරයාගේ පවා අවධානය යොමු කර ඇති බව මෙහිදි සිහිපත් කළ යුතුය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැඩිදුරටත් පෙන්වා දෙන පරිදි රාජ්‍ය ඇතුළු සියළු වගකිවයුතු යාන්ත්‍රණයන් හේතු සහිතව විවේචනය කිරීම මෙන්ම ප්‍රශ්න කිරීමද ජනමාධ්‍ය සතු අයිතියකි.විශේෂයෙන් පවතින අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා වඩාත් උචිත රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කර ගැනීමට එවැනි මාධ්‍ය භාවිතයන් ඉවහල් වේ. දැනුවත් හා මහජනතාවට පක්ෂපාතීව ක්‍රියා කරන සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ කාර්යභාරයද මෙහිදී ඉතා වැදගත්ය.

ඒ අනුව මෙරට මාධ්‍ය ආයතනවලට, මාධ්‍යවේදීන්ට හා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට බියෙන් හා පක්ෂ පාතිත්වයෙන් තොරව ක්‍රියා කර පවතින දැඩි වසංගත තත්ත්වයෙන් සමාජය මුදවා ගැනීම සඳහා දායක වීමට අවස්ථාව සලසා දෙන ලෙසත්, විවේචනාත්මක වාර්තාකරණයන් නිසා මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙසත් මෙම ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේදි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයේ සියලු වගකිවයුතු පාර්ශ්වවලින් ඉල්ලා සිටී.

2020-05-02/මාධ්‍ය නිවේදනය.

Archive

Latest news

Related news